නව කම්කරු නීති පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාවට

122

නව කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සඳහා වන මහජන අදහස් ලබා ගැනීමේ සැසිවාරයන්හිදී ඉදිරිපත්වූ යෝජනාවන් සැලකිල්ලට ගනිමින් සකස් කළ ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සඳහා වූ දළ පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාව වෙත අද (06) දිනයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

නවීන වැඩ ලෝකයට ගැළපෙන ආකාරයේ කම්කරු නීති පද්ධතියක් සැකසීම මෙහි අරමුණ බව ඇමැති මනූෂ නානායක්කාර මහතා කියා තිබුණි.

කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා විසින් මෙම දළ කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කරනු ඇත.

ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සඳහා වන දළ පනත් කෙටුම්පත ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර කම්කරු උපදේශක සභාව වෙත ඉදිරිපත් කරන බවට ඇමැතිවරයා සහතික වී තිබූ අතර ඒ අනුව අද දිනයේදී එම පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කෙරේ.

ඉන් පසුව මෙම දළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර කැබිනට් අනුමැතිය ලබාගැනීමට නියමිතය. කැබිනට් අනුමැතිය ලබාගැනීමෙන් පසුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට දළ කෙටුම්පත යොමු කරන අතර, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් මූලික කෙටුම්පතක් සකස් කර අමාත්‍යාංශයට යොමු කරනු ලබයි. එයට අමාත්‍යාංශයේ නිරීක්ෂණ යොමු කිරීමෙන් පසුව අවසන් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සකස් කෙරේ. ඉන් පසුව භාෂා තුනටම පනත් කෙටුම්පත පරිවර්තනය කරන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න සලකා බැලීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරේ. නීතිපතිවරයාගේ නිරීක්ෂණ ද ලබා ගැනීමෙන් පසුව පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබා ගැනීමට නියමිතව ඇත.

පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් පසුව රජයේ මුද්‍රණාලයාධිපතිවරයා වෙත යොමු කෙරෙන අතර එය මුද්‍රණය කිරීමෙන් පසුව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment