අද සිට 27 දා දක්වා ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී පැවැත්වීමට නියමිත ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ විශේෂ මහජන ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය මූලික කටයුතුවල සූදානම පරීක්ෂා කිරීම සඳහා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) පෙරේදා (16 දා) මහනුවර වෙත පැමිණියේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ උපදෙස් අනුව, මෙම විශේෂ දළදා ප්‍රදර්ශනය අද (18 දා) ආරම්භ වීමට නියමිත අතර එදින පස්වරු 3.00 සිට පස්වරු 5.30 දක්වා ද, ඉන් අනතුරුව හෙට (19 දා) සිට 27 දා දක්වා දිනපතා මධ්‍යහ්න 12.00 සිට පස්වරු 5.30 දක්වා ද ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත අතර එහිදී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු දළදා වහන්සේ සියැසින් දැක වැඳ පුදා ගැනීමට අවස්ථාව සැලසේ.
මහානායක හිමිවරුන් බැහැදැකීමට ගිය ආරක්ෂක ලේකම් වසර 16කට පසු ලෝකවාසී බෞද්ධ ජනතාවට මෙම දුර්ලභ ආධ්‍යාත්මික අවස්ථාව ලබාදීම පිළිබඳව උන්වහන්සේලා වෙත සිය කෘතඥතාව පළ කළේය.
මහජනතාවට බාධාවකින් තොරව දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අවශ්‍ය ආරක්ෂාව සහ පහසුකම් සැලසීම අදාළ බලධාරීන් වන අප සැමගේ සාමූහික වගකීම බව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළ අතර බැතිමතුන්ට සාමකාමීව හා ගෞරවනීය ලෙස මෙම අත්දැකීම විඳගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රජයේ පූර්ණ කැපවීම ද තහවුරු කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් මහනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය හමුවේ අවධාරණය කළේය. තවද දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් උදෙසා ත්‍රිවිධ හමුදාව විසින් සලසා දී ඇති පහසුකම් පිළිබඳ සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවක්ද ආරක්ෂක ලේකම්වරයා විසින් සිදු කරනු ලැබූ අතර මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම්වරයා සමඟ යුද්ධ හමුදාපති, ආරක්ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) ආඥාපති, 11 වන සේනාංකයේ සේනාංකාධිපති, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූවාය.