පනතට අනුව නියමිත දිනට ඡන්දය තියනවා – මැතිවරණ කොමිසම – ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙයි

123

ඉදිරි පළාත් පාලන මැතිවරණය පළාත් පාලන ආඥාපනතට හා පළාත් පාලන මැතිවරණ රෙගුලාසිවලට අනුව නියමිත දිනයේදී පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයෝ ඊයේ (18 දා) යළිත් ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දුවක් ලබා දුන්හ.

ස්වාධීන කොමිෂන් සභාවක් වන මැතිවරණ කොමිෂන් සභාව ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මනාව සැලසුම් කර ඇති බවත් එම සැලසුම් ප්‍රකාරව නාමයෝජනා භාරගැනීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසීය. ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණවත් මුදල් ලබාදිය නොහැකි බවට භාණ්ඩාගාරයේ ලේකම්වරයා මේ වනතෙක් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දීමක් සිදුකර නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළව සියලු සංවිධාන කටයුතු පැවැත්වීම වළක්වන නියෝගයක් මැතිවරණ කොමිෂන් සභාවට කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, එස්. තුරෙයි රාජා හා පී. පද්මන් සුරසේන යන මහත්වරුන් හමුවේ කැදවිණි. පෙර කී රිට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ප්‍රතික්‍ෂේප කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, මහාචාර්ය ජී. එල්. පීරිස් යන මහත්වරුන් මෙන්ම මැතිවරණ සැලසුම් කර ඇති පරිදි පැවැත්වීමට නියම කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ලක්‍ෂමන් කිරිඇල්ල, අනුර ප්‍රියදර්ශන යාපා හා එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන් ගොනුකර තිබූ පෙත්සම ද නීතිඥ සුනිල් වටගල, එරංග ගුණසේකර, විශ්වකේශ චන්දසේකර් යන මහත්වරුන් විසින් ගොනුකර තිබූ අතරමැදි පෙත්සම් ද ඊයේ (18 දා) කැඳවිණි.

මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇති පරිදිම එම මැතිවරණය පැවැත්වීම සිය එකම අපේක්‍ෂාව බව දයාසිරි ජයසේකර ඇතුළු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ප්‍රමුඛ ජනාධිපති නීතිඥවරු අධිකරණයට පැවසූහ.

එම පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන පෙබරවාරි 10 වැනිදා යළි කැඳවීමට විනිසුරු මඬුල්ල දින නියම කළහ.

නීතිඥ මංජුල බාලසූරිය, නීතිඥ සඳුන් ගමගේ, නීතිඥ දිනේෂ් විදානපතිරණ යන මහත්වරුන් මගින් එම පෙත්සම් ගොනුකර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment