වික්ටර් රත්නායකයන් සමග ගීත දෙකක් කළා – මගේ සීයා කිව්වෙ පුංචි රුක්මණී කියල

267

සළඹ සලා ලැබුවෙ නොසිතූ ජනප්‍රියත්වයක්

‘සළඹ සලා‘ සහ ‘නටමු නේද‘ යන ගීත හරහා ටෂ්නි පෙරේරා මේ දිනවල බොහොම ජනප්‍රියයි. ප්‍රසංගවලට ලැබෙන ආරාධනාත් අඩුවක් නැතිලු. ඒ වගේම ප්‍රවීණයෙක් එක්ක අලුත් වැඩක් කරන්නත් ටෂ්නිට අවස්ථාව ලැබිල. අපි ඇයගෙන්ම වැඩි විස්තර අහමු.

ප්‍රසංග වලට ලැබෙන ආරාධනා කොහොමද?

මේ දවස්වල ප්‍රසංගවලට ආරාධනා ගොඩක් ලැබිල තියෙනව. ඒ වගේම බොහෝ කාලෙකට පස්සෙ කලාකරුවො සියලුම දෙනා කාර්යබහුල වෙලා තියෙනව. කොවිඩ්වලින් පස්පෙ ප්‍රේක්‍ෂකයන් අතරට යන්න ලැබුණ හොඳම අවස්ථාවක් මේක. ඒ වගේම මගේ ‘සළඹ සලා‘ සහ ‘නටමු නේද‘ යන ගීත දෙකටත් ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම මේ කාලෙ ප්‍රසංගවලින් අඩුවක් නැහැ.

රසික ප්‍රතිචාර මොන වගේද?

ඉස්සරට වඩා දැන් රසික ප්‍රතිචාර වැඩි වැඩියෙන් ලැබෙනව. ෂෝ එකකට ගියත් මාව හොයාගෙන ඇවිත් කතාකරනව. ඒ ගැන නම් නිහතමානී ආඩම්බරයක් තියෙනව. හරිම සතුටුයි.

‘සළඹ සලා‘ ලැබුවෙ බලාපොරොත්තු වුණ ජනප්‍රියත්වයක්ද?

ඇත්තටම වෙන ගීතයක් කරමින් ඉන්න අතර තමයි සඳරුවන් ජයසිංහ මේ ගීතය මට අහන්න සැලැස්සුවෙ. එතනදි කරමින් හිටපු ගීතය ඉක්මණින් අවසන් කරල මේ ගීතය කළා. ඒ වෙලාවෙ නම් මට හිතුන ප්‍රේක්‍ෂකයන් මේ ගීතයට ආකර්ශනය වෙයි කියල. නමුත් මේ තරම් නොසිතූ ප්‍රතිචාරයක් ලැබෙයි කියල හිතුවෙ නැහැ.

අලුත් ගීතයකට කාලය හරි?

ඔව් අනිවාර්යයෙන්ම. ගීත කිහිපයක්ම කරල තියෙන්නෙ. එළියට එන්න ටිකක් පරක්කු වුණා. ඒ අතරින් විශේෂ ගීත කිහිපයක්ම තියෙනව. දෙකක් වික්ටර් රත්නායක මහත්මයා සමග කළා. කාර්යබහුලත්වයත් එක්ක පොඩි ගැටලුවක් මතුවෙලා තියෙනව වීඩියෝ ටික කරගන්න.

මේ විෂුවල් එකට වික්ටර් රත්නායක මහත්මයාවත් සම්බන්ධ කර ගන්නවද?

අනිවාර්යයෙන්ම එතුමාව සම්බන්ධ කරගෙන මේ විෂුවල් එක කරන්න බොහොම කැමැත්තෙන් ඉන්නව.

එතුමා මේ ගීතය කරන්න කැමති වුණාද?

ඒක හරිම කලාතුරකින් හම්බවෙන බොහොම වාසනාවන්ත අවස්ථාවක්. වික්ටර් රත්නායක මහත්මයා කියන්නෙ මගේ සීයාගේ හොඳම යාළුවෙක්. එතුමා මේ ගීතය කරන්න කැමති වුණේත් ඒ යාළුකම නිසා. විෂුවල් එකට පෙනී ඉන්නත් බොහොම නිහතමානීව කැමති වුණා.

වික්ටර් රත්නායකයන් සමග ගීත දෙකක් කළා - මගේ සීයා කිව්වෙ පුංචි රුක්මණී කියල

මොකක්ද මේ අනෙක් ගීතය?

මේ ගීතය ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා ලියන්නෙ මගේ අම්මට. ඒක මව් ගුණ ගීතයක්. එතුමා ඒක මගේ ආච්චිට දීල තිබුණ තියාගන්න කියල. ඇය ඒක මට දුන්නා. එතනදි මම කල්පනා කළේ මේකට මෙලඩියක් දාගන්න හොඳම කෙනා තමයි වික්ටර් මහත්මයා කියල. මොකද වික්ටර් මහත්මයායි අල්විස් මහත්තයයි කියන්නෙත් එකිනෙකාට බැඳුන දෙන්නෙක්නෙ. ඒ වචන වලට සුදුසුම මෙලඩිය තියෙන්නෙ ඔහු ළඟ කියලයි මට හිතුනෙ.

සැමියාගෙන් ලැබෙන සහයෝගය?

ඇත්තටම සංගීතය සම්බන්ධයෙන් මම හරිම කම්මැලියි. අවුරුදු 16 ඉඳන් මාව තල්ලු කරගෙන ආවේ මගේ පවුලේ කට්ටිය. දැන් සැමියා තමයි මාව තල්ලු කරගෙන යන්නෙ. ඔහු නිසාම මම දැන් ටිකක් උනන්දු වෙලා තියෙනව. මම අද පොඩි හරි තැනක ඉන්නව නම් ඒ ඔහු නිසා.

ප්‍රසංගවලටත් ඔහු ඔබ සමග එනව?

මට වාහනය පදවන්න පුළුවන්. නමුත් එයා කියන්නෙ හදිසියේවත් නින්ද යයි කියල. වැඩිපුරම ආරාධනා ලැබෙන්නෙ රාත්‍රි ප්‍රසංග වලට. ඒ අවස්ථාවලදි ඔහු තමයි මං එක්ක වැඩිපුරම යන්නෙ. ඒ වගේම තම අයිය කෙනෙකුයි අක්ක කෙනෙකුයි යනව අපි එක්ක. ඔවුන්ටත් බොහොම ස්තූතිවන්ත වෙන්න ඕන.

පැමිණි ගමන ගැන තෘප්තිමත්ද?

ඔව් මම මේ ගමන පටන්ගත්තෙ අවුරුදු දොළහෙදි. ප්‍රේක්‍ෂකයන් මාව වැළඳ ගන්නෙ අවුරුදු දහසයේදි. හැලහැප්පීම් අඩු වුණත් මේ ගමන එන්න ලොකු කට්ටක් කන්න සිද්ධ වුණා. ප්‍රශ්නත් එක්ක එන ගමනෙ දියුණුවක් තියෙනව වගේම නැවත හැරිල බැපුවාම හදාගන්නත් ගොඩක් දේවල් තියෙනව.

ඔබ කෙනෙක්ව අනුකරණය කරනවද?

වික්ටර් රත්නායකයන් සමග ගීත දෙකක් කළා - මගේ සීයා කිව්වෙ පුංචි රුක්මණී කියල

මගේ සීයා මට හැම වෙලාවෙම කිව්වෙ පුංචි රුක්මණී කියල. මොකද ඔවුන් හොඳ යහළුවො. ඔහු එදා මගෙන් යමක් දකින්න ඇති. අද මට රුක්මණී දේවී මහත්මියගේ

කටහඬ පිහිටලා තියෙනව. ඒක අනුකරණය කිරීමක් නෙමෙයි. මම හැම වෙලාවෙම බලන්නෙ ටෂ්නි කියන නම හදාගන්න.

ප්‍රසංගයකදී ඔබට සංගීත කණ්ඩායම වැදගත් නැද්ද?

ඇත්තටම මම සංගීත කණ්ඩායම් තෝරා බේරාගෙන ප්‍රසංග වලට සහභාගි වෙන්නෙ නැහැ. මේ වන විටත් මම හැම සංගීත කණ්ඩායමක් එක්කම වගේ ගීත ගායනා කරල තියෙනව. ඒ වගේම ඔවුන්ගෙනුත් මට උපරිම සහයෝගය ලැබිල තියෙනව.

ඒකපුද්ගල ප්‍රසංගයක් කළොත්?

මම හිතන්නෙ තවම ඒකට කාලය ආවෙ නැහැ. මට තව නිර්මාණ ඕන. තවම මං මුල් පියවර විතරයි තියල තියෙන්නෙ. ලොකු දුරක් වගේම සැළසුම් ගොඩක් තියෙනව. කොන්සර්ට් එක කියන්නෙ ඒ හැමදේකම අවසානය වෙන්න පුළුවන්.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment