තෙල් ණයට රජය කර ගහයි

730

ඛනිජ තෙල් සංස්ථාව මහජන බැංකුවට සහ ලංකා බැංකුවට තිබෙන ණය රජය විසින් ගෙවා දැමීමට තීරණය කර තිබේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබේ. මෙරට ඉන්ධන ප්‍රශ්නය මතුවන්නට පෙර සිටම ඛනිජ තෙල් සංස්ථාවේ ණය බර ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් තිබූ අතර ඉන්ධන ප්‍රශ්නය පැන නැගීමත් සමග එම ණය ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත.

මෙම අධික ණය බර නිසා පසුගිය සමයේදී රාජ්‍ය බැංකු කඩා වැටීමේ අවදානමක් ද පැවැති බව රජය සඳහන් කරයි. රාජ්‍ය බැංකු ප්‍රතිසංවිධානය කිරීමේ රජයේ වැඩසටහන යටතේ එක් පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.

මෙම ණය බර සම්බන්ධයෙන් පියවරක් ගැනීම සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, රාජ්‍ය බැංකු දෙකේ සභාපතිවරුන් සහ මහ බැංකු අධිපතිවරයාගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් ද පැවැත්විණි.

මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ආදී සියලු ආයතනවල එකඟතාව මත මෙම කාර්යභාරය සිදුකෙරෙන බව රජය සඳහන් කරයි. ඛනිජ තෙල් සංස්ථාව අදාළ බැංකු දෙකට ඩොලර් මිලියන 450කට ආසන්න ණයක් ගෙවීමට ඇති බවට ගණනය කර තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment