දූ දරුවන්ගේ අධ්‍යාපනය දුර්වල කරන තරංග සංඛ්‍යාතයන්

72

නිවසේ දරුවාට පාඩම් වැඩ කිරීමට හොඳම ස්ථානය වන්නේ එම නිවසේ ඊශාන දිශාවයි. ඊශාන දිශාව තුළ උතුරට නැඟෙනහිරට මුහුණලා පාඩම් වැඩ කිරීම එම දරුවන්ගේ අධ්‍යාපනික දියුණුව වැඩි කරයි. සියලු බුදුවරුන් බුද්ධත්වයට පත් වුණේ පූර්ව දිශාව හෙවත් නැඟෙනහිර දිශාව බලා සිටිමින්ය. නැඟෙනහිර යනු ප්‍රඥාවේ දිශාවයි. තවද එම දිශාවෙන් ගලා එන සූර්ය ආලෝකය ඊශාන දිශා කාමරය සිසාර ගලා යයි.

බනිස් ගෙඩිය කාලා හරි
කහට උගුර බීලා හරි
හොඳින් ශිල්ප ඉගෙන ගන්න
ලොකු මිනිහෙක් වෙන්න

නොවේ හොඳ මිනිහෙක් වෙන්න සිතා අධ්‍යාපනයේ මූලික අරමුණ ඉහළම රැකියාවක් ලබා ගැනීමට මංපෙත හෙළිකර ගැනීම නොව සමාජයට බරක් නැති, රටට බරක් නැති හොඳ පුරවැසියකු නිර්මාණය කර ගැනීමයි. දරුවන්ගේ අධ්‍යාපනයේදී දෙමාපියන් තරම් දුක්විඳින කැප කිරීම් කරන අය නොමැත. පියා උපයන ආදායමෙන් තුන්වේල නොකා හෝ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට වෙහෙසෙන්නේ තමන් අධ්‍යාපනයේ වටිනාකම හොඳින් දන්න නිසාය.

සමහර දරුවන් තම අධ්‍යාපන කටයුතුවලදී ගොඩක් කැපකිරීම් කරමින් පාඩම් කරමින් දෙමාපියන්ද වෙහෙස දරමින් උපකාරක පන්තිවලයට සහභාගි වෙමින් ඉතාමත්ම දක්ෂයන් ලෙස පාසලේදී කැපී පෙනෙන ආකාරයට විභාගවලින් සමත් වුවද අ.පො.ස. සා/පෙළ, අ.පො.ස. උ/පෙළ විභාගවලදී අවම සාමාර්ථ ලබා ගනී. නමුත් සමහර දරුවන් කිසිම උපකාරක පන්තියකට නොගියත් එතරම් වෙහෙස නොදරා ඉහළ ප්‍රතිඵල ලබාගනී. ඒ වගේම මා දන්න ඉතා දක්ෂ පෞද්ගලික රෝහල් පවා හිමි කරුණාවන්ත වෛiවරයෙක් එක්තරා උත්සවයකට පැමිණ ප්‍රධාන ආරාධිතයා වශයෙන් තම දේශනයේදී තමන් කිසිම පහසුකමක් නැතිව තමන්ගේ අධ්‍යාපනය ලබා ඇත්තේ කුසට හරිහමන් ආහාරයක් පවා නොමැතිව පාරේ තිබුණ විදුලි පහන් ආලෝකයෙන් පාඩම් කර උසස් අධ්‍යාපනයට පිවිසුන බවයි. මේ කතාවත් සමඟින් අපට පෙනෙන කරුණු අතර දරුවෙකුගේ අධ්‍යාපනය සාර්ථක වීමට නම්,

  1. තමන්ගේ පූර්ව කුසල් ශක්තිය නිසා උපතින්ම ඥාන ශක්තියෙන් හෙබි අයෙකු බවට පත් වේ. තමන් පූර්ව ආත්මයේ කරන ලද අකුසල් බලවත් වීමෙන් අඩු ඥාන ශක්තියකින් හෙබි අයෙකු බවට පත් වේ.
  2. දරුවෙකු ජීවත්වන පරිසරය ඇසුරු කරන පුද්ගලයන් දෙමාපියන්ගේ අවධානය, උනන්දුව යන කරුණු ධනාත්මකව දරුවෙකුට කරන බලපෑම අධ්‍යාපනය වැඩිදියුණු කර ගැනීමට හැකි මෙන්ම ජීවත්වන පරිසරයේ දෝෂ, නුසුදුසු පුද්ගලයන්ගේ ඇසුර, දෙමාපියන්ට දරුවාට අධ්‍යාපනය ලබාදීමට උනන්දුව නොමැති වීම නිසා දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම.
  3. නිවාසවල ජීවත්වන දරුවන්ට තමන් ජීවත්වන නිවසේ පවතින නිවසට ඇදී එන ශුභ ශක්තීන් තුළින් යහපත් මානසිකත්වයක්, ඥාන ශක්තිය වර්ධනය වීමත් නිසා අධ්‍යාපන කටයුතු පාඩම් වැඩ ධාරණ ශක්තිය ඉහළ නැංවෙන අතර ඒ තුළින් දරුවන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු වන අතර නිවසෙහි පවතින වාස්තු දෝෂ මත අශුභ ශක්තීන් නිතරම නිවසේ රැඳෙන තත්ත්වයක් තුළ නම් එම නිවසේ දරුවන්ට දෙමාපියන් කොතරම් උනන්දුවක් දැක්වුවද දරුවා කොතරම් වෙහෙස දැරුවද බලාපොරොත්තු වන ප්‍රතිඵල නොලැබෙනු ඇත.

දැන් අපි බලමු නිවසක කුමන දෝෂ නිසාද දරුවාගේ අධ්‍යාපන කටයුතු බාධා වෙන්නේ දුර්වල වන්නේ කියා.

නිවස අන්ධකාර භාවයෙන් යුක්ත වීම හෙවත් නිවස ඇතුළත අඳුර පැවතීම විශේෂයෙන් දහවල් කාලයේ පවා නිවසේ සිටින්න සිදුවෙන්නේ බල්බ් එකක් දමාගෙන. මේ නිසා විදුලි ආලෝකය තුළින් නිවස ආලෝක වුවත් ස්වාභාවිකව ලැබෙන ආලෝකය හෙවත් හිරුඑළිය, සුළඟ නිවස අභ්‍යන්තරයට නොමැති වීම. නැඟෙනහිර දිශාවට ජනේලයක් දොරක් නොමැති වීම, නැඟෙනහිර දිශාව මායිම් බිත්තියට ගැනීම. මේ අන්ධක දෝෂය පැවතීම තුළින් නිවැසියන්ට මානසික පීඩා, උදාසීනකම, සිතේ විවේකය, සතුට, සැනසීම අහිමි වෙනවා වගේම නිවසේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අසාර්ථක වෙනවා. දරුවන් ඉගෙනීමට, පාඩම් වැඩවලට අලස වෙනවා. විභාගවලින් ජය ගැනීමටත් සාර්ථකත්වය ළඟා කර ගැනීමටත් නොහැකි වන දෝෂයකි මෙය. මේ මෑතදී ගාල්ලට ආසන්න දෙමහල් නිවසක වාස්තු පරීක්ෂාවට ගියෙමි. නිවසට ඇතුල් වුණ ගමන් මා දුටුවේ එම නිවසේ කුඩා දරුවන් දෙදෙනා උඩුමහලට ගොඩවන තරප්පු පේළිය යට තිබෙන නිදහස් ස්ථානයේ කුඩා මේස දෙකක් තබාගෙන පාසල් වැඩ කරන ආකාරයයි. එය දුටු සැණින් මොකුත් නොකියා දරුවන්ගේ මවගෙන් විමසුවේ දුවයි පුතයි ඉගෙන ගන්න ගොඩක් මහන්සි වෙනවා නේද කියාය. මව ගත් කටටම කීවේ අනේ ඔව් මහන්සි වෙනවා ඉස්කෝලේ ඇරිලා ආපුවෙලේ ඉඳන් හෝර්ම් වර්ක් කරනවා. ඒත් මේ අයට කිසිදෙයක් මතක හිටින්නේ නෑ. මේ කියන දේ මේ පාඩම් කරන දේ තව ටිකෙන් අමතකයිනේ. එය එසේ විය යුතුයි. මක්නිසාද පඩි පෙළ යට පවතින්නේ ඉතාම අශුභ ශක්තියකි. එම ස්ථානය නිදහස්ව පැවතිය යුතුය. එදින මම එම නිවසින් එන්නට පෙර දරුවන්ගේ එම මේස 02ක හා පුටු ඉවත් කරන ලදී. සති කීපයකින් දරුවන්ගේ මව මා අමතා ප්‍රකාශ කළේ “මහත්තයා කියපු දේ හරි දරුවෝ දෙන්නා දැන් වෙනදා වගේ මන්සිවෙන්නේ නෑ. ඒත් මාර උනන්දුයි පුදුම මතකයක් තියෙනවා”

මේ ආකාරයට නිවසේ කොන්ක්‍රීට් බීම් යට, යට ලී මූට්ටු පවතින ස්ථානවල, මුදුන් යටලී, අට්ටාල යටලී, නිවසේ වහලයට දමා ඇති කුරුපා යට ළමුන්ගේ මේසය පුටුව නොතැබිය යුතු අතර එසේ පැවතීමෙන් ඒවා හරහා ගලා එන අශුභ ශක්තීන් ගුරුත්වාකර්ෂණ බලයෙන් දරුවන්ගේ හිස මනසට බලපෑම් ඇති කරයි. අලසකම ඇති වේ. මතකය ධාරණ ශක්තිය දුර්වල වේ.

නිවසේ දරුවාට පාඩම් වැඩ කිරීමට හොඳම ස්ථානය වන්නේ එම නිවසේ ඊශාන දිශාවයි. ඊශාන දිශාව තුළ උතුරට නැඟෙනහිරට මුහුණලා පාඩම් වැඩ කිරීම එම දරුවන්ගේ අධ්‍යාපනික දියුණුව වැඩි කරයි. සියලු බුදුවරුන් බුද්ධත්වයට පත් වුණේ පූර්ව දිශාව හෙවත් නැඟෙනහිර දිශාව බලා සිටිමින්ය. නැඟෙනහිර යනු ප්‍රඥාවේ දිශාවයි. තවද එම දිශාවෙන් ගලා එන සූර්ය ආලෝකය ඊශාන දිශා කාමරය සිසාර ගලා යයි. එයද හිරු හෙවත් රවි ග්‍රහයාගේ කිරණින් අධ්‍යාපනය හදාරන දරුවෙකුට ලැබෙන ආශීර්වාදයකි. රවි හෙවත් සූර්යා ග්‍රහලොව රජුය. රවි ග්‍රහයා ඉංග්‍රීසි භාෂාවට කාරකත්වය දරයි. එනම් භාෂාවේ පවතින ස්වර අක්ෂර ව්‍යාංජන අක්ෂරයන් කෙරෙහි රවි හෙවත් සූර්යා නියෝජනය කරයි. එම නිසා පාඩම් කටයුතු කරන දරුවෙකුට රවි ග්‍රහයාගේ කිරණ ආශීර්වාදයකි.

දරුවා අධ්‍යාපනික වැඩ කටයුතු කරන කාමරය සඳහා කිසිම විටෙක රතු පාට වර්ණ, තැඹිලි පාට, කහ පාට, කළු පාට යන වර්ණ ආලේප කිරීම සිදුසු නොවේ. මේ වර්ණ නිසා දරුවන්ගේ මානසික සැහැල්ලු බව, මානසික චින්තනය බිඳ දමනු ලබයි. සුදු පාට, ලා නිල් පාට, ලා කොළ පාට වැනි වර්ණ තුළින් දරුවන්ගේ මානසිකත්වය දියුණු කෙරේ. විශේෂයෙන් බුධ ග්‍රහයා නියෝජනය කරන කොළ වර්ණය නිසා දරුවාගේ පාඩම් කාමරය ලා කොළ වර්ණය ආලේපනය තුළින් බුද්ධිය වර්ධනය වේ. නිවසේ ප්‍රධාන ද්වාරය හෙවත් මංගල උලුවස්ස අශුභ පිහිටි නිවාසවල ද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දුර්වලතාවයට පත් වේ.

ඒ වගේම අධ්‍යාපන කාමරයට පිවිසෙන උලුවස්සද නිවසේ බ්‍රහ්ම පාදය හරහා දිවෙන විකරණ රේඛා හෝ මධ්‍ය රේඛාවලට ඡෙදනය නොවිය යුතුය. පාඩම් කටයුතු කරන කාමරයට යන උලුවස්ස පඩිපෙළ යටින් යන ආකාරයට නොපැවතිය යුතුය. එම උලුවස්සද කුරුපා, යටලී, බාල්ක, තලාදවලට හසු නොවන පරිදි පැවතිය යුතුය. එසේ පැවතීමෙන් දරුවන් දැඩි ලෙන චිත්ත පීඩා, අකීකරු කම්, කේන්ති යෑම් අධික අය බවට පත් වේ.

දරුවන් හෝ නිවසේ වැඩිහිටියන් හෝ අධ්‍යාපනය ලබන අය නම් ඔවුන්ගේ නිදන ඇඳ කිසිම විටෙක උතුරට හිස දමා නිදාගන්නා ආකාරයට පැවතීම තුළින් ඔවුන්ගේ මනස දුර්වල වේ. පාඩම් කටයුතු කිරීමට තරම් ඔවුන්ගේ මනස නිරවුල් නොවේ. උතුරේ පවතින චුම්භක ශක්තිය එයට හේතු වන අතර ගිනිකොන දිසාවේ පවතින තේජෝ හෙවත් උණුසුමට භාජනය වීම නිසාත් ගිනිකොන දිශාවට ද හිස දමා නිදා ගැනීම අශුභ වේ.

දරුවකු පාඩම් කරන ස්ථානයේ පරිසරය සුගන්ධව පැවතීමෙන් මනස නිරවුල් වේ. පාඩම් කරන මේසය මත සමන්පිච්ච මල් පීරිසියකට තබන්න. උතුර ඊශාන දිශාවල පිච්චමල් වැළක් රෝපණය කරන්න. බොහෝ දරුවන්ගේ මේසය මත ගණදෙවි රූපයක් තබා තිබෙනවා. එය බොහෝම හොඳයි. ගණ දෙවියන් වෙනුවෙන් රතු මල්මිටක් තියලා පහනක් දල්වා පැණි රස කෑමක් (අග්ගලා, පොල්ටොෆි, කිරිටොෆි) තියලා ගණ දෙවියන්ගේ මුල් මන්ත්‍රයෙන් 03පාරක් කියලා පිළිමය හරි පින්තූරය හරි බලවත් කර ගැනීම කළ යුතුයි. ඉන්පසු ස්ත්‍රෝත ගායනා කර භක්තියෙන් ගණ දෙවියන් දිනපතා වන්දනාමාන කිරීමෙන් අධ්‍යාපනයට කොතරම් දුර්වල දරුවෙකුට වුණත් නොසිතන ආශීර්වාද දියුණුව අත් වෙනවා. කෙසේ වුවත් දරුවන්ගේ කාමරයේ තබන ගණ දෙවි පින්තූරවල ස්වස්තිකය බොහෝ ඒවායේ පවතින්නේ වාම වෘත ස්වස්තික වශයෙන්. වාම වෘත ස්වස්තිකයක් ඇති ගණ දෙවි රූපයකට කොතරම් වන්දනාමාන කළ ද හිතකර ප්‍රතිඵල ගන්න බෑ. අධ්‍යාපන කාමරයේ පොත් රාක්ක දකුණු දිශාවට හෝ බටහිර දිශාවට තබන්න. පාඩම් කරන මේසය ද කිසිවිටෙක කැඩී ගිය, දිරා ගිය මේසයක් නොවිය යුතුය. මෙම මේසය කොහොඹ දැවයෙන් නිර්මාණය කළ මේසයක් නම් ඉතාම ශුභයි. කෙසේ වුවද මේසය ඍජුකෝණාස්‍ර විය යුතු අතර එය රවුම් හැඩ මේසයක් නොවිය යුතුය. දිග පළල අනුපාතය 2×1 විය යුතුයි. මේසය බිත්තියට හේත්තු නොකළ යුතුය. පරිගණක පරිහරණය කරයි නම් එය කාමරයේ ගිනිකොන දිශාවට තබා ගන්න. මේසය මත තබන විදුලි ලාම්පුවක් ඇත්නම් එය දීප්තිය අධික වීම හෝ දීප්තිය අවම වීම ද නුසුදුසු වේ. මේ ආකාරයට තව බොහෝ දේ මේ සම්බන්ධයෙන් පවතී. කෙසේ හෝ දරුවාගේ අධ්‍යාපන කාමරය කාමරයේ පරිසරය ඝෝෂාකාරි, කලබලකාරි පරිසරයක් තුළ නොමැතිව නිදහස් නිවහල් සාමකාමි යහපත් තරංග සංඛ්‍යාතයන් දරුවාගේ මනසට ඇතුල්වන ආකාරයට පවත්වා ගැනීම තුළින් ඔවුන්ගේ අසහනකාරි අලස මානසික පීඩන ඉවත් වී ඥාන ශක්තිය වර්ධනය වනු ඇත.

දූ දරුවන්ගේ අධ්‍යාපනය දුර්වල කරන තරංග සංඛ්‍යාතයන්

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති, වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව. 0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment