පාන් කියාගන්න බැරිකොට පාන් පනතත් මාරුකරන්න ලැහැස්තියි

251

මිනිස්සු දැන් සිටිනුයේ පාන් කියාගන්නවත් බැරි තැනකය. එවැනි අවස්ථාවක මෙරට පාන් ආඥා පනත ඉවත් කොට පාරිභෝගික අධිකාරි පනත යටතේ අලුත් වැඩපිළිවෙළක් හඳුන්වා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ලංකාව යනු ඉතාම පැරණි සහ දිරාගිය අණපනත් යටතේ පාලනය වන රටකි. අපේ අණපනත් වල පරණකම කොතරම් ද යත් සිංහල රජ කාලයේ දී පනවන ලද දෙතිස් වධය හැරුණු විට අන් සියලුම අණපනත්, නීති රීති තවමත් එලෙසම ක්‍රියාත්මක වෙමින් පවතී.

යටත්විජිතවාදීන් විසින් පනවන ලද අණපනත්, නීතිරීති වර්තමානය වන විට කාලෝචිත නොවේ. රටක් ලෙස ඉදිරියට යෑමට නම් අනිවාර්යයෙන්ම මෙම අණපනත්, නීතිරීති ආදිය වෙනස් කළ යුතු වේ. අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහය සියවස් ගණනාවක් පැරණිය. රථවාහන සම්බන්ධයෙන් ඇති මෝටර් රථ ආඥා පනත ද එලෙසමය. මේ අණ පනත් වලින් පාලනය කළ හැක්කේ එක්දහස් හත්සිය ගණන්වල සමාජ දේශපාලන සහ ආර්ථික තත්ත්වයක් ඇති රටක් පමණි.

යළිත් අපි පාන් ආඥා පනත දෙසට හැරෙමු. ශ්‍රී ලංකාවට පාන් එන්නේ දැනට සියවස් පහකට පමණ ඉහතදීය. එනම් 1505 පෘතුගීසි පාලන සමයේදීය. 1505 දී පෘතුගීසි ආක්‍රමණිකයන් විසින් පාන් සහ වයින් මෙරට මුහුදු කර ජනතාවට හඳුන්වා දෙන ලදී. එකල පාන් අඳුරන්නේ නැති මෙරට ජනතාව පෘතුගීසින් පාන් කකා වයින් පානය කරන විට “සුද්දෝ ඇවිත් ලේ බිබී තිරිවාන ගල් කන බව” පවසා තිබේ.

ලංකාවේ පාන් නිෂ්පාදනයට අදාළ ආණ්ඩුවේ ආඥා පනතක් මුලින්ම බලගන්වනු ලබන්නේ 1864 වර්ෂයේදීය. ඒ Terance OzBrien නමැති ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේ පාලන සමයේදීය. එකල බ්‍රිතාන්‍ය මහ රැජින වූයේ වික්ටෝරියා නමැති මහේෂිකාවකි. ඔවුන් මෙලෙස පාන් ආඥා පනතක් මෙරට බලගන්වන්නට ඇත්තේ ඔවුන්ගේ ප්‍රධාන ආහාරය මෙය නිසා විය යුතුය. එහෙත් ඔවුන් සහල් සම්බන්ධයෙන් හෝ සහල්වල තත්ත්ව පාලනය සම්බන්ධයෙන් කිසි කලකත් ආඥාවක් නිකුත් කළේ නැත.

මෙරට පාන් ආඥා පනතේ ප්‍රධාන කරුණු දෙකක් අඩංගු වේ. එහි පළමුවැන්න වනුයේ නියමිත බරට පාන් තිබීමයි. එනම් පාන් රාත්තල් කාල, පාන් රාත්තල් භාගය, පාන් රාත්තල, පාන් රාත්තල් දෙක ආදී නියමිත බරට පාන් විකිණිය යුතු බව ආඥා පනතේ ඇත. ඊට අමතරව පාන්වලට වෙනත් ජරාව එකතු කිරීම තහනම් බව ද මේ ආඥා පනතේ සඳහන්ව තිබේ. ඉහත සඳහන් වැරදි කර අසුවන අයට දඩ ගැසීම නියම විය. දඩය ගෙවීමට අකැමැති කෙනෙක් වෙතොත් මාසයක් දෙකක් හිරේ ගොස් පැමිණීමටද අවකාශ ලැබේ.

ලංකාවේ පාන් පිළිබඳ ඉතිහාසය ඉතා අපකීර්තිමත්ය. බ්‍රිතාන්‍ය පාලකයන් මෙරට පාන් හඳුන්වා දෙන ලද්දේ එමගින් බිතාන්‍ය තිරිඟු පිටි වෙළෙඳ පළට වෙළඳාමක් ඇති කර දීම සහ පාන් කා වැඩ නොකරන අප්‍රාණික ජාතියක් බිහි කිරීමටය. පාන් හඳුන්වා දීමට පෙර අපේ රටේ ප්‍රධාන ආහාරය වූයේ බත්ය. එම බත් පිඟානට දඩ මස් කෑල්ලක් සමඟ දේශීය එළවළුවක් දෙකක් එකතු කරගනී. එකල පරිප්පු, කැරට්, බොංචි, අර්තාපල් රාබු ආදිය ද මෙරට නොතිබුණි. ආහාර විවිධාංගීකරණය නැති රටක් වුවද එකල මේ රටේ ජනතාව ආහාරය සඳහා ගත් සීමිත ද්‍රව්‍ය කිහිපය පෝෂ්‍ය පදාර්ථ වලින් අනූන විය. මේ බත් පිඟානක් කා වරුවකින් ඉඩම් අක්කර භාගයක් කෙටීමට එකල ජනයාට හැකි විය. මෙය දුටු ඉංග්‍රීසි ජාතිකයන් එම ශරීර ශක්තිය කඩා, ජනයා කම්මැලි කිරීමේ අරමුණින් මෙරටට පාන් හඳුන්වා දුන්නේය.

ලංකාවේ පාන් පිළිබඳ අමිහිරි අත්දැකීම මෙරට ජනයා අත් විඳින්නේ 1970 බලයට පත්වූ සිරිමා මැතිනියගේ ආණ්ඩු කාලයේදීය. එකල පාන් නිකුත් කළේ සලාක ක්‍රමයටයි. එකල සමහර බේකරි හිමියන් පාන් පිටිවලට මඤ්ඤොක්කා පිටි ද යොදා පාන් පිළිස්සුවේය. එපමණක් නොව එකල පාන් රාත්තලක ගුල්ලොද යහමින් සිටියේය.

වර්තමානය වන විට මෙරට ජනතාව අතර පාන් යනු ඉතා මිහිරි ආහාරයකි. එහෙත් ඒ පිළිබඳ කතාව අමිහිරිය. රුපියල් 150 පටන් ගත් විට රුපියල් 600 ට යනතුරු පාන් රාත්තල විකුණන තැන් මේ රටේ තිබේ. ඒ අතර පරළු පාන්, කුරක්කන් පාන්, සුදු ලූණු පාන් ආදී විවිධ නම්වලින් හඳුන්වන පාන් අද විවිධ මිලට අලෙවි කරනු ලැබේ. තවද බොහෝ පාන්වල නියමිත බර නොමැති අතර නියමිත ප්‍රමිතියට පුළුස්සාද නොමැත.

පාන් ආඥා පනත සංශෝධනය කිරීමේ දී අපේ රටේ ආණ්ඩුව ඉහත සඳහන් කරුණු සියල්ල සැලකිල්ලට ගත යුතුවේ. කවුරු කෙසේ කීවත් අද පාන් යනු මේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාරයකි. එම නිසා පාන් ආඥා පනත වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කළ යුතුවේ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment