අනුර කුමාර ඉන්දියාවේ විදේශ ඇමැති සමඟ පැයක් සාකච්ඡා

551

ඉන්දියාවේ ආරාධනයකට අනුව මේ දිනවල එරට සංචාරයක නිරතව සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්‍ෂයේ නියෝජිත පිරිස ඊයේ (05 දා) ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයශංකර් මහතා හමුවී ඇත.

පැයකට ආසන්න කාලයක් පැවැති මෙම සාකච්ඡාවට ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත යන මහත්වරු ද එක්ව සිටියහ.

මෙම හමුව පිළිබඳව සිය වික්ස් ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස හමුවීම පිළිබඳව තමා සතුටට පත්වන බවයි.

එසේම ද්වීපාර්ශ්වීය සම්බන්ධතා පුළුල් කරගැනීමට මෙම හමුව අවස්ථාවක් වූ බව ද සඳහන් කරන ඉන්දීය විදේශ ඇමැතිවරයා අසල්වැසියාට ප්‍රමුඛත්වය යන ප්‍රතිපත්තියට අනුව ඉන්දියාව සැම විටම ශ්‍රී ලංකාවේ හොඳ මිතුරකු වනු ඇති බව ද සඳහන් කරයි.

ශ්‍රී ලංකාව දැනට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ද මෙම හමුවේදී සාකච්ඡා කෙරුණු බව ඉන්දීය විදේශ ඇමැතිවරයා සිය ගිණුමේ සඳහන් කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයකු ඉන්දියාවේ ආරාධනයකට අනුව එරට සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර දින පහක සංචාරයක් වන මෙහිදී ඉන්දීය රජයේ නිලධාරීන්, එරට ව්‍යාපාරික ප්‍රජාව හමුවීමට නියමිත බවත්, ඉන්දීය කෘෂිකර්මය හා කාර්මික හුවමාරු මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවකට ද අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස එක්වීමට නියමිත බවත් හින්දු පුවත්පත පළකර ඇත.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment