දුර්වල පිතිකරණයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය අහිමිවෙයි

82

ශ්‍රී ලංකාව – ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව කාන්තා එක්දින තුන්කොන් තරගාවලිය

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දුර්වල පිතිකරණය නිසා කාන්තා තුන්කොන් තරගාවලියේ මුල් තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම හමුවේ කඩුලු නවයක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවනට ඊයේ සිදුවිය.

වර්ෂාව නිසා එක් ඉනිමක් පන්දුවාර 39කට සීමා වෙමින් පැවැති තරගයේදී පන්දුවාර 38.1 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 147ක් පමණි.

ශ්‍රී ලංකාව – ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන කාන්තා එක්දින තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ඇරඹීමට නොහැකි විය. ඒ අනුව දහවල් 12ට පමණ තරගය ඇරඹීමට හැකියාව සැලසුණු අතර එක් කණ්ඩායමකට පන්දුවාර 39 බැගින් හිමිවිය. ඒ අනුව කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායිකා හර්මන්ප්‍රීට් කවුර් පළමුව පන්දුවට පහරදීමට සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇරයුම් කර සිටියාය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ මැද පෙළ පිතිකාරිනියක වන පියුමි වත්සලා සහ මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදාරා එක්දින වරම් දිනා ගත්හ.

පියුමි වත්සලා පානදුර ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන අතර නිමා වූ දේශීය එක්දින කාන්තා තරගාවලියේදී ශතක 2ක් ලබාගනිමින් කැපීපෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩිකාවකි.

පියුමි වත්සලා ගාල්ල කතලුව ජාතික පාසලේ ගුරුවරියක ලෙස කටයුතු කරන අතර බෙලිඅත්ත ධම්මපාල බාලිකා විiාලයේ අධ්‍යාපනය හදාරා ඇති අතර ක්‍රිකට් ගමට ශක්තිමත් වැඩපිළිවෙළ යටතේ පියුමිට ජාතික කණ්ඩායමේ දොර විවෘත විය.

මල්කි මදාරා ඉකුත්දා නවසීලන්ත තරග සංචාරයෙහි ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි – 20 තරගයකට ක්‍රීඩා කර වරම් ලබාගත්තාය. ඇය සිය මංගල තරගයේදීම නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලබාගනිමින් ජාත්‍යන්තර තරග සඳහා අඩිතාලම දමා ගත්තාය.

24 වැනි වියේ පසුවන මල්කි, මාරඹ මහා විදුහලින් සහ තෙලිජ්ජවිල මැදි විදුහලින් අධ්‍යාපනය හදාරා තිබේ.

නවසීලන්ත තරග සංචාරයට ඇතුළත් නොවූ හසිනි පෙරේරා, හංසිමා කරුණාරත්න සහ ඉනෝකා රණවීර ඊයේ තරගයට ඇතුළත් වී සිටියහ. කෙසේවෙතත් ඊයේ චමරි අතපත්තු සමගින් ඉනිම ඇරඹුවේ හසිනි පෙරේරායි. ඒ අනුව විශ්මි ගුණරත්නට ඊයේ තරගයේ එම ස්ථානය අහිමි වී තිබුණි.

විශ්මි ගුණරත්නගේ ස්ථානය ආදේශ කරමින් නායිකා චමරි අතපත්තු සමගින් ඉනිම ආරම්භ කළ හසිනි පෙරේරා

රැස්කරන ලද ලකුණු 36 හැරුණුකොට ඉනිමේ තරමක් හෝ දුරට සාර්ථක වූයේ කවීශා දිල්හාරා (25) සහ කඩුලු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනි පමණි. නායිකා චමරි අතපත්තු මුළු ලකුණු 23ක්ව තිබියදී ලකුණු 7කට දැවීගිය අතර කඩුලු අතරවූ අසාර්ථක බැඳීම නිසා එම වාසිය ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව අඩුකිරීමට ඉන්දිය පන්දු යවන්නියෝ සමත්වූහ.

වර්ෂාව නිසා තෙතබරිතභාවය සමග පන්දුවේ දෝලනය ඉන්දීය පන්දු යවන්නියන් වන දීප්ති ශර්මා සහ ශ්‍රී චරනි ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 7කට හිමිකම් කීහ. ඒ අතරින් ස්නේ රානා කඩුලු 5ක් දවාගනිමින් වැඩිම කඩුලුලාභිනිය වීමට ද පත්වූවාය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ පන්දු යවන්නියන් හය දෙනාම සිය කණ්ඩායම වෙනුවෙන් උපරිමයෙන් වගකීම ඉටුකළහ.

පන්දු රැකීමේදී රිචා ගෝස් කඩුල්ල පිටුපස සිට හංසිමා කරුණාරත්නගේ ස්ටම්ප් කිරීම අතපසු වීම හැර ශ්‍රී ලංකා පිතිකාරිනියන්ට ලකුණු ලබාගැනීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන්හ.

ශ්‍රී ලංකා ඉනිමේ මුළු කඩුලු 7ම ලකුණු 112දී දැවී ගිය ද 8වැනි කඩුල්ලට අනුෂ්කා සංජීවනිට එක්වුණු අචිනි කුලසේකර ලබාගත් ලකුණු 32 නොවන්නට ශ්‍රී ලංකා ඉනිම මීට පෙර අවසන්වීමට ඉඩකඩ තිබිණි.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 39.1දී සියලු දෙනා දැවී ලකුණු 147ක් ලබාගත්හ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ලකුණු 148ක ඉලක්කය හඹාගිය ඉන්දීය පිතිකාරිනියෝ සිය ඉලක්කය පන්දු 56ක් ඉතිරිව තිබියදී ජය ලැබීය.

ඉන්දියාව වෙනුවෙන් පිටියට පිවිසි පිතිකාරිනියන් තිදෙනාට ලකුණු 40 සීමාව ඉක්මවාලමින් ලකුණු රැස් කළ අතර දැවීගිය එකම පිතිකාරිනිය වන ස්මිත්‍රි මන්දනා පන්දු 46දී ලකුණු 43ක් ලබාසිටියදී ඉනෝකා රණවීරගේ පන්දුවක් හමුවේ උඩපන්දුවක් ලබාදී දැවීගියාය.

හර්ලින් ඩියොල්ගේ පිත්තෙන් එල්ලවූ හතරේ පහරත් සමග ඉන්දීය ජයග්‍රහණය තහවුරු වෙද්දී ඇයගේ නම ඉදිරියෙන් ලකුණු 48ක් ද තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද තේරී පත්විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 39.1කදී සියලු දෙනා දැවී ලකුණු 147යි.

(හසිනි පෙරේරා 30, චමරි අතපත්ත 07, හර්ෂිතා සමරවික්‍රම14, හංසිමා කරුණාරත්න 04, කවීෂා දිල්හාරි 25,නිලක්ෂි ද සිල්වා 10, අනුෂ්කා සංජීවනී 22, පියුම් වත්සලා 02, අචිනි කුලසූරිය 17, මල්කි මදාරා 02, ඉනෝකා රණවීර 00,

ඉන්දීය පන්දු යැවීම – ස්නෙ රානා 31/3, ශ්‍රී චාරුණි 26/2, දීප්ති ශර්මා 22/2, අරුන්දතී රෙඩී26/1,

ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දු වාර 29.4කදී කඩුල්ලක් දැවී ලකුණු 149යි.

ප්‍රාතිකා රාවල් 50, ස්මිත්‍රි මන්දනා 43, හර්ලීස් ඩියෝල් 48,

ශ්‍රී ලංකා පන්දු යැවීම – ඉනෝකා රණවීර 32/1
සුසිල් ජයකොඩි ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට


advertistmentadvertistment