නදීෂා දිල්හානි, මදුශානි හේරත්, අරුණ දර්ශනට රන් පදක්කම්

81

පාදයේ ආබාධයක් නිසා යුපුන් තරගය අතහැර දමයි
ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ මෙහෙයවීමෙන් හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී දැන් ක්‍රියාත්මක 102 වැනි ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා

තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (26දා) කාන්තා හෙල්ල විසි කිරීමේ රන් පදක්කම දිනා ගනිමින් කැපී පෙනෙන්නට නදීෂා දිල්හානි ලේකම්ගේ සමත් වූවාය. මීටර් 55.77 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් මෙම රන් පදක්කම දිනා ගනු ලැබුවේ මීළඟ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීමේ සෘජු වරම උදා කර ගැනීමට තවත් ළං වෙමිනි. එහි දෙවන ස්ථානය එච්.පී.ඩී.එච්. මධුවන්තී (මීටර් 51.01) ට හිමි වන අතර වාරයේ දී ඉමාෂා හසන්ති (මීටර් 49.86) ට තෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු විය.

එමෙන්ම, පෙරේදා (25දා) දිනයේ දී කාන්තා දුර පැනීමේ රන් පදක්කම දිනා ගනිමින් නොනැවතුණු එච්.එම්.එන්. මදුශානි හේරත් ඊයේ (26දා) දිනයේදී තුන් පිම්ම ඉසව්ව ජය ගනිමින් එහි රන් පදක්කම දිනා ගන්නට සමත් වූවාය. 19 වැනි වියේ පසු වන මදුශානි හේරත් දුර පැනීමේ රන් පදක්කම දිනා ගැනීම සඳහා මීටර් 5.94 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ අතර මීටර් 13.13 ක දක්ෂතාව හමුවේ තුන් පිම්ම ඉසව්වේ රන් පදක්කම හිමි විය.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඉව අල්ලන එස්. අරුණ දර්ශන සහ කාලිංග කුමාරගේ සහභාගි වූ පිරිමි මීටර් 400 ඉසව්ව කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබිණි. එහිදී තත්. 45.51 ක තරග නිමි කාලයක් සටහන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට අරුණ දර්ශන සමත් විය. එකී රිදී පදක්කම කාලිංග කුමාරගේ (තත්.46.38) ට හිමි වූ අතර ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත්වන්නට එච්.වී. දිනුක දේශාන් (තත්.46.50) ට සිදු විය. මීටර් 400 කාන්තා රන් පදක්කමට හිමිකම් කියන්නට නදීෂා රාමනායක සමත් වූයේ තත්.53.37 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි. එහි දෙවන ස්ථානය ලක්ෂිමා මෙන්ඩිස් (තත්.53.60) ද තෙවැනි තැන එම්.ඒ.එන්.එච්. ප්‍රනාන්දු (තත්.54.29) ද හිමි කර ගත්හ.

මෙරට වේගවත්ම ක්‍රීඩිකාව ලෙස අබිසෙස් ලබමින් මීටර් 100 ජය ගැනීමට ටී.ඒ. මුතුකුමාරණ සමත් වූයේ තත්.12.03 ක තරග නිමි කාලයක් සටහන් කරමිනි. එහි දෙවන ස්ථානය ඩී. ටී. අමාෂා ද සිල්වා (තත්.12.06) දිනා ගත් අතර ඩබ්ලිව්.වී.එල්. සුගන්ධි (තත්. 12.10) ට තෙවන ස්ථානය හිමි විය.

පිරිමි යගුලිය දැමීමේ රන් පදක්කම ආර්. එස්. ජයවර්ධන (මීටර් 15.3) ද පිරිමි තුන් පිම්ම ඉසව්වේ රන් පදක්කම කේ.එම්. යසිරු (මීටර් 15.68) ද පිරිමි මීටර් 1500 රන් පදක්කම වී. වොක්සන් (මි.3.51.61) ද මීටර් 10000 රන් පදක්කම පී.ඒ.පී. මධුරංග (මි.31.16.37) ද මිටිය විසි කිරීමේ රන් පදක්කම එච්.එම්.ඒ.එස් බණ්ඩාර (මීටර් 47.68) ද හිමි කර ගත්හ. මෙවර කාන්තා මිටිය විසි කිරීමේ රන් පදක්කම එච්.ඒ.ඒ. ලක්ෂිකා (මීටර් 44.66) ද කාන්තා මීටර් 1500 රන් පදක්කම ඩබ්ලිව්.කේ. එල්. ඒ. නිමාලි (මි.4.24.11) ද දිනා ගනිමින් කැපී පෙණුනි.

දිගු කලකට පසුව ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ගේ අපේක්ෂා ඉටු කිරීමට ගත් උත්සාහය අතහැර දැමීමට යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් ට සිදු විය. ඒ, තරගය අතරමග පාදයේ ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙනි. ආරම්භක නිලධාරිවරයාගේ සංඥාවට අනුව දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස මීටර් 100 තෙවන මූලික තරගයට උනන්දුවෙන් එක්වූ බව යුපුන් අබේකෝන් වෙතින් දිස් විය. එහෙත්, වේගය වැඩි කිරීමට ගත් උත්සාහයත් සමගින් පාදයේ යම් අසීරුතාවකට ලක් විය. ඒ හේතුවෙන් තරගය අතහැර දැමීමට යුපුන් තීරණය කළේය.

මෙවර තරගාවලියේ සමාප්ත දින තරග ඉසව් අද (27දා) පැවැත්වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර, ඡායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment