දෝෂාරෝපණයට ලක් වුවද නිවැරදි තීන්දු තීරණවලින් ශ්‍රී ලංකාව ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යනවා – අකුරේගොඩ නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි

92

සියලු‍ දෙනා රට රැකගැනීමේ ඇති වගකීම හඳුනාගෙන කටයුතු කරන්න

නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර තුළ ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඒ වෙනුවෙන් වූ අසීරු තීරණ තමා මේ වන විට ගෙන අවසන් බව පැවසූ ජනාධිපතිවරයා දෝෂාරෝපණයට ලක් වුවද තමන් එම තීරණ ගත්තේ රට වෙනුවෙන් බවත්, රට රැකගැනීමට අනෙකුත් දේශපාලනයන්ටද ඇති වගකීම හඳුනාගෙන කටයුතු කිරීමට නව වසරේදී සියලු‍දෙනා එක්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කර සිටියේ බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානයේ ස්ථාපිත කෙරුණු නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනි.

ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිණි සේනාධිනායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගැනිණි. සමරු ඵලකය නිරාවරණය කර නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර අනතුරුව ගුවන් හමුදාව විසින් පවත්වන ලද උත්තමාචාර පෙළපාලිය නිරීක්ෂණය කිරීමටද ජනාධිපතිවරයා එක් විය. ඒ සමඟ ගුවන් හමුදාවට අයත් ගුවන් යානා ඉහළ අහසේ පියාසර කරමින් ජනාධිපතිවරයා වෙත උත්තමාචාර පුද කිරීමද සිදු කෙරිණි. අනතුරුව ගුවන් හමුදා සාමාජිකයන් සමඟ සුහද කථා බහකටද එක්වූ ජනාධිපතිවරයා උදා වූ නව වසර වෙනුවෙන් ඔවුන්ට සුබපැතුම් පළ කළේය.

උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

ගුවන් හමුදාවට අද විශේෂ දවසක්. වසර 73ක ඉතිහාසය තුළ ගුවන් හමුදාව මෙරට ත්‍රස්තවාදී යුද්ධයේදී මෙන්ම, අභ්‍යන්තර කෝලාහලවලදී සහ ආපදා තත්ත්වයන්ගෙන් ජනතාව මුදාගැනීමට කළ මෙහෙවර අසීමිතයි. ගුවන් හමුදාවට නවීන තාක්ෂණයෙන් යුතු නවීන ගුවන් හමුදා මූලස්ථානයක් අද ලැබී තිබෙනවා. අනාගතයේදී ඇතිවිය හැකි අභියෝග සම්බන්ධයෙන්ද මෙහෙයුම් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමට මෙමඟින් හැකි වෙනවා.

ඉදිරියේ දී ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ආරක්ෂක කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේදී ගුවන් හමුදාවට පැවරෙන කාර්යභාරය අතිමහත් බව කිවයුතුයි. ඒ වගේම නව දැනුම සහ නව තාක්ෂණය සමඟ අපේ හමුදාවන් ඉදිරියට යා යුතුයි. ජාත්‍යන්තරයේදී මතුවිය හැකි ගැටලු‍ කලින් හඳුනාගෙන ඊට පිළියම් සෙවීමට එම නවීන ආරක්ෂක දැනුම මගින් හැකියාව ලැබෙනවා.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ නිවැරදි වැඩපිළිවෙළකට අප දැන් අවතීරණ වී සිටිනවා. මෙය අසීරු කටයුත්තක් බව මම දන්නවා. දුෂ්කරතා තිබෙනවා. නමුත් මේ පිළිබඳ කිහිප වතාවක් සිතීමට මට සිදු වුණා. මෙම තීරණ ගත්තේ නැත්නම් අපට නැවත පසුගිය ආර්ථික අර්බුදයට මුහුණදීමට සිදු වෙනවා. නමුත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළොත් රටට යහපත් අනාගතයක් උදා කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා මම රට වෙනුවෙන් මෙම තීන්දු තීරණ ගත්තා.

මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ ජනප්‍රිය වීමට නොවෙයි. මේ රට ගොඩනගා ඔබටත්, ඔබේ දරුවන්ටත් යහපත් අනාගතයක් සකස් කරදීමටයි. ඒ නිසා අසීරුවෙන් වුවද මෙම තීන්දුගැනීමට සිදු වෙනවා. මම අගමැතිතුමාට සහ කැබිනට් මණ්ඩලයටත් මේ බව දැනුම් දුන්නා. ඔවුනුත් ඊට එකඟ වුණා. ඒ පිළිබඳ මම ඔවුන්ට ස්තූති කරනවා.

දෝෂාරෝපණයට ලක් වුවද නිවැරදි තීන්දු තීරණවලින් ශ්‍රී ලංකාව ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යනවා - අකුරේගොඩ නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි

රටේ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය අසීරු තීරණ මම දැන් ගෙන අවසන්. ඒ ගැන දෝෂාරෝපණය කළ හැක්කේ මට පමණයි. ඒ නිසා මම අනෙකුත් දේශපාලනඥයන්ට කියනවා රට රැකගැනීමට ඔබටත් යුතුකමක් තිබෙනවා. එසේනම් රටේ ආර්ථිකය ගොඩනැගීමට අපි එකතුවෙමු. අපි සියලු‍දෙනා එකතුවෙලා කටයුතු කළහොත් 2024 පසුව රට තුළ ඉතා සීග්‍ර සංවර්ධනයක් ඇතිකරගත හැකි බවට කිසිදු සැකයක් නැහැ. ඒ සමග එකතුවෙන්න කියා මම සියලු‍දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, යුද හමුදාපති ලු‍තිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන්ද ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment