නඩු බඩු ගබඩාවෙන් තොග පිටින් ගංජා උස්සලා

201

කොටුවූ සැකකරුවන් දෙදෙනෙක් තොරතුරු වමාරලා
ජයටම ගංජා බිස්නස් කළ වැල්ලවාය උසාවි සේවකයෙක් අත්අඩංගුවට

වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් ගංජා තොග පිටින් සොරාගෙන ඒවා අලෙවි කිරීමේ යෙදුණු, එම අධිකරණයේ සේවකයකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් පෙරේදා (02 දා) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 3 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාට ලැබුණු තොරතුරකට අනුව හපුතලේ සහ කොස්ලන්ද ප්‍රදේශයේ කළ වැටලීමකදී ගංජා ජාවාරමේ යෙදුණු සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

මෙම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී තමන්ට ගංජා තොග පිටින් ලබා දෙන්නේ වැල්ලවාය අධිකරණයේ සේවකයකු විසින් බව ඔවුන් හෙළිකර ඇත.

පසුව වලාන දූෂණ මර්දන බළකායේ නිලධාරීන් වැල්ලවාය අධිකරණයේ සේවකයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම පිළිබඳව තොරතුරු හෙළිවිය.

මෙම සැකකරු වසර 25 ක පමණ කාලයක සිට අධිකරණවල සේවය කරන බවත්, එම කාලසීමාව පුරාම අධිකරණවල නඩු භාණ්ඩ ගබඩාවලින් ගංජා තොග පිටින් සොරාගෙන ගොස් අලෙවි කර ඇති බවත් අනාවරණය විය.

සැකකරු සන්තකයේ තිබී වැල්ලවාය අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් සොරා ගන්නා ලද ගංජා කිලෝග්‍රෑම් 05 කට ආසන්න ප්‍රමාණයක් ද පොලිසිය සොයාගෙන ඇත.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ වැඩබලන අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චාමික වික්‍රමසිංහ, ස්ථානාධිපති ඉන්දික වීරසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක සඳරුවන් චතුරංග, සැරයන් 428 ජයලාල්, 409 විජේරත්න, කොස්තාපල් (77090) බාලසූරිය (84889) උදය කුමාර (87119) අමිල (91287) සංජීව (94009) සියන්ත, (104644) තිලකරත්න (104678) කුමාර (89631) අබේරත්න, (16227) උදාර ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.
හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන හා බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment