තිස්සමහාරාමයේ වැව් හැදිල්ල පට්ට බොරුවක්

628

පැලැස්තර පෙන්නුවාම බොරලු දාලා ෂේප් වෙලා

ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ගොවීහු නිලධාරීන් පතුරු හරිති

ලෝක බැංකු ණය ආධාර යටතේ කෘෂිකර්මාන්තය නංවාලීමේ අරමුණින් පසුගිය වසරේ ආරම්භ වූ තිස්සමහාරාමයේ වැව් විස්සක ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු බොහොමයක් ප්‍රමිතියෙන් තොර බව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 25 වැනිදා පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණය විය.

මිලියන 46.8 ක් වැයකර ප්‍රතිසංස්කරණය කෙරූ ඔරුකෙම්ආර වැවේ බැම්ම මීටර් 20 පමණ දුරට පුපුරා ඇති බවත් එය පෙන්වා දුන් අවස්ථාවේ රජයේ නිලධාරීන් සහ කොන්ත්‍රාත්කරු පැමිණ පිපිරුම් ස්ථානවලට බොරලු දමා පැලැස්තර යෙදීමට කටයුතු කළ බවත් ගොවීහු පැවසූහ. ගොවීන් දැඩි අවදානමක යොදවා කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ලබා ගැනීමට ඉඩ ලබා දී ඇතැයි සුහුරු ව්‍යාපෘතිය නිලධාරීන්ට සහ පළාත් වාරිමාර්ග නිලධාරීන්ට ගොවීහු දැඩි ලෙස චෝදනා කළහ. වැව ප්‍රතිසංස්කරණය කිරීමට පෙර කුඹුරු අක්කර 150ක් පමණ අමාරුවෙන් අස්වැද්දුවත් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු වී වගාව සහමුලින්ම නවතා දැමීමට සිදුව ඇතැයි ගොවීහු කීහ.

ඔරුකෙම්ආර වැව් බැම්ම දිගේ කුඹුක් පැළ එකසිය හැටක් සිටුවීම සඳහා ලක්ෂ 2 කට වැඩි මුදලක් ලබාදී මුදල් අවභාවිත කර ඇති බවත් වයසින් වැඩි පැළ සිටුවීම හේතුවෙන් පැළ හතක්වත් පැළවී නොමැති බවත් ගොවීහු පැවසූහ.

මීට අමතරව වැව් බැමිවල පිඩලි ඇල්ලීම වැනි කුඩා ඉදිකිරීම් වැව් අධීක්ෂණ නිලධාරීන්ටම ලබා දී ඇති බව ද සඳහන් විණි. එමෙන්ම වැව් හෑරූ පස් වැවේ ජල පෝෂක ප්‍රදේශයට දැමීමෙන් වැව ඉක්මනින් ගොඩ වනු ඇති බව ද ගොවීහු කීහ.

“මෙවැනි ගැටලු පෙන්වා දෙන අවස්ථාවලදී නිලධාරීන් විසින් කුඩා රැස්වීම් පවත්වා බනිස් කන්න දීලා මේවා යටපත් කරන්නට උත්සාහ කළා” යැයි ද ගොවීහු චෝදනා කළහ.

රුවන්වැව ඉදිකිරීමේදී කල් ඉකුත් වූ සිමෙන්ති භාවිත කළ බවට ද ගොවිජන සේවා නිලධාරී ඒ. ටී. චමින්ද මහතා සඳහන් කළ අතර කල් ඉකුත් වූ සිමෙන්ති කොට්ට හයසීයක් අතින් පොඩි කර භාවිත කළ බව වැවෙහි ගොවි සභාපති සාක්ෂි දරමින් සඳහන් කළේය. එම වැව් පිළිසකර කිරීමේ දී දිරච්ච පරණ යකඩ ම භාවිත කර ඇති බවට ද කරුණු හෙළිවිය.

සුහුරු ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කළ වැව් බොහොමයක් වනසංරක්ෂණ ප්‍රදේශවල පිහිටුවා ඇති බැවින් මෙන්ම වනාන්තරය තුළ ස්වභාවිකව පිහිටි වැව් කිහිපයක් ද ප්‍රතිසංස්කරණය කර ඇති අතර එවැනි වැව් මගින් වගා කටයුතු ද සිදු කිරීමට එකදු කුඹුරක් හෝ නොමැති බව නිලධාරීහු පැවසූහ. එවැනි වැව් ඉදි කිරීමෙන් පසු වන සංරක්ෂණ භූමිය තුළ වගා කටයුතු කිරීමට ගොවීන් පෙළඹී ඇති බැවින් වන සංරක්ෂණ නිලධාරීන්ගෙන් ඊට අවසර නොලැබීම හේතුවෙන් ගැටලු ඇතිවී ඇතැයි ද නිලධාරීහු පැවසූහ.

ඊට පිළිතුරු දෙමින් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් පුබුදු සඳරුවන් රාමනායක මහතා සඳහන් කළේ අමාත්‍යාංශ මට්ටමින් ගත් තීරණ නිසා ප්‍රායෝගිකව ගැටලු ඇති වී ඇති බවය.

ලෝක බැංකු ණය ආධාර මෙලෙසින් අවභාවිත වී ඇති බවට දිගින් දිගටම නිලධාරීන්ට චෝදනා කරමින් ගොවීන් කියා සිටියේ වැව් ප්‍රතිසංස්කරණය කිරීමෙන් තම වගා කටයුතු කර ගැනීමට නොහැකිව අසරණ වී සිටින බවයි. ඊට කඩිනම් පිළිතුරු ලබා දෙන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.

දිගින් දිගටම සුහුරු වැව් ව්‍යාපෘතිය සිදුවූ අකටයුතුකම් පිළිබඳව ගොවීන් සහ ගොවිජන සේවා නිලධාරීන් චෝදනා කළ අතර මෙම අවස්ථාවට පැමිණ සිටි නිලධාරීන් නිරුත්තර වී ගොළු වී සිටීම ගැන ගොවි නායකයෝ කනස්සල්ල පළ කළහ. පසුව රැස්වීමේ ප්‍රධානියා ලෙස සහභාගි වූ තිස්සමහාරාම වැඩබලන ප්‍රාදේශීය ලේකම් මනෝජ් කොඩිතුවක්කු සඳහන් කළේ ගොවීන්ගේ ජීවිත විනාශ නොකර කරන්න පුළුවන්ද බැරිද යන්න නිලධාරීන් වශයෙන් දැනුවත් කරන ලෙසයි.

ඊට පිළිතුරු දෙමින් දේශගුණික සුහුරු ව්‍යාපෘතියේ වැඩබලන ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්. පී. එල්. දිසානායක මහතා සඳහන් කළේ වැව් ඉදිකිරීම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන අනූවක් ලැබී තිබුණත් ඉන් ඩොලර් මිලියන විස්සක් රජය මගින් නවත්වා ඇති බවය. ඉදිකිරීම් සම්බන්ධයෙන් වගකීම ඔවුන්ට ගත නොහැකි බවත් රජයේ අදාළ ආයතන ඒ පිළිබඳව වගකීම දැරිය යුතු බව ඒ මහතා කීය.

මෙම අවස්ථාවට දේශගුණික සුහුරු ව්‍යාපෘතිය වැඩබලන ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්. පී. එල්. දිසානායක, ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් pubudu sadaruwan රාමනායක, තිස්සමහාරාම වැඩබලන ප්‍රාදේශීය ලේකම් මනෝෂ් කොඩිතුවක්කු, ගොවිජන සේවා සහකාර අධ්‍යක්ෂ, කෘෂි පර්යේෂණ නිලධාරීන්, පළාත් වාරිමාර්ග ඉංජිනේරු, ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ගොවිජන සේවා නිලධාරීන් මෙන්ම ගොවි සමිති නායකයෝ ද පැමිණ සිටියහ.

තිස්සමහාරාම – අමිල සම්පත් ශ්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment