අවිද්‍යාවේ වියරු සත්‍ය දැනගන්න…

61

පිංවත, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේවයන් තව තවත් ජීවිතයට සමීපකරලා අතීතයේ අත්විඳි සෑම විඳීමක්ම මිරිඟුවක්සේ ජීවිතයෙන් මැකීයනවා. උදේ සවස විදර්ශනාත්මකව මෙනෙහි කරමින් සිටින්න, රැලි වැටෙන සමක්, දිය වී යන මස්පිඬු ගොඩක්, දුර්වල වී යන ආයතන හයක් පමණක්මයි, ඔබ මට වර්තමානයේ ඉතිරිකොට දී තිබෙන්නේ. භික්ෂුවට මතකයි ගිහි ජීවිතයේ දී ඔබ එනතුරා මම මඟබලා සිටිනවා ජීවිතය විඳින්නට. ඇත්තට ම අතීතයේ මම සිතුවේ ඔබ මමය කියලා, ඔබ මගේමයි කියලා, ඔබ මගේ නොවෙනස් වෙන ආත්මය යැයි කියලා. ඔබ වෙනස් වී යන ධර්මතාවයක්ය කියලා මම දැනගෙන සිටියේ නැහැ. ඒත් භික්ෂුව වර්තමානයේ දන්නවා භික්ෂුවට ශත පහක අයිතියක් නැති ඔබ, අවිද්‍යාවෙන්ම උපන් සංස්කාරයෝය කියලා. අතීත ගිහි ජීවිතයේ දී ඔබ හඬන්නට කඳුළු ඉතිරි නොකරම මට දුක් දුන්න මොහොතේ, ඔබ සිතුවත් මට දඬුවම් දුන්නා යැයි කියලා, උතුම් සද්ධර්මයේ පිහිටෙන්, භික්ෂුව දක්ෂ වුණා, ඔබ තුළින්ම ඔබේ පිය උරුමයවන අවිද්‍යාවේ වියරු ඇත්ත දැනගන්න. පටිච්චසමුප්පන්න කුසලය සහ අකුසලය වර්තමානයේ ඔබ කොතෙක් භික්ෂුවගේ ඇසට ඇන්නත්, ඔබට බැහැ භික්ෂුවගේ ඇසෙන්, සතුටු හෝ දුක් කඳුළක් දකින්නට.

පිංවත ලැබුවා වූ නව වසරේ දී අවිද්‍යාවේ මාර්ග බාධක ඉවත්කොට ඔබේ ජීවිතයට ඉඩදෙන්න, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ නිදහසේ හැසිරෙන්න. ලෝකය මේ යන්නේ සංස්කාරයන් සමග කථාකරගන්න ගමනක්. එම නිසා ලෝකය යන ගමනේ ඇද කුද සොයන්න යන්න එපා. ලෝකය යන ගමනේ වැරදි සොයන්න ගියොත්, ඔබේ ගමන ඔබට අතපසුවේවි. සංස්කාර ලෝකයේ රජ්ජුරුවෝ තමයි අවිද්‍යාව කියන්නේ. වර්තමාන ලෝකයේ ඕනෑම රටක් පාලනය කරන පාලකයන්ගේ පමණක් නොව, වසවර්ති දිව්‍ය පුත‍්‍රයාගෙත් මෙහෙයවන්නා වෙන්නේ, මේ ඵස්සයේ පැටළුණු අවිද්‍යාවයි. පේනවා නේද? අවිද්‍යා රජතුමාගේ තිබෙන බලවත්භාවය. මොහු මෙතරම් බලවත් වෙන්නේ, පංචනීවරණ උපාධි පහම ඉහළින්ම ලබාගත්, දුක සහ සැප පටලවන, අසිහියේ මහාචාර්යවරයෙක් නිසාමයි.

අවිද්‍යාවේ වියරු සත්‍ය දැනගන්න…

පිංවත උදාවූ නව වසරේ දී අවිද්‍යාවේ බලවත්භාවය නුවණින් දැක, ඔබ ඇසෙන් රූපයක් දකිද් දී කනෙන් ශබ්දයක් අසද් දී මනසට සිතුවිල්ලක් සිතෙද් දී කරුණාකර, ඔබේ ඵස්සයේ කුමරි බඹසර, කුමර බඹසර ආරක්ෂාකොට ගන්න. එවිට ඔබේ ඵස්සය භවයේ දරු ප‍්‍රසූතිය සඳහා ගැබගන්නේ නැහැ. පිංවත් ඔබ ඇසෙන් දැක්ක රූපය දැක්කාය කියන තැන නවතින්න. කනට ඇසුණ ශබ්දය ඇසුණාය කියන තැන නවතින්න. මනසට නැෙඟන සිතුවිල්ල දැනුණාය කියන තැන නවතින්න. අවිද්‍යාවට කැමැති ලෝකයාට නිදහසේ පෙරට යන්න දෙන්න. පිංවත් ඔබ, ඔබේ ඵස්සය, තෘෂ්ණාවෙන් නොයිඳුල්ව තබාගන්න. එවිට ඔබේ ජීවිතය උතුම් ධම්මානුපස්සනාවක්මයි. ජීවිතය උතුම් ධම්මානුපස්සනාවක් වෙද් දී, පිංවත් ඔබට පුළුවන් ඔබේ ජීවිතය පටිච්චසමුප්පාද ධර්මයන් තුළ විසුරවලා, ලෝකයේ සමුදයත් නිරෝධයත් දකින්න. අනාගතයේ කවදා හරි දවසක් ඒවි අපිට, අපේ ම අතීතය අවිද්‍යාව හේතුවෙන් සකස්වුණ සංස්කාරයන්ගේ ඇස්බැන්දුමක් යැයි, නුවණින් දැක, අතීත රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් කෙරෙහි තෘෂ්ණාව මැකී යන, අපිට අපේ අතීත දැනීම් කෙරෙහි තෘෂ්ණාව මැකී ගියොත්, ඉන් අදහස් වෙන්නේ විඤ්ඤාණය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය වෙලා යන්නයි. විඤ්ඤාණය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය වෙච්ච තැන, සංස්කාර, සංඥ, විඳීම් කෙරෙහි තෘෂ්ණාව මරණයට පත්වෙලයි තිබෙන්නේ. මේ සියල්ල මරණයට පත්වුණේ ඵස්සයේ අවිද්‍යාව හිස්කළ නිසාමයි. මේ සියල්ල ධර්මානුකූලව සිද්ධවෙන්න නම්, අපි අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත් පරිපූර්ණ වශයෙන්ම කායානුඵස්සනාවෙන් අනිත්‍ය යැයි අවබෝධය ලබන්නම ඕනේ. පිංවත ලැබුවා වූ නව වසරේ දී පංචනීවරණ ධර්මයන්ගේ අනතුරු නුවණින් දැක සතිසම්බොජ්ජංගයේ කිරි මවු තුරුලට එන්න. ඇයගේ දෙතනින් උරා බොන උතුම් ධර්මයේ මවුකිරෙන්මයි ධර්මයේ රස නහර, වීර්ය, ප‍්‍රීතිය, ඵස්සද්ධි, සමාධි, උපේක්ෂා, ධර්මයන් ඔස්සේ විදර්ශනාත්මකව, ඔබේ දුකෙන් මිදෙනා මාර්ගය පෝෂණයකොට දෙන්නේ. පිංවත් ඔබ තවදුරටත් අනුනගේ වැරදි දැක දැක අනුනගේ වැරදි කිය කියා ඉන්නේ නැතිව, තමන් නිවැරදි වෙන්න, තමන් ශක්තිමත් වෙන්න, අනුනගේ අවිද්‍යාව නිසා ඔබ විනාශ වෙන්න එපා. අද මුළු සමාජයම අනුනගේ අවිද්‍යාව නිසා තමන්ගේ අවිද්‍යා ගිණුම්මයි ශක්තිමත්කොට ගන්නේ.

මෙය සටහන් තබන භික්ෂුවටත්, ගිහි ජීවිතයේ දී අකුසල් සංස්කාර විසින්ම දවසක් උදාකළා, තවදුරටත් ජීවත් වෙනවා ද, මැරෙනවා ද කියලා තීරණයක් ගන්න. පටිච්චසමුප්පන්න භික්ෂුවගේ අකුසල් සංස්කාරයෝ, භික්ෂුවට එලව එලවා පහර දෙද් දී මගේ ම අතීත කුසල් සංස්කාරයෝ මට දැනීම් සකස්කොට දුන්නේ ජීවත් වෙන්නවත්, මැරෙන්නවත් නොවේ, ජීවිතයත්, මරණයත් යන දෙකෙන්ම නිරෝධය සොයා යන්නයි. පිංවත වර්තමාන සමාජයේ ගොඩාක් දේශපාලන, ආර්ථික, දුශ්ශීලභාවයන්, හැසිරීමේ දුර්වලභාවයන්, දවසින් දවස ම වැඩි වෙනවා. සද්ධර්මයේ සෙනෙහස නොලබා කලකිරීමේ කරවටක් ගිලූණු ඔබට සිතෙන්න පුළුවන්, ජීවත් වෙනවාට වඩා මැරෙන එක හොඳයි කියලා. පිංවත මෙවැනි සිතුවිලි ඇතිකොට ගැනීමෙන් අවිද්‍යාවේ අකුසලයට යටවෙන්න එපා. පිංවත් ඔබේ ජීවිතයත්, මරණයත් යන දෙක ම අවිද්‍යාවට භාරදෙන්න, එවිට පිංවත් ඔබ ළඟ ඉතිරි වෙන්නේ ජීවිතයත්, මරණයත් යන අර්ථයන් දෙකේ ම නිරෝධය පමණක්මයි. නොදකින, නොපෙනෙන, නො අත්විඳින තැනක් නොවන, ධර්මතාවයක් ධර්මයේ තිබෙනවා. එයටයි අවිද්‍යවේ නිරෝධය යැයි කියන්නේ කියලා, භික්ෂුව විශ්වාස කරනවා. කවදා ද අපි තෘෂ්ණාව නිරෝධය කළ පංචස්කන්ධයක් දරාගෙන ජීවත් වෙන්නේ කියලා සිහින දකින්න හොඳ නැහැ. සිහින අයිති වෙන්නෙත් අවිද්‍යාවටමයි. පිංවත් ඔබ ලෝකයෙන් හිස්වෙන්න. ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ලෝකයෙන් ඔබ හිස්වෙන්න නම්, ඔබේ ඵස්සයේ අවිද්‍යාව යි, ඵස්සයේ තෘෂ්ණාවම යි ඔබ ඉලක්ක කරන්න ඕනේ. ජීවිතය කායානුඵස්සනාව ළඟ නැවතුණාම, ජීවිතයට, ඵස්සයට ලොකු විවේකයක් දැනෙනවා. උතුම් කායානුඵස්සනාවට පුළුවන් අධ්‍යාත්මික සහ බාහිර පංචඋපාදානස්කන්ධ ලෝකයෙන් තමා හිස්කොට දකින්න. අපි කවදා හරි දවසක මෙතැනට එන්න ඕනේ. තමා ලෝකයෙන් හිස්කොට දකිනවා යැයි කියන්නේ, උතුම් කායානුඵස්සනාවෙන් රූපය කෙරෙහි අවිද්‍යව හිස්කොට දකිනවාය කියන කාරණයයි. උතුම් කායානුඵස්සනාව කියන අර්ථයට, භික්ෂුව බුදුරජාණන් වහන්සේට වගේ ම ගරු කරනවා. කවදාහරි දවසක අපි ලොව්තුරා බුදුරජාණන් වහන්සේව දකින්නේ උතුම් කායානුඵස්සනාව මුල්කොටගත් සතරසතිපට්ඨාන ධර්මයන් තුළින්ම යි. ඊට පූර්වකෘතිය වන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි.

ගෞරවණීය පිංවත, අලූත් අවුරුද්දක් උදාවුණ මොහොතේ මේ ධර්මය හොඳින් සිතට ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උතුම් සෝවාන්ඵලයට පත්නොවූ සෑම පිංවතෙක් ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවාය කියලා. මෙම මානසික ව්‍යාධියට රෝග බීජය වෙන්නේ අපි තුළ ඇතිකොට ගන්නා වූ පංචඋපාදානස්කන්ධය කෙරෙහි අතිශය තෘෂ්ණාවයි. මේ උතුම් ධර්මය අපි නොපිළිගන්නවා නම් එයත් අපේ මානසික ව්‍යාධියේම ලක්ෂණයක් වෙනවා. සක්කාය දිට්ඨිය මමත්වයේ, දැඩිභාවය, උතුම් තෙරුවන් කෙරෙහි, චතුරාර්ය සත්‍යය ධර්මයන් විචිකිච්චාව, සැකය, අන්‍යශීලවෘතයන් කෙරෙහි ඇති ප‍්‍රසාදය, මේ මානසික ව්‍යාධියේ රෝග ලක්ෂණයන් වෙනවා. අපි හැමෝ ම මේ මානසික ව්‍යාධියේ කොටස්කරුවන් නිසා ම, බුදුරජාණන් වහන්සේ අපිට දේශනාකොට තිබෙනවා, කුමන විෂයක්, කුමන කරුණක් උදෙසාවත් තනි තනිව තීරණ තීන්දු ගන්න එපාය කියලා. මොකද අපි හැමෝට ම බුදුරජාණන් වහන්සේ දකින, එහෙත් අපි නොදකින මානසික ව්‍යාධියක් තිබෙනවා. ඒ නිසා ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප‍්‍රශ්නයක්, ගැටලූවක්, මතුවෙද් දී සමගියෙන් හැමෝ ම රැස්වෙන්න කියලා. වර්තමානයේ අපේ රටේ පක්ෂ සහ විපක්ෂ දේශපාලන නායක පිංවතුන්ලාට පුළුවන් ද සමගියෙන් රැස්වෙන්න. පිළිතුර බැහැ නම් ඉන් අදහස් වෙන්නේ මේ සැමගේ මානසික ව්‍යාධිය ඒ තරමට ම ඔඩුදුවල කියලයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පමණක් බුදු දහමට මුල් තැන දෙනවා යැයි කියලා වැඩක් නැහැ. රටේ පිංවත් දේශපාලන පිංවතුන්ලා සද්ධර්මයේ අර්ථයන් කෙරෙහි ප‍්‍රායෝගික වෙන්න. ද්වේශයෙන්, වෛරයෙන්, පළිගැනීමෙන්, ප‍්‍රශ්න විසඳුන තැනක් ලෝකයේ නැහැ. ද්වේශයෙන්, වෛරයෙන්, පළිගැනීමෙන් අපි ලබාගත්තාවූ බලය කෙටි කාලයකින්ම ජනතාවගේ අප‍්‍රසාදයට පත්වෙලා යනවා. මෛත‍්‍රියෙන්, අවිහිංසාවෙන්, සත්‍යයෙන් ලබාගත්තාවූ බලයෙන් පමණක්ම යි ජනතාවටත්, අදාළ පාලක පිංවතුන්ලාටත්, මෛත‍්‍රියේ අනිශංසයන් භුක්ති විඳින්න ලැබෙන්නේ. මනුෂ්‍යයන් පමණක් නොව, දෙවියන්, බ‍්‍රහ්මයන් පවා එවැනි පාලක පිංවතුන්ලාට, රටට, ජනතාවට ප‍්‍රිය වෙනවා.

රටක් වශයෙන් අපිට පුළුවන් නම් මේ ලැබූ නව වසරේ දී මමත්වයේ දැඩිභාවයේ රෝග කාරකයන් යටපත්කොටගෙන හැමෝ ම සමගියෙන් රැස්වෙලා. සමගියෙන් සාක්ච්ඡා කරලා, සමගියෙන් විසිර යන්න.

සමගියෙන් ගත්ත තීරණ, තීන්දු ක‍්‍රියාත්මක කරන්න. උතුම් සද්ධර්මයේ උරුමය පිහිටපු මේ මාතෘභූමිය මොන තරම් නම් ලෝකයාට ආදර්ශයක් වෙයිද? අපි හැමෝගේම පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවේ මානසික ව්‍යාධිය උත්සන්න වෙලා, බලයට කෑදරකමෙන් හැසිරෙනවා හැර, රෝගකාරකයන්ට සද්ධර්මයේ ඖෂධ ගන්නේ නැහැ. අහිංසක ජනතාවගේත් රෝගී තත්ත්වය තව තවත් උත්සන්න කරනවා. මෙම සටහන තබද්දීත් භික්ෂුව දන්නවා, අකුසලය භික්ෂුවට ඔච්චම් කරනවාය කියලා. අකුසලය ඔබ කොච්චර ඔච්චම් කලත්, භික්ෂුවගේ මේ අහිංසක උත්සහය, දශමයකින් හෝ පිංවත් ජනතාවගේ කුසලය ශක්තිමත් කොට දීමටයි.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment