අපේ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකාගාරය හරි හරියට දකුණු ඉන්දීය සිනමාවට ආදරය කරනවා. ඒ නිසා ම දකුණු ඉන්දීය සිනමාව කොපි කරලත් ලංකාවේ නිර්මාණ බිහි වෙනවා. අද අපි කතාබහ කරන්න හදන්නේ එහෙම කාරණාවක් ගැන නම් නෙමෙයි. දකුණු ඉන්දීය සිනමාවත් සමග වැඩ කරපු අපේ රටේ රංගන ශිල්පිනියක් ගැනය. දකුණු ඉන්දීය සිනමාවේ දැවැන්ත තරු වශයෙන් සැලකෙන සමුතුකාන, යෝගී බාබු සහ රම්‍යා හම්බීසන් සමග නිර්මාණය වන ‘බයිලා’ චිත්‍රපටයට තමයි ඇයට රංගනයෙන් දායක වෙන්න ලැබුණේ. ඇය වෙන කවුරුවත් නෙමෙයි පසුගියදා නිමාව දුටු රයිගම් ටෙලි ලෙසින් සම්මානයට පාත්‍රවූ මිෂෙල් දිල්හාරා ය.
මිෂෙල් දමිළ සිනමාවට සම්බන්ධ වුණා කියලා ආරංචියි?
ඔව් අදිරන් තමයි මගේ පළමු දමිළ සිනමා නිර්මාණය. එහි රූගත කිරීම් අවසන් වෙලා පසුගියදා පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වූවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ තිනේජ් ත්‍යාගරාජ්. ඒඩි්‍රයන් නිෂ්පාදනයක්. චිත්‍රපටය ළඟදීම තිරගත කිරීමට සූදානම් වෙන ගමන් තමයි ඉන්නේ.
දකුණු ඉන්දීය සිනමාවටත් සම්බන්ධ වුණා නේද?
ඔව්. අදිරන් චිත්‍රපටයෙන් පස්සේ දකුණු ඉන්දීය සිනමාවට සම්බන්ධ වෙන්න කියලා මට ආරාධනාවක් ලැබුණා. චිත්‍රපටයේ නම ‘බයිලා’.
කොහොමද මේ ආරාධනාව ලැබුණේ?
මෙම චිත්‍රපටයේ නිෂ්පාදක ආර්. කන්නන්ගෙන් තමයි මට මේ ආරාධනාව ලැබුණේ. ඔහුගෙන් තමයි ප්‍රධාන භූමිකාව නියෝජනය කරන්න කියලත් කිව්වේ. මේ නිර්මාණයට රංගනයෙන් දායක වෙන සියලුම දෙනා ඉන්දීය නළු නිළියන්.
කවුද මේ ඉන්දීය නළු නිළියන්?
දකුණු ඉන්දීය සිනමාවේ දැවැන්ත නළු නිළියන් ප්‍රමාණයක් මේ චිත්‍රපටයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. සමුතුකානී, යෝගි බාබු සහ රම්‍යා හම්බීසන්. රාජ් කුමාර් යන පිරිසත් එක්ක මටත් රංගනයෙන් දායක වෙන්න අවස්ථාවක් උදාවුණා. විශේෂයෙන්ම සමුතුකානී කියන රංගන ශිල්පියා දකුණු ඉන්දීය සිනමාවේ දැවැන්තයෙක් කියලයි ඔවුන් සලකන්නේ. ඉතිං ඔහුත් එක්ක රංගනයෙන් දායක වෙන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි.
‘බයිලා’ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කළාද?
අපේ ලංකාවේ චිත්‍රපට ආරම්භ කරන කොට පවත්වන්නේ මුහුරත් උලෙළක්නේ. ඔවුන්ගේ පූජාවක් තියලා තමයි වැඩ කටයුතු ආරම්භ කරන්නේ. ඉතිං ‘බයිලා’ චිත්‍රපටයේ ප්‍රධාන පූජාව පැවැත්වුණේ රාමේශ්වරම් කෝවිලේ. මම එම අවස්ථාවට සහභාගි වුණා. එහිදී පළමු දර්ශනයත් අපි රූගත කිරීම් සිදු කළා. කොහොමත් ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර අනුව පූජාව පවත්වලා පළමු දර්ශනය රූගත කිරීම් සිදුකරනවා. ඉතිං ඒ අවස්ථාවට තමයි මම පසුගිය ටිකේ සහභාගි වෙලා හිටියේ.
සම්පූර්ණ රූගත කිරීම් ළඟදීම ආරම්භ කරනවා ද?
බොහෝ වේලාවට මේ වසරේ මැයි මස හෝ ජුනි මස රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිතයි. දවස් 50ක කාලයක් පුරාවට මෙහි රූගත කිරීම් සිදුවෙනවා. ඉන්දියාවේ තමයි මෙහි රූගත කිරීම් සියල්ලම වගේ සිද්ධ වෙන්නේ.
මේ ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටුයි. දකුණු ඉන්දීය සිනමාව කියන්නේ වෙනස්ම පැතිකඩක්. මොකද ඔවුන්ගේ සිනමාවේ අත්දැකීම ලබාගන්න පුළුවන් වීම වගේම දකුණු ඉන්දියාවේ සිටින දැවැන්ත නළු නිළියන් සමග මටත් රංගනයෙන් දායක වෙන්න අවස්ථාවක් උදාවුණා. ‘බයිලා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ තිර රචනාව සිදු කරලා තිබෙන්නේ කේ. වීරකුමාර්. දෙබස් විජී කියන පුද්ගලයාගේ.
ඔහු දකුණු ඉන්දීය සිනමාවේ බොහෝ නිර්මාණ රැසක දෙබස් රචකයෙක්. කාල තියටර්ස් වෙනුවෙන් ආර්. කන්නන් තමයි මෙය නිෂ්පාදනය කරනු ලබන්නේ. ඔහුත් දකුණු ඉන්දීය සිනමාවේ ගොඩක් චිත්‍රපට නිෂ්පාදනය කරලා තිබෙනවා.
මෙහි සංගීතයත් සුවිශේෂයි නේද?
ඔව්. පැහැදිලිවම. මෙහි සංගීතය අපි කවුරුත් හොඳින් දන්නා හඳුනන හැමෝම ආදරය කරන සනුක වික්‍රමසිංහ. ඒ වගේම ගීත රචනය පසුගිය දවස්වල ‘අයියෝ සාමී’ ගීතය රචනා කිරීමෙන් අතිශය ජනප්‍රිය වුණු ‘පොතුවිල් අස්මින්’ තමයි ඒ සඳහා දායක වුණේ. ගායනයෙන් දකුණු ඉන්දීය ගායක ගායිකාවන් තමයි සම්බන්ධ වෙන්නේ.
මේක ලංකාවේ නිළියකට කලාතුරකින් ලැබෙන අවස්ථාවක්?
ඇත්තට ම ඒ දුරකථන ඇමැතුම ආවාට පස්සේ එක පාරටම හිතාගන්න බැරි වුණා, ලොකු සතුටක් ඇතිවුණා. මොකද මගේ ජීවිතයේ ලොකු චේන්ජ් එකක් කරන්න පුළුවන් කියලත් හිතුණා. මට මෙහිදී අභියෝගයකුත් තිබෙනවා ඇත්තටම භාෂාව තමයි මට තියෙන ලොකුම අභියෝගය.
මේ දවස්වල දමිළ භාෂාව පුහුණු වෙනවා කියන්නේ ඇත්ත ද?
ඔව්…ඔව්… මම මේ දවස්වල දමිළ භාෂාව කතා කරන්න පුරුදු වෙනවා. දකුණු ඉන්දීය සිනමාවේ අංග චලන එහෙම ගොඩක් වෙනස්. පෙර පුහුණු වීම් රැසක් තියෙනවා. මේ ලැබුණු අවස්ථාවේ අභියෝග රැසක් තිබුණත් ඒක ජය ගන්න උත්සාහ කරනවා.
‘බයිලා’ අධ්‍යක්ෂ කේ. වීරකුමාර් මොනවද ඔබට කිව්වේ?
මගේ පළමු දර්ශනය තිබුණේ අඬන දර්ශනයක්. ඒ දර්ශනය සාර්ථකව නිම කළාට පසුව අත්පුඩි ගහලා එහෙම ඔවුන්ගේ සතුට පළ කළා. ඔවුන්ගේ හැම දර්ශනයක්ම රූගත කරලා අවසානයේ අත්පුඩි ගහලා එහෙම ගොඩක් ගෞරව කරනවා. මම ඔවුන්ගේ ක්ෂේත්‍රයට නවකයෙක් නිසාම ලොකු සහයෝගයක් ලබාදෙනවා. හැබැයි ඔවුන් මට සැලකුවේ ඔවුන්ගේ පවුලේ කෙනකුටම වගෙයි. මට භාෂාව පිළිබඳ ලොකු අභියෝගයක් තිබුණට ඔවුන් ඒක ඒතරම් අමාරුයි කියලා දැනෙන්න දුන්නේ නැහැ. මට පහසු විදිහට වැඩ කරන්නත් ඔවුන් මට අවස්ථාව හදල දුන්නා.
සමුතුකානී කියන රංගන ශිල්පියා ඔවුන් දකුණු ඉන්දියාවේ දැවැන්තයෙක් විදිහට තමයි සලකන්නේ. ‘ඉන්දියන් 2’ චිත්‍රපටයෙත් ඔහු රඟපෑවා. ඔහුත් සමග තමයි මට වැඩ කරන්න ලැබුණේ. මේක මගේ පළමුවැනි දකුණු ඉන්දීය සිනමා නිර්මාණය.
දිනේෂ් විතාන