ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රකාශය
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සිය ප්‍රථම නිල සංචාරය සඳහා ගියේ ඉන්දියාවටයි. එම සංචාරය අතරතුර පසුගිය දෙසැම්බර් 16 වන දින නවදිල්ලියේදී අපේ ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පුළුල් සාකච්ඡා පැවැත්විණි. මේ සාකච්ඡාවලින් පසු ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරනු ලැබූ අතර එහි තේමාව ලෙස යොදාගෙන තිබුණේ ‘පොදු අනාගතයක් උදෙසා හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කරමින්’ (India – Sri Lanka Joint Statement : Fostering Partnerships for a Shared Future) යන්නයි. මෙම ඒකාබද්ධ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් පසුගියදා (16) මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි. එහි සඳහන් පරිදි ඉන්දියා – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය තවත් වර්ධනය කරගනිමින් දෙරටේ රාජ්‍ය නායකයන් ඇතිකරගත් ප්‍රධාන එකඟතාවන් මේ ලිපියෙන් සාරාංශගත කර ඇත.
ආර්ථික අර්බුදයේ දී දුන් සහය
2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයේ දී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ජනතාවට ලබා දුන් සහයෝගයට ඉන්දියාවට ස්තුතිය පළ කර ඇති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා, මෙරට ජනතාවගේ අභිලාෂයන් සපුරාලීම උදෙසා සිය දැඩි කැපවීම සිහිපත් කරමින් ඒ උදෙසා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කර ඇත. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තිය සහ ‘SAGAR’ යන දැක්ම තුළ ශ්‍රී ලංකාවට හිමිවන විශේෂ ස්ථානයට අනුකූලව මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ සම්පූර්ණ කැපවීම සහතික කිරීම ද විශේෂත්වයකි. ද්විපාර්ශ්වික සබඳතා කාලයත් සමග වඩා ගැඹුරු වී ඇති බව ද, ඒවා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික වර්ධනයට සැලකිය යුතු ලෙස දායක වී ඇති බව ද නායකයන් දෙපළම ඔවුන්ගේ සාකච්ඡාවල දී පිළිගෙන ඇත. වැඩිදුර සහයෝගීතාව සඳහා ඇති විභවතාවය අවධාරණය කරමින් නායකයන් දෙපළම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාව දෙරටෙහිම ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා අන්‍යොන්‍ය වශයෙන් ප්‍රතිඵලදායි පුළුල් හවුල්කාරිත්වයක් දක්වා වර්ධනය කිරීමට සිය කැපවීම ද අවධාරණය කර ඇත.
සංවර්ධන සහයෝගිතාව
දෙරට අතර සංවර්ධන සහයෝගිතාව ඉතාම වැදගත්ය. මේ අනුව ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන සංවර්ධන සහයේ භූමිකාව නායකයන් දෙදෙනාම වැදගත් කොට පිළිගෙන ඇත. එම සහය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික වර්ධනය සඳහා සැලකිය යුතු ලෙස දායක වී තිබේ. ජනතාව මූලික කරගත් සංවර්ධන හවුල්කාරිත්වය වඩාත් ශක්තිමත් කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට සිය කැපවීම අවධාරණය කරමින් නායකයන් දෙපළම පහත කරුණු සම්බන්ධයෙන් ඔවුන්ගේ සාකච්ඡාවලදී එකඟත්වය පළ කර ඇත.
i. ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ තෙවන සහ සිව්වන අදියර, දූපත් තුනක ක්‍රියාත්මක දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක ඉහළ බලපෑමක් සහිත ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතීන් වැනි දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතීන් නියමිත කාලයේදී සම්පූර්ණ කිරීම සඳහා එක්ව කටයුතු කිරීම
ii. ඉන්දීය සම්භවයක් සහිත දමිළ ප්‍රජාව, නැගෙනහිර පළාත සහ ශ්‍රී ලංකාවේ ආගමික ස්ථාන සඳහා සූර්ය විදුලිබලය ලබාදීම සම්බන්ධයෙන් වන ව්‍යාපෘතීන් නියමිත කාලයේදී ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ණ සහයෝගය ලබා දීම
iii. ශ්‍රී ලංකා රජයේ අවශ්‍යතාවන් සහ ප්‍රමුඛතාවන්ට අනුකූලව සංවර්ධන හවුල්කාරිත්වය සඳහා නව ව්‍යාපෘතීන් සහ සහයෝගිතා ක්ෂේත්‍ර හඳුනා ගැනීම
ණය ප්‍රතිව්‍යුහගතකරණය
ඇමරිකානු ඩොලර් බිලියන 4ක් වටිනා හදිසි මූල්‍ය සහ විනිමය සහයෝගයක් ඇතුළු විවිධ සහයෝගයන් හරහා ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථායි කිරීම සඳහා ඉන්දියාව ලබා දුන් සහය සම්බන්ධයෙන් අපේ ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ස්තුතිය පළ කළ අතරම, නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපති වශයෙන් ඉටු කළ භූමිකාව ඇතුළුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය තුළ ඉන්දියාව ලබා දුන් තීරණාත්මක සහය ද අගය කර ඇත. ශ්‍රී ලංකාව සමග පවතින සමීප සහ විශේෂ සබඳතා අවධාරණය කරමින් අග්‍රාමාත්‍ය මෝදි, ශ්‍රී ලංකාව විසින් සිය ආර්ථික යථා තත්ත්වයට පත් කර ගැනීමට, ආර්ථික ස්ථාවරත්වය ඇති කර ගැනීමට සහ ජනතාව උදෙසා සෞභාග්‍යය සඳහා දරන ප්‍රයත්නයේදී ඉන්දියාවේ අඛණ්ඩ සහය ලබා දෙන බව මේ හමුවේ දී අවධාරණය කර ඇත. විශේෂයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම පිළිබඳ සාකච්ඡා අවසන් කරන ලෙස නායකයන් දෙදෙනා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
සම්බන්ධකතාවය ගොඩනැගීම
සාකච්ඡාවල දී දෙරට අතර ඉහළ සම්බන්ධතාවයක වැදගත්කම අවධාරණය කර ඇති රාජ්‍ය නායකයන් දෙදෙනා දෙරටෙහිම ආර්ථික සංවර්ධනය සහ වර්ධනය සඳහා උපයෝගී කරගත හැකි අනුපූරකතා ආර්ථිකයන් ද්විත්වයෙහි පවතින බව හඳුනාගෙන ඒ අනුව පහත එකඟතා ඇති කරගෙන ඇත.
i. ඔවුහු නාගපට්ටිනම් සහ කන්කසන්තුරය අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව නැවත ඇරඹීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින් රාමේශ්වරම් සහ තලෙයිමන්නාරම අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව කඩිනමින් නැවත ඇරඹීම සඳහා නිලධාරීන් කටයුතු කළ යුතු බවට එකඟ වී ඇත.
ii. ඉන්දීය රජයේ ප්‍රදාන යටතේ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය වරාය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා එක්ව කටයුතු කිරීමේ හැකියාව සොයා බැලීමට එකඟ වී ඇත.
බලශක්ති සංවර්ධනය
බලශක්ති ක්ෂේත්‍රය තුළ දෙරටේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දැනට ක්‍රියාත්මක බලශක්ති සහයෝගිතා ව්‍යාපෘතීන් නිසි කාලයට ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැපයීමේ වැදගත්කම නායකයන් දෙදෙනා අවධාරණය කළ අතර පහත කරුණු සම්බන්ධයෙන් එකඟ වී ඇත.
i. සාම්පූර් සූර්ය විදුලිබල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවන් අනුව එහි ධාරිතාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා පියවර ගැනීම
ii. සාකච්ඡාවන්හි විවිධ අදියරයන්හි පවතින යෝජනා රැසක් තවදුරටත් සලකා බැලීම. ඒ අතරට පහත යෝජනා ද ඇතුළත් වේ.
(a) ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ද්‍රවීකෘත ස්වභාවික වායු සැපයීම
(b) ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ ධාරිතා විදුලිබල ජාල අන්තර් සම්බන්ධතාවක් ස්ථාපිත කිරීම
(c) දැරිය හැකි සහ විශ්වාසදායී බලශක්ති සැපයුමක් සඳහා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන පෙට්‍රෝලියම් නළයක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සහයෝගීතාව
(d) සත්ත්ව සහ ශාක ගහනය ඇතුළු පරිසර ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් පෝක් සමුද්‍ර සන්ධියේ අක්වෙරළ සුළං බල විභවතාවය එක්ව සංවර්ධනය කිරීම
මේ අතර ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක සහයෝගීතාව
හඳුනාගනිමින් නායකයන් දෙපළම ත්‍රිකුණාමලය කලාපීය බලශක්ති සහ කාර්මික මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා සහය ලබාදීමට තීරණය කර ඇත.
ජනතා කේන්ද්‍රීය ඩිජිටල්කරණය
ජනතා කේන්ද්‍රීය ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ සාර්ථක අත්දැකීම් හඳුනාගනිමින් ඉන්දියාවේ සහය සමගින් එවැනි පද්ධතීන් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සොයා බැලීමට සිය රජයේ කැමැත්ත ද අපේ ජනපතිවරයා ඉන්දියාවට ප්‍රකාශ කර ඇත. එම ප්‍රයත්නයන්ට පූර්ණ සහයෝගය ලබාදීමට ඉන්දියාව සූදානම් බව අග්‍රාමාත්‍ය මෝදි පවසා ඇත. ඒ අනුව ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම ඉන්දියාවේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හැකි ආකාර සම්බන්ධයෙන් සහයෝගීව කටයුතු කිරීම, ශ්‍රී ලංකාව තුළ DigiLocker ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැනට සිදුවන තාක්ෂණික සාකච්ඡා ඉදිරියට ගෙනයෑම සහ දෙරටෙහිම ගෙවීම් පද්ධතීන් හා සම්බන්ධ නියාමන මාර්ගෝපදේශයන්ට අනුකූලව UPI ඩිජිටල් ගෙවීම් භාවිතය ව්‍යාප්ත කරමින් ඩිජිටල් මූල්‍ය ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණුවලට දෙරට එකඟ වී ඇත.
වෙළඳ සහ ආයෝජන සහයෝගිතාව
වෙළඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීම සඳහා සුවිසල් විභවතාවයක් පවතින බව ද නායකයන් දෙදෙනා පිළිගත් අතර ඒ අනුව ඉන්දියා – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම දෙරට අතර වෙළඳ හවුල්කාරිත්වය ඉහළ නංවා තිබීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කර ඇත. ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය සහ අවස්ථාවන් මෙන්ම එහි වර්ධනය වන වෙළඳපොළ සහ ශ්‍රී ලංකාව සඳහා වෙළඳාම සහ ආයෝජනය ඉහළ නැංවීම සඳහා පවතින විභවතාවය අවධාරණය කරමින් පහත කරුණු සම්බන්ධයෙන් කැපවෙමින් වෙළඳ හවුල්කාරිත්වය තවදුරටත් ඉහළ නංවා ගැනීම සුදුසු බවට ද නායකයින් දෙදෙනා එකඟ වී ඇත.
i. ආර්ථික සහ තාක්ෂණ සහයෝගීතා (එට්කා) ගිවිසුම සම්බන්ධ සාකච්ඡා ඉදිරියට ගෙන යෑම
ii. දෙරට අතර ඉන්දියානු රුපියල් සහ ශ්‍රී ලංකා රුපියල් ගෙවීම් පියවීම් ඉහළ නැංවීම
iii. ශ්‍රී ලංකාවේ අපනයන විභවතාවය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්ෂේත්‍රයන්හි ආයෝජන දිරි ගැන්වීම
සංස්කෘතික සහ සංචාරක කර්මාන්තයේ සංවර්ධනය
දෙරට අතර සංස්කෘතික සහ සංචාරක සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය නායකයන් දෙපළම පිළිගෙන ඇත. ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම සංචාරක ප්‍රභවය වීමේ කාරණය සැලකිල්ලට ගනිමින් පහත කරුණු සම්බන්ධයෙන් කැපවීමෙන් කටයුතු කිරීමට ද නායකයන් දෙපළ එකඟ වී ඇත.
i. චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් සාර්ථකව නැවත ආරම්භ කිරීම සිහිපත් කරමින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ විවිධ ගමනාන්ත වෙත ගුවන් සම්බන්ධතා වැඩිදියුණු කිරීම
ii. ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ සංවර්ධනය පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව පැවැත්වීම
iii. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඉන්දියානු ආයෝජන ප්‍රවර්ධනය කිරීම
iv. ආගමික සහ සංස්කෘතික සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීම සඳහා පහසුකම් සැපයිය හැකි රාමුවක් ස්ථාපිත කිරීම
v. දෙරට අතර සංස්කෘතික හා භාෂාමය සබඳතා ප්‍රවර්ධනය සහ ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අධ්‍යාපන ආයතන අතර ශාස්ත්‍රීය සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම
දෙරටේ ධීවරයන් මුහුණ දෙන ගැටලු
දෙපාර්ශ්වයේම ධීවරයින් මුහුණ දෙන ගැටලු සහ ජීවනෝපාය පිළිබඳ කරුණු සැලකිල්ලට ගනිමින්, මානුෂීය ආකාරයෙන් විසඳුම් සෙවීම තවදුරටත් පවත්වා ගෙනයෑමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් දෙරට නායකයෝ එකඟ වී ඇත. මේ සම්බන්ධයෙන්, කිසිදු ආක්‍රමණශීලී හැසිරීමක් හෝ ප්‍රචණ්ඩත්වයන් වළක්වා ගැනීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ද ඔවුහු අවධාරණය කර තිබේ.
කලාපීය සහ බහුපාර්ශ්වික සහයෝගිතාව
ඉන්දියානු සාගර කලාපයේ පොදු සමුද්‍රීය ආරක්ෂක අභිලාෂයන් හඳුනා ගනිමින්, ද්විපාර්ශ්විකව සහ පවතින කලාපීය රාමු හරහා කලාපීය සමුද්‍රීය ආරක්ෂාව ඒකාබද්ධව ශක්තිමත් කිරීමට නායකයින් දෙපළ එකඟ වූ අතර ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA) ශ්‍රී ලංකාවේ සභාපතිත්වය සඳහා ඉන්දියාව සිය පූර්ණ සහයෝගය ප්‍රකාශ කළේය. BRICS සංවිධානයෙහි සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති අයදුම්පත්‍රය සම්බන්ධයෙන් අපේ ජනාධිපතිවරයා අගමැති මෝදිගෙන් සහය ඉල්ලා සිටි අතර 2028-2029 සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථීර නොවන ආසනයක් සඳහා ඉන්දියාවේ අපේක්ෂකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන සහයෝගයට අගමැති මෝදි ද ප්‍රසාදය පළ කර ඇත.
ඉන්දියාව ශ්‍රී ලංකාවේ සමීපතම සමුද්‍රීය අසල්වැසියා වේ. ඉන්දියාවේ ආරක්ෂාවට මෙන්ම කලාපීය ස්ථාවරත්වයට ද අහිතකර ලෙස තම භූමිය භාවිත කිරීමට කිසිදු ආකාරයකින් ඉඩ නොදෙන බවට ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත ස්ථාවරය ජනාධිපති අනුර කුමාර විසින් යළිත් මෝදි අගමැතිවරයාට අවධාරණය කර ඇත. දැනට පවතින ආරක්ෂක සහයෝගිතාව පිළිබඳව තෘප්තිමත් වන බව ප්‍රකාශ කරමින් නායකයින් දෙපළ සමුද්‍රීය සහ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීමට ද එකඟ වී තිබේ.
ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රකාශයේ දක්වා ඇති පරිදි මේ එකඟ වූ ක්‍රියාමාර්ග ඵලදායි ලෙස සහ කාලීනව ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව මේවා ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙස නායකයින් තම නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර අවශ්‍ය පරිදි ඒ සඳහා මග පෙන්වීම් ලබාදීමට ද එකඟ වී ඇත. හැකි ඉක්මනින් පහසු දිනයකදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ද ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයාට ආරාධනා කර ඇත.
● ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]