නීතිපතිගේ සේවා දිගුව ඡන්දයෙන් පරදී – පක්‍ෂව 3යි, විපක්‍ෂව 5යි

538

වත්මන් නීතිපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය මාස 06 කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කර තිබූ නිර්දේශය ඊයේ (18දා) දින එම සභාව විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ සවස එහි සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී ඇති අතර එහිදී නීතිපති සම්බන්ධයෙන් වූ ජනපති නිර්දේශය සාකච්ඡාවට බඳුන් වී තිබේ.

එම සාකච්ඡාව දීර්ඝ ලෙස ඇදීයෑමෙන් අනතුරුව ඒ පිළිබඳව අවසන් නිගමනයකට එළැඹීමට ඡන්ද විමසීමක් පවත්වා ඇත.

එහිදී නීතිපතිගේ සේවය දීර්ඝ කිරීමේ නිර්දේශයට පක්‍ෂව ඡන්ද 03ක්ද විපක්‍ෂව ඡන්ද 05ක්ද ලැබී තිබේ. ඒ අනුව එම නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ප්‍රතික්‍ෂේප කරන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මීට පෙරද අදාළ නිර්දේශය සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී සාකච්ඡා වුවද ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොතිබිණි.

නීතිපති සංජේ රාජරත්නම් මහතාට සේවා දිගුවක් දීම සම්බන්ධයෙන් කතෝලික රදගුරු මණ්ඩලය ඇතුළු පාර්ශ්ව ගණනාවකින් විරෝධය එල්ල විය.

ඔහුගේ සේවා කාලය මෙම මස අවසන් වීමට ද නියමිතය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලැබූ ජයක් – ජී. එල්. කියයි

නීතිපතිගේ සේවා දිගුව ඡන්දයෙන් පරදී - පක්‍ෂව 3යි, විපක්‍ෂව 5යි



ව්‍යවස්ථාදායක සභාව මගින් නීතිපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා දිගුව ලබාදීම ප්‍රතික්‍ෂේප කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලද විශිෂ්ට ජයග්‍රහණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී ඉතා වැදගත් කාර්ය භාරයක් උසුලන අවිවාදිතව ස්වාධීන තනතුරක් වන නීතිපති ධුරයත් එම දෙපාර්තමේන්තුවත් දේශපාලනීකරණයට ලක්වීමේ අවදානම මින් නැවතී ගිය බවත් ජනාධිපතිවරණයක් ආසන්නයේදී නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමට පෙලඹීම ප්‍රශ්නගත කරුණක් බවත් පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඉතිහාසයේ කවරදාකවත් නීතිපති තනතුර සඳහා සේවා දිගු ලබාදී නොමැති බවද පෙන්වා දුන් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඒ තුළින් නීතිපති දෙපාර්තමේන්තුවේ අනෙක් නිලධාරීන්ට සිදුවන නිග්‍රහය හා අවමානය සුළු කොට තැකිය නොහැකි බවත් ජ්‍යෙෂ්ඨත්වය හා හැකියාව මත උසස්වීම් ලබන එම නිලධාරීන් දේශපාලනඥයන්ට සමීපවීමේ අවදානම ව්‍යවස්ථාදායක සභාවේ තරණයෙන් හැකළී ගිය බවත් පැවැසුවේය.

සිවිල් සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ව්‍යවස්ථාදායක සභාව ගනු ලැබූ තීරණයට සියලු දෙනාගේම කෘතඥතාව හිමිවිය යුතු බවද ජී. එල්. පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සමන්ත ඉලේපෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment