දාහත් වසරක මතකය අලුත් කරන සුපර් ස්ටාර් සීසන් වන් – ශිහාන් මිහිරංග

256

කොච්චර රියැලිටි ආවත් තවමත් අපි ගැන කතා වෙනවා

දිගු නිහැඬියාවකට පසුව අපිව ආපහු අතීත මතකයකට අරගෙන යන්න තමයි මේ කට්ටිය උත්සාහ කරන්නේ. ඔයාල බලයි මේ කට්ටිය කියන්නේ කවුද කියලා. ඒ වෙන කවුරුවත් නෙමෙයි මීට අවුරුදු දාහතකට කලින් මෙරට රූපවාහිනි කලාව වෙනස් මගකට ගෙනගිය රියැලිටි කලාවේ මංගල පියවර තැබූ සිරස සුපර් ස්ටාර් සීසන් වන් හි අවසන් මහා තරගයේ තරගකරුවන් දොළොස් දෙනා. ඔවුන් යළි ප්‍රසංගයක් ආරම්භ කරන්න සූදානම් වෙනවා. ඒ අද (23 වැනිදා) මීගමුව ඇවන්ඩ්‍රා ගාර්ඩ්න් හෝටල් පරිශ්‍රයේදී. මේ වැඩේට සංගීතයෙන් ඈන්ස් සංගීත කණ්ඩායම සහභාගි වෙන අතර බ්‍රදර්ස් ඉවෙන්ට්ස් තමයි මෙය ඉදිරිපත් කරන්නේ. ඉතිං Dine with Super Star ප්‍රසංගය රට වටා ගෙනයෑමේ මංගල ගමනද මේ සිදුකරන්නේ කියලා දැනගන්න අපි ශිහාන් මිහිරංගට කතා කළා.

dine with super star අදහස කාගේද?

ඇත්තටම මේ අදහස මගේ විතරක් නෙමෙයි. මීට අවුරුදු එකහමාරකට විතර කලින් අපේ මිත්‍රයෝ ටික එකතුවෙලා කතාබහ කළා” ආපහු සැරයක් ඒ මතකය ආවර්ජනය කරමු කියලා. අනික අවුරුදු දාහතක කාලයේදී සියලුම දෙනා කලාවේ නියැළුණේ නැහැ. හැබැයි අපේ කණ්ඩායමේ වැඩිම පිරිසක් කේෂ්ත්‍රයේ රැඳිලා ඉන්නවා. කොච්චර රියැලිටි ආවත් තවම අපි ගැන කතාබහ වෙනවා. ඉතිං ඒ දේවල් එක්ක අපි ප්‍රසංග මාලාවක් කරමු කියලා සියලු දෙනාගෙන්ම ආපු ආරාධනාවක්. ඉතිං ඒ වෙනුවෙන් මම ටීම් එකක් විදිහට වැඩකරනවා.

ඇත්තටම මේ ප්‍රසංගයට කවුද සහභාගි වෙන්නේ ?

ඇත්තටම මේ වැඩේට මලිත් පෙරේරා නැතිව සියලුම දෙනා ඉන්නවා. ඉතිං ලොකු සතුටක් තිබෙනවා අපේ පැරණි සාමාජිකයන් ටික මේ විදිහට යළි එකතුවීම ගැන.

මේ ප්‍රසංගය පවත්වන්නේ කවදාද?

අප්‍රේල් මස 23 වැනිදා මීගමුව ඇවන්ඩ්‍රා ගාර්ඩ්න් හෝටල් පරිශ්‍රයේදී තමයි රාත්‍රි 7.30 ට මේ වැඩේ පවත්වන්න අපි සැලසුම් කරලා තියෙන්නේ. අපිට ආදරය කරපු මෙතෙක් කල් අපිත් එක්ක හිටපු රසික රසිකාවියන්ගේ පැරණි මතකය තමයි අපි මේ අලුත් කරන්න සූදානම් වෙන්නේ.

දාහත් වසරක මතකය අලුත් කරන සුපර් ස්ටාර් සීසන් වන් - ශිහාන් මිහිරංග

ප්‍රසංගයකට එහා ගිය එදා සුපර් ස්ටාර් තරු සමඟ දොඩමළු වෙන්න පුළුවන් අවස්ථාවක් ?

අන්න හරි. ඒ වගේ වැඩක් තමයි අපි මේ කරන්න හදන්නේ. විශේෂයෙන් ප්‍රසංගයක් බලන්න ගියහම කලාකරුවෝ සහ රසිකයෝ ගොඩක් දුරින් ඉන්නේ. ඉතිං අපි මේ කරන්න හදන්නේ ඒ වගේ ප්‍රසංගයක් නෙමෙයි. අනික මේ ප්‍රසංගයේ ඇහැට ලොකු ප්‍රියතාවයක් තිබේවි. මොකද 2005 වසරේ සිරස සුපර් ස්ටාර් අවසන් මහා තරගයේ තිබුණු ඒ වටපිටාව අපි මේ ප්‍රසංගයේ නිර්මාණය කරලා තිබෙනවා. තවද සියලුම දෙනාගේම පරණ මතකයන් වගේම ඔවුන්ගේ අලුතෙන් කරපු දේවල්වලට එහාට ගිය තවමත් සුපර් ස්ටාර් ගැන කුතුහලයක් තිබෙන ප්‍රශ්න ටිකක් තිබෙනවානේ. ඉතිං ඒ දේවල් විවෘතව මේ පිරිසගෙන් අහන්න පුළුවන්.

මේ ප්‍රසංගයේ තිබෙන වෙන විශේෂත්වයන් මොනවාද?

මෙතැන තිබෙන විශේෂත්වයක් වන්නේ අපිට තවමත් ගොඩක් දෙනෙක් කතාබහ කරනවා. අපිට ආදරය කරපු ගොඩක් දෙනෙක් දැන් පවුල් ජීවිතවලට එකතුවෙලා දරු මල්ලොත් එක්ක අපේ ආගිය තොරතුරු දැනගන්න තමයි මේ හදන්නේ. එදා අපිට ආදරය කරපු තවමත් අපිට ආදරය කරන අයට ලොකු අත්දැකීමක් එදාට ලැබේවි. එදා අපිව ටීවී එකෙන් විතරක් දැකපු අයට මෙදා සජීවීව දැකගන්න පුළුවන්. ඒ වගේම අපෙන් ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. 2005 වසරේ සිරස සුපර් ස්ටාර් අවසන් මහා තරගයේ හිටපු එකොළොස් දෙනාව තවමත් එකට දැකපු නැති අය ඉන්නවා. මොකද එහෙම බලාගන්න පුළුවන් වුණේ ප්‍රසංග කිහිපයක විතරයි. ඒකත් හරි අඩුවෙන්. අනික ගොඩක් වෙලාවට අපි හතර දෙනෙක් පස්දෙනෙක් තමයි ප්‍රසංගයකට සහභාගි වුණේ. එතකොට මෙහෙම සියලු දෙනාම එකම තැනකට සහ ඔවුන්ගේ අතීත කතා ටික සජීවීව අහලා කතාබහක යන වැඩක් කරන්නේ පළමු වතාවට. අවුරුදු දාහතකට පස්සේ රියැලිටි ඉතිහාසයේ පළමු වතාවට තමයි මේ වගේ වැඩක් සිද්ධ වෙන්නේ.

දාහත් වරසක මතකය අවදිකරනකොට එදා සුපර් ස්ටාර් අවසන් මහා තරගයේ ගායනා කරපු ගීත එහෙමත් අහන්න පුළුවන් වේවිද?

මතකය අලුත් කරගන්න තමයි හැමෝම එන්නේ. සාමාන්‍ය ප්‍රසංගයක ගායනා කරනවාට වැඩිය ගීත ප්‍රමාණයක් මේ ප්‍රසංගයේ ගායනා කරනවා. මොකද මේ ප්‍රසංගයේදී එකොළොස් දෙනෙක් ගීත ගායනා කරන්න අවශ්‍යයි. අනික එක ගායකයකුගේ ගීත රැසකට මිනිස්සු ආදරය කරන අවස්ථා තියෙනවා. විශේෂයෙන් අපි කැමැති එදා දවසේ මිනිස්සු එක්ක හොඳ සංවාදයක් ඇති කරන්න. මොකද දැන් මිනිස්සු ලොකු පීඩනයක ඉන්නේ. අනික ඔවුන් මුදලක් වියදම් කරලා අපි එක්ක සතුට බෙදාගන්න එන්නේ. ඒ වගේම ඔවුන්ට තිබුණ හීන අපිට කියන්න වගේම ඔවුන් මෙච්චර කල් අපිව බලාගත්තාට කලාකරුවන් විදිහට අපිට ඔවුන්ට ස්තුති කරන්නත් අවස්ථාවක් තියෙන්න ඕනෑ. ඉතිං මම හිතන්නේ මේ තමයි 2005 වසරේ සුපර් ස්ටාර්ස්ලාගේ ෆෙයාර්වෙල් එක.

දාහත් වසරක මතකය අලුත් කරන සුපර් ස්ටාර් සීසන් වන් - ශිහාන් මිහිරංග

මේ ප්‍රසංගය රට වටා ගෙනියන්න එහෙම අදහසක් තියෙනවාද?

ඔව්. අදහසක් තියෙනවා. මේ තමයි අපේ ආරම්භය. මෙතැනින් තමයි අපිට කරන්න පුළුවන් වෙන්නේ මොකක්ද කියලා. මේක තැන අනුව අපි වෙනස් කරනවා. මේක ගෘහස්ථ ප්‍රසංගයක්ද එළිමහන් ප්‍රසංගයක්ද කියන එකට වඩා මේකෙන් ඇත්තටම මිනිස්සුන්ට ලැබෙන්නේ මොනවගේ ආශ්වාදයක්ද කියන එකයි. අනික මේ වෙනකොට අපි හැමෝම වෙන පාරවල්වල යන දොළොස් දෙනෙක්. ඉතිං එහෙම දොළොස් දෙනා එකතු කරගන්න වැඩේ ලොකු සැලසුමක් ඇතිව මේ වර්ෂයේ අවසානය වෙනකම් එක නගරයක එක ප්‍රසංගයක් බැගින් පවත්වන්න. ඒ වගේම විදෙස් සංචාර කිහිපයක් සඳහාද මේ වෙනකොට ආරාධනා ලැබිලා තියෙනවා.

පරණ සුපර් ස්ටාර්ස්ලාට තවමත් ආදරෙයි කියලා විශ්වාසයක් තියෙනවාද?

මට ඒ විශ්වාසය තිබෙනවා. හැම වෙලාවේම ඒක නැතිවෙන්න දීලා නැහැ. ඕනෑම රියැලිටි එකක් ඉවරවෙද්දී පහුවෙනිදාට කතාවෙන්නේ පළමුවැනි ස්පර් ස්ටාර් සීසන් එක ගැන. මගේ පළමු අරමුණ තියෙන්නේ ඒ වටිනාකම රැකගැනීමයි. මේ වෙද්දි මිනිස්සු අපිට හොඳ මතකයන් සහ වටිනාකමක් දීලා තියෙනවා. කවුරු ආවත් ඒ වගේ නෑ වගේ කියන කතාන්දර කියනවා. දැනට අපි ගැන විශ්වාසයක් සහ ආදරයක් ඇතිවෙලා තිබෙනවා. ඉතිං අපි ප්‍රසංගයක් හෝ දෙකක් කරලා ඒ ආදරය මතකය විනාශ කරගන්න කැමැති නැහැ. ඉතිං මේ ප්‍රසංගයට මෙච්චර මහන්සි වෙන්නෙත් ඒ තිබුණ ආදරය ඒ විදිහටම තියලා එදා දවසේ ඒ ගොල්ලන්ට කරදරයක් නැතිව ප්‍රසංගයක් ලබා දෙන්නයි.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment