තුන්ලොවක් සදහම් සිසිලෙන් තෙමා වදාළ – වෙසක් පුන් පොහෝ දිනය අදයි

161

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වන්නේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේගේ තෙමඟුල සිහි කරන වෙසක් පුන් පොහෝ දිනය අදයි. බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම සිදුවූයේ මෙම උතුම් පොහෝ දිනයේය. එකල ලුම්බිණි සල් උයනේ දී සිද්ධාර්ථ මහ රජතුමාට හා මහමායා දේවියට දාව සිදුහත් කුමරුන් උත්පත්තිය ලැබීය.

සතර පෙර නිමිති දැකීමෙන් ජීවිතය පිළිබඳව කලකිරුණු සිදුහත් කුමරු විසිනව වන වියේදී ගිහි ගෙයින් නික්මිණ.

වසර හයක කාලයක් දුෂ්කරක්‍රියා කරමින් අත්තකිලමථානු යෝගය සහ කාමසුඛල්ලිකානු යෝගය අතහැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් බුද්ධගයාවේ ඇසටු බෝරුක මුලදී බුද්ධත්වයට පත් වූහ. උන් වහන්සේ හතළිස් පස් වසරක් ලෝ වැසි ජනතාවට ධර්මය දේශනා කරමින් යහමගට ගැනීමට කටයුතු කළහ.

අප මහ බෝසතාණන් වහන්සේ වසර අසූවක් ආයු සංස්කාරයක් වළඳා කුසිනාරානුවර උපවත්තන සල් උයනේදී පිරිණිවන් පෑම සිදු වූයේද වෙසක් පුන් පොහෝ දිනය.

සුඛෝ බුද්ධානං උප්පාදෝ
සුඛා සද්ධම්ම දේශනා
සුඛාසන්ගස්ස සාමග්ගී
සමග්ගානං සමෝ සුඛෝ

බුදුවරුන් මෙලොව පහළ වීම මහා සැපයක්, සද්ධර්මය දේශනා කිරීම සැපතකි, මහා සංඝ රත්නය සමගිය මහා සැපතක්, සමගියෙන් වෙසෙන පුද්ගලයාට තපස මහා සැපතක් බව ධම්මපදයේ බුද්ධ වග්ගයේ සඳහන් වෙයි.

තිලෝගුරු බුදු පියාණන් වහන්සේ පාරමී ධර්මයන් සම්පූර්ණ කළහ. දස පාරමී, දස උප පාරමි, දස පරමත්ථ පාරමී සම්පූර්ණ කර අනාදිමත් කාලයක් මේ සංසාරයේ ඉපදි ඉපදී මැරි මැරී, ඇස් හිස් මස් ලේ දන් දෙමින් දාන පාරමී පුරමින්, නිර්වාණය අවබෝධ කර ගෙන උන්වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත් වූහ. උන්වහන්සේ ඉපදුන අවස්ථාවේ ස්වභාවධර්මය පවා ආශිර්වාද කළේය. සතර අපායවල ගිනි නිවී සිසිල් විය, මහ පොළොව ප්‍රීතියෙන් කම්පනයට පත් විය, දෙව් බඹුන් සාධුකාර දුන්හ. ජීවී අජීවී සියලු දෙනා නිවී සැනසී සතුටට පත් වන්නට වූහ.

උන්වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසුව දේශනා කළ පළමු ප්‍රීති වාක්‍යය මෙයයි.

අනේක ජාති සංසාරං සන්ධා විස්සං අනිම්මිසං
ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනං පුනං
ගහකාරක දිටේඩ්සි පුනගේහං නකාහසි
සබ්බාතේ ඵාසුකා හග්ගා ගහකූටං විසංකිතං
විසංකාරා ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා

බොහෝ කාලයක් මේ සංසාරේ ඉපද ඉපිද ඇවිද්දෙමි, ඒ ඇවිද්දේ වෙන කිසිවක් නිසා නොව මේ පංචස්කන්ධය නැමැති ගේ හදන වඩුවා සොයා ගැනීමටය. එය සොයා ගත්තා. ඒ තෘෂ්ණාවයි, සියලුම කැණිමඬල විනාශ කළෙමි. නැවත මගේ ඉපදීමක් නැත. යන්නෙන් උන්වහන්සේ දේශනා කළහ.

උන්වහන්සේ හතළිස් පස් වසරක් ශ්‍රී ධර්මස්ඛන්ධය දේශනා කරමින් සමාජයේ ජනතාව යහමගට ගැනීමට කටයුතු කළහ. කුසල් අකුසල් සහ පිළිබඳව දේශනා කළහ. කුසල් කිරීමෙන් පවතින ආනිසංසත් අකුසල් කිරීමෙන් සිදුවන පාපයන් පිළිබඳව අවබෝධ කර දෙමින් ජනතාව යහපතේ යෙදවීමට උන්වහන්සේ ධර්මය දේශනා කෙරිණ.

බරණැස් නුවර ඉසිපතනයේදී බුදුන් වහන්සේ විසින් පස්වග මහණුන් උදෙසා පවත්වන ලද පළමු වැනි දේශනා වූයේ චතුරාර්ය සත්‍යයි. බුදු දහමේ මූලික අරමුණ වන නිර්වාණය අවබෝධ කර ගැනීම යනු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමයි. “මහණෙනි, මෙම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ නොකිරීමේ හේතුවෙන් මටත් ඔබටත් බොහෝ කලක් සසර සැරිසරන්නට සිදු විය. බෞද්ධ දර්ශනයට අනුව මෙම සත්‍යය මෙලොවදීම ප්‍රත්‍යක්‍ෂ කළ හැකි බව උන්වහන්සේ දේශනා කළහ. චතුරාර්ය සත්‍යය නම්,

දුක්ඛාර්ය සත්‍යය
(දුක පිළිබඳ උතුම් සත්‍යය)

දුක්ඛ සමුදාර්ය සත්‍ය
(දුකට හේතුව පිළිබඳ උතුම් සත්‍යයය)

දුක්ඛ නිරෝධාර්ය සත්‍යය
(දුක නැති කිරීම පිළිබඳ උතුම් සත්‍යයය)

දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍ය
(දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ උතුම් සත්‍යය)

දුක්ඛ සත්‍ය යනු පංච උපාදානස්ඛන්ධයයි. සමුදය සත්‍ය යනු තෘෂ්ණාවයි. නිරෝධ සත්‍ය යනු නිර්වාණයයි. මර්ග සත්‍ය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙයි.

උන්වහන්සේ බුද්ධත්වයට පත් අවධියේ භාරතය දෙසටැක් මිත්‍යා දෘෂ්ටික ආගම් පැවතිණ, මිත්‍යාව මත පැවති මෙම ආගම් තුළින් ජනතාවට සැනසිල්ල නිවන් කරා යන මාර්ගයක් නොපැවතිණ. ඔවුන් කියා සිටියේ දෙමව්පියන් නැත, පින් ඇත, පව් නැත, කුසල් නැත අකුසල් නැත, පරලොවක් නැත යන ආදී වශයෙන් නොයෙක් මත දැරිය, ඒ සියලු මත බුදුන් වහන්සේ කණ්ඩනය කළහ.

එදා භාරතයේ සමාජය ග්‍රහණය කර ගෙන තිබුණේ බ්‍රාහ්මණයන් විසිනි, රජුන්ට ඇමැතිවරුන්ට මිනිසුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළේ බ්‍රාහ්මණයන්ය, එදා සමාජයේ ඔවුන් උසස්ම කුලය ලෙස සැළකිණ.

බ්‍රාහ්මණෝස්‍ය මුඛමාසිද් – බාහූ රාජාන්‍යඃ කෘතඃ
ඌරු තදස්‍යය යද් වෛශ්‍යං – පද්භා්‍යාම් ශුද්‍ර අජායත

බ්‍රාහ්මණ – මහා බ්‍රහ්මගේ මුවෙන් උපන්
ක්ෂත්‍රීය – මහා බ්‍රහ්මගේ බාහුවලින් උපන්
වෛශ්‍ය – මහා බ්‍රහ්මගේ කලවාවලින් උපන්
ශුද්‍ර – මහා බ්‍රහ්මගේ යටි පතුලෙන් උපන්


බව බ්‍රාහ්මණයන් විසින් හඳුන්වා දෙනු ලැබීය.

මෙහිදී බ්‍රාහ්මණ, කෂ්ත්‍රිය, වෛශ්‍ය යන වර්ණ තුන ආර්යයන් වේ. ඔවුන්ට කිසියම් ප්‍රමාණයක අයිතිවාසිකම් ප්‍රමාණයක් හිමිව පැවැතිණ.

එලෙස නොයෙක් කුලයන්ට බෙදී තිබූ එවකට සමාජය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළහ, සියලු දෙනාටම සමානාත්මතාවයෙන් සැළකූ උන්වහන්සේ කිසිවකුත් උත්පත්තියෙන් උසස් හෝ පහත් නොවන බවත් තමන් කරන ක්‍රියාව අනුව උසස් වූ පහත් වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

එසේම එවකට සමාජ කාන්තාවට නිසි තැනක් හිමි වූයේ නැත. කොසොල් රජ්ජුරුවන් පවා තමාට දියණියක් උපන් බවට සැලවීමෙන් නොසතුටට පත් වුණා. එහිදී බුදුරජාණන් වහන්සේ මහ රජ ඔබ කලකිරීමට පත්වෙන්න එපා ඔබට ලැබී සිටින්නේ වාසනාවන්ත පින්වන්ත දියණියක්, රටක්, ලොවක් වුණත් පාලනය කරන්න පුළුවන් දක්ෂ දියණියක්, ඒ නිසා ඒ දියණිය ආරක්ෂා කර ගන්න කියා දේශනා කළේය. ඒ තරම් එකළ සමාජය ගැහැණු දරුවෙක් ඉපදීම අභාග්‍ය සම්පන්න යන හැඟීම සමාජය තුළ පැවතිණ. බුදුරජාණන් වහන්සේ කාන්තාවටද නිසි තැන ලබාදීමට කටයුතු කළා. සැරියුත් මුගලන් වහන්සේලාට පමණක් නොව කේමා, උත්පලවන්නාට සුදුසු තනතුරු පිරිනැමීමට කටයුතු කළා. කාන්තා නිදහස බිඳ වැටුණේ බ්‍රාහ්මණ ආධිපත්‍ය භාරතීය සමාජයේ පැතිරීමත් සමඟයි. කාන්තාවන්ගේ සිතුම් පැතුම්වල ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම නැති විණ.

කුල සතරෙන් පහත් ම කුලය වූ ශුද්‍රයන්ටත් වඩා පහත් තැනක් ඔවුන්ට හිමි වී තිබුණි. මේ යුගයේ පුරුෂාධිපත්‍ය වැඩිදියුණුව පැවතිණ. මේ යුගයේ පුරුෂයන්ට ආවතේව කිරීම හා කීකරු වීම පමණෙකින් ස්වර්ග සම්පත් ලබාගත හැකි බව ඔවුන් වෙනුවෙන් සකසන ලද නීති – රීති මාලා ඇතුළත් මනුස්මෘතියෙහි සඳහන් තිබේ.

නාස්ති ස්ත්‍රීනාං පෘතග් යඥෙ
වන වූතං නාප්‍යුපොසථම්
පතිං ශුශ්‍රෑයතේ යෙන
තෙන ස්වර්ගේ මනියතෙ

යන්නෙන් එය පැහැදිලි වෙයි.

එලෙස පැවති සමාජයේ බුදුන් වහන්සේ ජනතාවට සිතීමේ ජීවත් වීමේ නිදහස ලබා දුන්නා. මාගේ දේශනා පරම්පරාවෙන් පරම්පරාවට එනවා කීවට, පොත් පත්වල සඳහන් වනවා කීවට පිළිගන්න එපා. දක්ෂ රන්කරුවෙක් රත්රන් උරගා බලනවා වගේ පිළිගත හැකිනම් පිළිගන්න, පිළිගත නොහැකි නම් නොපිළිගන්නා ලෙස දේශනා කළහ.

වෙසක් පුන් පොහෝ දිනය ලංකාවාසී ජනතාවට තවත් සුවිශේෂී සිද්ධීන් රැසක් සිදුවූ දිනයකි.

බුද්ධත්වයට පත්වී වසර අටකට පසුව මනියක්කිත නා රජුගේ ආරාධනයෙන් කැළණියට වැඩම කළ උන්වහන්සේ සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් සමනළ කන්දට වැඩම කර එහි සිරිපා සටහන් තැබුවේද අද වැනි පොහෝ දිනකය.

ශ්‍රී ලංකා දීපය ප්‍රථම රජු වන විජය රජ්ජුරුවන් හත්සීයක් පිරිවර සමඟ ලංකාදීපයට පැමිණියේද අද වැනි පොහෝ දිනකය.

දේවානම්පියතිස් රජතුමාගේ දෙවන වරට අභිෂේක මංගල්‍යය සිදු වූයේ ද වෙසක් පුන් පොහෝ දිනක ය. මෙලෙසින් වෙසක් පොහෝදා දේවානම් පියතිස්ස රජතුමා අභිෂේක ලැබීමට පෙර රාජ්‍යත්වයට පත්ව සිටි නමුත් එය නොපිළිගන්නා නිසා භාරතයේ රජකම් කළ අශෝක අධිරාජ්‍යා දේවානම්පියතිස්ස රජුට දෙවන වර අභිෂේක මංගල්‍යයක් සිදු කෙරිණ.

දුටුගැමුණු රජතුමා විසින් අනුරාධපුරයේ ඉදිකරන ලද රුවන් වැලි මහා සෑ චෛත්‍ය ඉදිකිරීමට මූලික අදහස බිහි වූවා යැයි සැලකෙන්නේද වෙසක් පුන් පෝ දිනකය. එමෙන්ම රුවන්වැලි මහා සෑරදුන් ඉදිකිරීමේ නැකත යෙදී තිබුණේ ද මෙවැනි උතුම් පොහෝ දිනකය.

වෙසක් පුන් පොහෝ දිනය අද වන විට සමස්ත ලෝකවාසී ජනයාටම නිවාඩු දිනයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක ජන නායකයන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව සියලුම රටවල රාජ්‍ය නායකයන් වෙසක් පෝය නිවාඩු දිනයක් ලෙස පිළිගෙන තිබේ.

බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිකිරමින් ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව වෙසක් සතියක් සමරනු ලබයි. එම සතිය පුරා වෙහෙර විහාරස්ථාන කේන්ද්‍රකර ගනිමින් දාන සීල භාවනා සහ වෙසක් බැති ගී වෙසක් පහන් කූඩු දැල්වීම, වෙසක් සැරසිලි, වෙසක් තොරණ ඇතුළු ප්‍රතිපත්ති හා ආමිස පූජාවන්ට මුල් තැන දෙමින්

ආගමික වැඩසටහන් රැසක් සිදු කරනු ලබයි. වෙසක් තෙමඟුල උදෙසා පවත්වන ලද ප්‍රතිපත්ති පූජා අතර දන්සැල්වලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් දහම අපගේ ජීවිතවලට සම්බන්ධ කර ගමින් නැණ ගුණ පිරි යහපත් අනාගතයක් නිර්මාණය කර ගැනීමට සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුතුව තිබේ. වර්තමානයේ තරගකාරී සමාජයක ජීවත් වන ජනතාව බුදුන් වහන්සේගේ උතුම් චරිතයෙහි ගුණාංග ජීවිතයට ළඟාකර ගනිමින් තම ජීවිතය සාර්ථක කර ගැනීමට කටයුතු කළ යුතුව තිබේ. උතුම් පුන් පොහෝ දිනයේ සැමට බුදුන් දෙසූ ධර්ම මාවතේ යන්නට නිවන් මඟ අවබෝධ වෙත්වා. තැවෙන දැවෙන සිත් දහම් සිසිලෙන් නිවී සැනසෙත්වා.

තුන්ලොවක් සදහම් සිසිලෙන් තෙමා වදාළ - වෙසක් පුන් පොහෝ දිනය අදයි

අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිකාරි උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
රැළපනාවේ ධම්මජෝතී නාහිමිපාණන්ගේ
වෙසක් පුර පසළොස්වක
පොහෝදා අනුශාසනාවයි.

advertistmentadvertistment
advertistmentadvertistment