දෙනෝදාහක් බලා සිටියදී කතකට පහර දී මාංචු දැමූ පොලිස් සැරයන් අත්අඩංගුවට

231

වත්තල මීගමුව පාරේදී පෙරේදා (15 දා) මහ දවල් දෙනෝදාහක් බලා සිටියදී කාන්තාවකට පහරදී මාංචු දමා වත්තල පොලිසියට රැගෙන ආ ජාඇල පොලිසියේ සැරයන්වරයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

වත්තල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අනුර ගුණවර්ධන මහතා පැවසූ ආකාරයට සිද්ධිය මෙසේය.

ජාඇල පොලිසියේ සේවය කරන මෙම සැරයන්වරයා මුදල් ආරවුලක් මත වත්තල ෆිනෑන්ස් ආයතනයක් අසලදී අදාළ කාන්තාව සමඟ බහින්බස් වී පසුව ඇය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තාවක මේ ආකාරයෙන් අත්අඩංගුවට ගැනීම බරපතළ වරදක් බව වත්තල පොලිසිය කියයි.

මෙම පොලිස් සැරයන්වරයා කොළඹ කුරුඳුවත්තේ විශේෂ රාජකාරි කරන නිලධාරියකු බව පැවසේ. ඔහු පොලිස් නිල ඇදුමෙන් සැරසී සිට ඇති අතර කාන්තාව අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැරයන්වරයා මාංචු කුට්ටම රැගෙන පැමිණියේ කෙසේදැයි විමසීමේදී කියා ඇත්තේ මාංචු කුට්ටම මුදල් දී පිටතින් ලබාගත් බවයි.
නෝමන් පලිහවඩන


advertistmentadvertistment