මේ වසරේ මාස 4ට තෙල් සංස්ථාවට කෝටි 4340ක ලාභයක්

130

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරේ (2023) මුල් මාස 04 තුළ රු. කෝටි 4340 ක ලාභයක් වාර්තා කර ඇත. මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද 2023 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය දක්වන වාර්තාවේ මේ බව සඳහන් වේ. 2022 දෙසැම්බරයේ දී බැරලයකට ඩොලර් 81 ක්ව පැවති ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් සාමාන්‍ය ආනයන මිල 2023 මාර්තු මාසය අවසන් වන විට ඩොලර් 78.5ක් දක්වා පහත වැටී ඇති බව ද එහි සඳහන් වේ.

2023 ජනවාරි – අප්‍රේල් මාස 04 තුළ ඉන්ධන ආනයනය සඳහා ශ්‍රී ලංකාව දරා ඇති සම්පූර්ණ පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,599.7 කි. එය සමස්ත ආනයන වියදමෙන් සියයට 30 ක් පමණ වේ. කෙසේ වෙතත් මෙම අගය 2022 වසරේ මුල් මාස 04 දී ඉන්ධන ආනයනය සඳහා දරන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 1,922.4 ට වඩා සියයට 16.8 ක පහළ අගයකි.

එම වාර්තාවේ සඳහන් පරිදි 2023 මුල් මාස 04 තුළ සමස්ත ඉන්ධන ආනයන වියදම තුළ, ඩොලර් මිලියන 277.1 ක බොරතෙල් ආනයන සහ ඩොලර් මිලියන 1,009.3 ක පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන අන්තගත වන අතර එහිදී ඛනිජ තෙල් සංස්ථාව විසින් ආනයනය කර ඇති පෙට්‍රෝලියම් නිෂ්පාදිතවල මුළු වටිනාකම ඩොලර් මිලියන 877.35 ක් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment