නකුලමුනි නවකතාවෙන් නිරූපණය වෙන්නේ සින්දුවෙන් නැළවෙන සමාජයක් – එරික් ඉලයප්ආරච්චි

627

2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම නව කතාව සහ කෙටිකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනාගත් ප්‍රවීණ ලේඛක එරික් ඉලයප්ආරච්චි සමග සිදුකළ කතාබහක් පහත පළවේ.

2021වසර පැවැත්වූ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල තුළ හොඳම නවකතාවට හිමි සම්මානය ඇතුළු සම්මාන ත්‍රිත්වයක් ඔබ නමින් වෙන් වෙනවා. මෙවර තත්ත්වය ඊට තරමක් වෙනස්. මෙවර සම්මාන දෙකකින් සෑහීමකට පත් වන්නට ඔබට සිද්ධ වෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස මොකක් ද?

සම්මානය සාහිත්‍ය කෘතියට පසුව පැමිණෙන්නක්. ඒ නිසා එය ලේඛකයාට නැවත තම කෘතිය හමු වීමක්. ගුණදාස අමරසේකර ‘යළි උපන්නෙමි’ නවකතාවේ පෙරවදනේ කියන්නේ සාහිත්‍ය නිර්මාණය කියන්නේ ලේඛක – නාගයා විසින් හැර දමන ලද හැවක් කියලයි. සම්මානය ඔස්සේ ලේඛකයාට ඒ හැව නැවත හමු වෙනවා. එවිට ඔහු සිටින්නේ වෙනත් හැවයක් හැරීමේ යෙදෙමින්.

පසුගිය වසරේ කොවිඩ්, ආර්ථික ව්‍යසනයේ දරුණු පෙරනිමිති හා ලොක් ඩවුන් මධ්‍යයේ ‘නකුලමුනි’ නවකතාව, ජාත්‍යන්තර පාපෝච්චාරණය කෙටිකතා එකතුව සහ ප්‍රොමිතියස් දූපත කාව්‍ය සංග්‍රහය, ලියා තිබුණු නිසා මා ඔළු තුනේ නාගයකු විය යුතුයි. ඔළුගෙඩි ගාණ අඩු වුණාට තව නාගයින් සහ නාග කන්‍යාවන් ඉන්නවා. ඔවුන්ටත් තමන්ගේ හැවයක් තියෙනවා.

නකුලමුනි නවකතාවෙන් නිරූපණය වෙන්නේ සින්දුවෙන් නැළවෙන සමාජයක් - එරික් ඉලයප්ආරච්චි

සමකාලීන කියවීම් සංස්කෘතිය ඇතුළේ සම්මාන එසේත් නැත්තම් වේදිකාවක් මතදි ප්‍රදානය කරන ඒ නිමැවුම පිළිබඳ ඔබේ කියවීම කෙබඳු ද?

සම්මාන සාහිත්‍ය වැඩිපුර කරළියට ආවේ සිංහල විචාර කලාව අහෝසි වෙමින්, රූපවාහිනිය වාචාල හා ප්‍රචාරකවාදී රූප කලාව මගින් සිංහල සාහිත්‍යයත් යටපත් කරමින්, ජනතාවාදය හා ජාතික සාහිත්‍යවාදය මගින් සාහිත්‍ය දුම්රිය පීලි පන්වමින්, පොත් කඩ වැසීයමින්, මුද්‍රිත අකුර ඩිජිටල්කරණය වෙමින්, සාහිත්‍යයත් ජනප්‍රිය විනෝද කලාවට ඇතුළු විය යුත්තක් ලෙස පිළිගත් නන්නත්තාර වකවානුවක සාහිත්‍යය වෙනුවෙන් අන්තිමට ඉතිරි වුණු ආරක්ෂක දැල සම්මාන බව අප සංස්කෘතික ඉතිහාසය ඔස්සේ තේරුම් ගතයුතුයි.

ඒ වෙනුවෙන් විසඳුම් ලෙස එකල ප්‍රචලිත කෙරුණේ විකල්ප සාහිත්‍යයක්, අරමුදල් ඇණවුමෙන් ලිය යුතු සාහිත්‍යයක්, මැජිකල් සාහිත්‍යයක්, නව ආඛ්‍යාන මෝස්තර සාහිත්‍යයක් වැනි හිස් අසාහිත්‍ය දේවල් පමණයි. සම්මාන ප්‍රවාදයත් ඇත්තට ම ධනේශ්වර ප්‍රවාදයක් වෙතත් තවමත් විකල්ප සාහිත්‍යය, අරමුදල් ඇණවුමෙන් ලිය යුතු සාහිත්‍යය, මැජිකල් සාහිත්‍යය, නව ආඛ්‍යාන මොස්තර සාහිත්‍යය වැනි සංස්කෘතික අපරාධ එයින් සිදු වී නැහැ. එනමුත් ඒ ආරක්ෂක දැල ඉරා නො ගැනීමේ අභියෝගය සම්මාන ලබාදෙන්නන් සෑම කෙනෙකුට ම තියනවා.

නකුලමුනි නවකතාවෙන් නිරූපණය වෙන්නේ සින්දුවෙන් නැළවෙන සමාජයක් - එරික් ඉලයප්ආරච්චි

දිගින් දිගට ම සම්මානයට පාත්‍ර වෙමින් නිර්මාණකරණයේ යෙදීම සුවිශේෂ තත්ත්වයකි. එහි ඒකාකාරී බවක් දකින්නේ නැද්ද?

සාහිත්‍යය හා කලාව වෙනුවෙන් පවතින සමාජය තීන්දු කරන්නේ ලේඛකයා නොවෙයි. සමාජය විසිනි. සාහිත්‍යකරුවා හා කලාකරුවා මූලික වශයෙන් තමන්ගේ කලාව තුළත්, ආර්ථික – දේශපාලන සමාජය තුළත් නොමැරී ජීවත්වීමේ කලාව ප්‍රගුණ කරන්නෙක්. ඩොස්ටොයෙව්ස්කි ජීවත් වුණේ තමා විසින් ගිනි පොලීකාරයින්ගෙන් හා ප්‍රකාශන සමාගම්වලින් ලබාගත් අත්තිකාරම් ගෙවීමේ නියෝගයට යටත් වෙමින්. අදටත් ප්‍රංශ ආණ්ඩුවට පිකාසෝගේ උරුමය රකින්නන් ප්‍රංශ ආණ්ඩුවට ආදායම් බදු ගෙවන්නේ ඔහුගේ චිත්‍රවලිනි. අද සිංහල ලේඛකයාට ජීවත් වෙන්නට සිදු වී තිබෙන්නේ සම්මාන සංස්කෘතියක් තුළ නිසා එහි ඒකාකාරී බවක් පෙනෙන්නේ නැහැ.

වාර්ෂිකව මෙරට පවත්වනු ලබන සාහිත්‍ය උළෙල කීපයකම දකින්න ලැබෙන දෙයක් තමයි සම්මානයට අමතරව දැවැන්ත මූල්‍ය ප්‍රදානයක් සිදු කිරීම. ඒ තුළ ලේඛක ලේඛිකාවන් අතර යම් තරගකාරී බවක් ඇතිවෙමින් පවතිනව. ඒ තුළ දකින්නට ලැබෙන්නේ ලේඛනයට එහා ගිය තරගයක් නේද?

කෘතියක් හොඳ නම්, ලේඛකයා සංස්කෘතික අපරාධකාරයකු හෝ කුමන්ත්‍රණකාරයකු හෝ යාචකයකු නොවන්නේ නම් එය සංස්කෘතික උත්තේජනයක් වීමේ වරදක් නැහැ. නොබෙල් සම්මානයට පාත්‍ර නොවුණු සාහිත්‍ය කෘති සහ මහා සාහිත්‍යකරුවනුත් ඉන්නවා. ආජෙන්ටිනීයානු මහා ලේඛකයකු වූ ශෝෂ් බොහේස්ගේ අවසාන කාලයේ නොබෙල් සම්මානය හැඳින්වූයේ “බොහේස්ට නොදෙන නොබෙල්” යන උපහාසයෙන්.

මගේ ලේඛක ජීවිතයේ බොහේස් යුග කිහිපයක් තිබුණා. ඒ වකවානුවල සම්මාන කමිටුවලට මා පෙනුණේ ජනතාවාදයට, ජාතික සාහිත්‍යවාදයට, ගීත සාහිත්‍යවාදයට, රාජ්‍ය නොවන ආයතනවල ප්‍රවාද සාහිත්‍යයට, මැජිකල් සාහිත්‍යයට අනුගත නැති නිසා මූලික සුදුසුකම් සපුරා නැති, යථාර්ථවාදය නම් තහනම් ඖෂධය බීලා ජවන හා මලල ක්‍රීඩාවලට සහභාගි වන්නට පැමිණි සාහිත්‍ය බකලයකු හැටියටයි.

මම අදටත් විශ්වාස කරන්නේ ශේක්ස්පියර් – ඩිකන්ස් – ටොල්ස්ටෝනියානු ප්‍රවර්ගයේ සම්භාව්‍ය යථාර්ථවාදී සාහිත්‍යය, කැමූ – සාත්‍ර – ජොයිස් – කෆ්කා – තාගෝර් – මන්ටො – අකුතගාවා පන්නයේ නූතනවාදී සාහිත්‍යය හා සමකාලීන පශ්චාත්-නූතනවාදී සාහිත්‍යය තුළ තමා වෙනස් කර ගන්නා සමාජ දේශපාලන යථාර්ථයක් නිශ්චිත ලෙසම පවතින බව තමයි.

එනමුත් ඒ සෑම යුගයකම අවගත හා සාහිත්‍ය සුළුතරයක් කරනු ලැබූ සාහිත්‍යයක් ද අනාගතයේ යම් දිනක උපදින සාහිත්‍යට අත්වැලක් වන පෙරටුගාමී හා ඩාඩාවාදී සාහිත්‍යක් ද පැවතුණු බව අප කිසි විටක අමතක නොකළ යුතුයි.

සමන් වික්‍රමාරච්චිගේ හෝ කේ. කේ. සමන් කුමාරගේ සාහිත්‍යය දෙස අපට ඒ විදිහට විචාරාත්මකව බලන්න පුළුවනි. ඒ අතර අජිත් තිලකසේන කියන්නේ සිංහල සාහිත්‍යයේ අනාගතය මේ දැන් මෙතැන වර්තමානය තුළ දීම සාක්ෂාත්කර ගත්ත විශේෂ ලේඛකයෙක්. සමන් වික්‍රමාරච්චි අතින් ඔහුගේ අප්පච්චි නවකථාව ඒ අයුරින් නොයෙක් සාර්ථක අසාර්ථකතා ඇතිව නො ලියවුණා නම් මගෙන් පේත නවකථාව ලියවෙන්නේ නැහැ. ටී. එස්. එලියට් විශිෂ්ටත ම කාව්‍යයක් වූ වේස්ට් ලෑන්ඩ් (මුඩුබිම) ලියපුවා ම ඇට්ටර යුනිවසිටි කොලුවෙක් අහනවා මිස්ටර් එලියට්, හලෝ ඔබගේ මේ කාව්‍යයේ ඔබ ම ලියපු පේළි කීයක් විතර තියෙනවා ද? කියලා.

සාහිත්‍ය ප්‍රභේද කිහිපයක් එකසේ ඇසුරු කරන ලේඛකයෙක් ලෙස ඔබ වඩාත් කැමැති නවකතාව, කෙටිකතාව, කවිය කියන ප්‍රභේදවලින් කුමන ප්‍රභේදය පිණිස ද?

මම සාහිත්‍ය ශානර නොහොත් අනු-ප්‍රභේද ඔස්සේ සමාජ – දේශපාලන යථාර්ථය දකින්නට කැමැති හා එසේ වීමෙන් ප්‍රමෝදයට හා ශෝකයට පත්වන ලේඛකයෙක්. මා විශ්වාස කරන්නේ සාහිත්‍ය කෘතියක් තුළ අන්තර්ගතය හා ආකෘතියත් ගුවන්යානයක වගේම පැවැතිය හැක්කේ එකම එකක් හැටියට පමණයි කියලා. අන්තර්ගතය හැටියට පියාසර බලයේ අසිරිමත් විද්‍යා යථාර්ථයත්, එහි ආකෘතිය හැටියට අත්තටු සහ වල්ගය සහිත ආකෘතික හැඩරුවත් ගුවන්යානයේ පවතින්නේ එකම එකක් හැටියටයි.

මෙවර ලෝක ප්‍රකට බුකර් සම්මානය ශ්‍රී ලාංකිකයකු විසින් දිනාගන්නව. මේ ජයග්‍රහණය ශ්‍රී ලාංකික අප විසින් විඳදරා ගතයුත්තේ කෙසේ ද?

ශෙහාන් ගුණතිලක මෙරට ඉංග්‍රීසි සාහිත්‍යයේ මඟ වෙනස් කළ කෙනෙක්. එහි තිබූ පිටස්තරභාවය හා ලද බොළඳ භාවාතිෂය ඔහු මුලින් තම පරිකල්පනාත්මක ක්‍රිකට් පිත්තෙන් බිඳ දැම්මා. ඔහුගේ මුල් නවකතාවේ නිරූපිත යථාර්ථවාදය මෙරට සමකාලීන සමාජ – දේශපාලන යථාර්ථයේ සැබැවින් පවතින දෙයක්. මා මේ ගැන මගේ කලාව සොයා යෑම විචාර සංග්‍රහයේ අමරසේකරගේ කලා වස්තු ලිපියේ සාකච්ඡා කරනවා.

මා එහි කියන්නේ කොළඹ ඉංග්‍රීසි සමාජය නිරූපණය කරද්දී ගුණදාස අමරසේකර අසාර්ථක වන තැන ශෙහාන් ගුණතිලක ජය ගන්නවා කියලයි. ඒ එය ඔහු සහසුද්දෙන් දන්නා සමාජය හා තමාට ෆැන්ටසියක් නොවන සමාජය වන නිසා ම යි.

අමරසේකර මේ රට අසහනකාරී සංස්කෘතික – දේශපාලනික – ආර්ථික තත්ත්වයට ඇද දැමූ ප්‍රවාදකරුවෙක් වන අතරේ එය ද ඇතුළත් මහා සමාජ යථාර්ථයක් ඉතා මැනවින් හා ආකෘතික පරිසමාප්තියකින් දැක්ක අජරාමර ලේඛකයෙක් වගේම සාහිත්‍යය හා සමාජය සම්බන්ධයෙන් විස්මිත අලුත් සත්‍යයන් දැක හෙළි කරන දේවල් කියනනෙක්. ඔහු ජීවන සුවඳ කෙටිකතා සංග්‍රහයේ නව සංස්කරණ පෙරවදනේ කියනවා ‘නිදහසින් පසු අපගේ ඊනියා ආර්ථික – දේශපාලනය’ සමත් වී තිබෙන්නේ මේ රටේ පොදු මිනිසාට දත් මදින්නට පරණ පොල් නැට්ට වෙනුවට දත් බුරුසුවක් දීපු එක විතරයි කියලා. මෑතක ඔහු කියනවා අපි සින්දුවෙන් හා පන්දුවෙන් නැළවෙන සමාජයක් කියලා.

ශෙහාන් ගුණතිලක චයිනමන් නවකතාවෙන් පන්දුවෙන් නැළවෙන සමාජයත්, මගේ නකුලමුනි නවකතාවෙන් සින්දුවෙන් නැළවෙන සමාජයත් නිරූපණය වෙනවා. චයිනමන් සිංහල පරිවර්තනය අතිවිශිෂ්ට එකක්. ලෙනාර්ඩ් වුල්ෆ්ගේ විලේජ් ඉන් ද ජංගල්, ඒ. පී. ගුණරත්න දේශීයකරණය කළාට පසු දේ මෑතක දී දේශීයකරණය වූ හොඳම අසිංහල සාහිත්‍ය කෘති අතර සෝමරත්න බාලසූරියගේ පිටස්තරයා (ඇල්බෙයා කැමූ), ජී. ඩබ්ලියු. නන්දිසේනගේ බලකොටුව (කෆ්කා), චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චිගේ ගෝරා (රබීන්ද්‍රනාත් තාගෝර්), හසිත අබේවර්ධනගේ මතක මියඇදෙන සඳ, (අම්බලවානර් සිවානන්දන්) , දිලීප අබේසේකරගේිචයිනමන් : ප්‍රදීප් මැතිව්ගේ ත්‍රිකට් ප්‍රවාදය (ශෙහාන් කරුණාතිලක), පියසිරි විජේසේකරගේ බළල් මේසයේ කතාව හෙවත් මයිනාගේ නැව් ගමන (මයිකල් ඔන්ඩාට්චි), සේපාල විජේසේකරගේ පවුලේ ඌරුව (මයිකල් ඔන්ඩාට්චි) යන පරිවර්තන, අනුවාද සහ ප්‍රතිරචන කැපී පෙනෙනවා. අප රට වෙනුවෙන් බුකර් සම්මානය දිනූ නවකථාවත් ඒ සිංහල පරිවර්තන සම්ප්‍රදායට ඇතුළත් කළ යුතුයි.

● රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment