නූතනවාදයට අභියෝග කරන පශ්චාත් නූතනවාදී කලාත්මක එළැඹුම් ලෝකයට හඳුන්වා දුන්නේ ආකිටෙක්චර්

141

“ඉංජිනේරු විද්‍යාව අවසන් වන තැනින් ගෘහ නිර්මාණ ශිල්පය උපදී” යනුවෙන් කියමනක් තියෙනවා. මෙවැනි තාක්ෂණික විෂයක් සඳහා සෞන්දර්ය කලාපයක් බද්ධ වන්නේ ඇයි?

ඔව්, ඇත්තටම අපි ඉංජිනේරු විද්‍යාව කියන එක පාවිච්චි කරන්නේ ගොඩනැගිල්ලක් ඉදි කරන්න. ඒක අනිවාර්යෙන්ම තාක්ෂණිකමය ක්‍රියාවලියක්. ඒත් වැදගත් කාරණය තමයි අපි දකින හැම ගොඩනැගිල්ලක් ම වාස්තු විද්‍යාත්මක, එහෙමත් නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පීය නිර්මාණයක් නොවෙයි. මෙන්න මේ වෙනස මොකක්ද කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන.

මෙතනදී මං කැමතියි ඔය “වාස්තු විද්‍යාත්මක” හෝ “ගෘහ නිර්මාණ ශිල්පීය” කියන වචන දෙකම අතහැරලා “ආකිටෙක්චර් නිර්මාණයක්” කියන වචනය පාවිච්චි කරන්න. මොකද කලින් වචන දෙක නිසාම වැරදි අර්ථගැන්වීම් සිදුවෙන්න ඉඩ තියෙන නිසා. ඒකට හේතුව තමයි ලංකාවෙ බොහෝ දෙනා “වාස්තු විද්‍යාව” කියලා හඳුන්වන්නේ නක්ෂත්‍රය සම්බන්ධ යම්කිසි සාම්ප්‍රදායික දැනුම් පද්ධතියක්. ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පය කිව්වම හිතන්නේ ගෙවල් හදන එක කියලා. ගැඹුරු අර්ථයකින් ගත්තම ඇත්තටම නම් නිවැරදි සිංහල වචනය වෙන්නෙ ගෘහ නිර්මාණ ශිල්පය කියන එක තමයි. මොකද ගෘහ කියන්නේ ගෙවල් විතරක් නෙවෙයි. මනුෂ්‍යයා ආශක්ත කරගත හැකි, ග්‍රහණය කරගත හැකි ස්ථානයන්ට තමයි ගෘහ කියලා කියන්නේ. අපි කරන්නෙ එහෙම නිර්මාණ. නමුත් ඉංග්‍රීසි Architecture කියන වචනය මේ සිංහල වචන දෙකම ඉක්මවා ගිය පෘථුල අර්ථයක් මේ විෂය සම්බන්ධයෙන් අරං එනවා.

නූතනවාදයට අභියෝග කරන පශ්චාත් නූතනවාදී කලාත්මක එළැඹුම් ලෝකයට හඳුන්වා දුන්නේ ආකිටෙක්චර්

ආකිටෙක්චර් නිර්මාණයක් කියලා කියන්නේ ඉංජිනේරුමය ගොඩනැගිල්ලක් විතරක් නොවෙයි. මේකෙ තියෙනවා පුද්ගල සංවේදනය සහ චිත්තවේගීමය, එහෙම නැත්තං මනෝ විද්‍යාත්මක කාරණා හා සම්බන්ධ වෙන ගනුදෙනුවක්. මේ ගනුදෙනුව ආකිටෙක්චර් නිර්මාණ ශිල්පියෙක් තමන්ගේ රසිකයා, ප්‍රේක්ෂකයා එක්ක කරන්නේ අවකාශය කියන භාෂාව භාවිත කරල. ඒක මානව සංජානනයත් එක්ක සම්බන්ධ වෙන සංඥාර්ථවේදමය ක්‍රියාදාමයක්.

හුඟක් වෙලාවට වින්දනයන් සම්බන්ධව කෙරෙන ආකිටෙක්ට් කෙනෙකුගේ නිර්මාණාත්මක මැදිහත් වීම සවිඥානිකයි. ඒ වගේම වටිනාකම් ගොඩනැගීම සහ ඒ වටිනාකම් සන්නිවේදනය කියන කාර්යය සමහරවිට සවිඥානක මෙන්ම අවිඥානික වෙන්නත් ඉඩ තියෙනවා. උදාහරණයක් විදිහට යම් ආකිටෙක්චර් අවකාශයක් යම් පුද්ගලයෙක් විසින් තමන්ගේ විඳීමක් බවට පත් කර ගන්නකොට ඒ පුද්ගලයාගේ පූර්ව අවකාශයික අත්දැකීම්වලට සම්බන්ධ වූ භාවයන්ගේ මතකයන් අර නව අත්දැකීම එක්ක විවිධ ආකාරයෙන් සමපාත වෙනවා. මෙන්න මේ අත්දැකීම් ගැටගැහීමේ භාවමය ගනුදෙනුව එක්ක බොහෝවිට ආකිටෙක්ට් සවිඥානිකයි. ජෙෆ්‍රි බාවාගේ නිර්මාණ ගැන ලෝකයේ ඉහළින් කතා වෙන්නෙ මෙන්න මේ භාවමය සංවේදීතාව බොහොම ප්‍රබලව තමන්ගෙ වැඩ ඇතුළේ ස්ථාපනය කරන්න ඔහු සමත්වෙන නිසයි. ඔහුගේ ගොඩනැගිලි කලාත්මක ව්‍යුහයන් විදියට ගත්තම බොහොම නූතනවාදී ඒවා වුණාට ඔහු ඒ ව්‍යුහයන් වටේ බොහොම සීරුවට තවරනවා පැරැණිකමට අපේ ඇති ඇල්ම. එහෙමත් නැත්නම් නොස්ටැල්ජියාව. බොහෝවිට පැරණි ඕලන්ද හෝ ඉතාලි, එහෙමත් නැත්නම් ලාංකීය අවකාශයන්ගේ තිබුණු විවිධ ලාක්ෂණිකයන් ඔහු ඒ සඳහා පාවිච්චි කරනවා.

අනෙක් අතට ආකිටෙක්චර් නිර්මාණයක් ඒක බිහිවෙන කාලයේ සමාජ – දේශපාලන කතිකාවේ යම් ප්‍රක්ෂේපණයක් වෙන එක නිර්මාණකාරයා අතින් සවිඥානිකව මෙන්ම අවිඥානිකව වෙන්නත් පුළුවන් දෙයක්. ඒක ඉතාම දේශපාලනික කාරණයක්. නිර්මාණයක දේශපාලනික ප්‍රක්ෂේපණය පවතින ප්‍රධාන දෘෂ්ටිවාදී කතිකාවට අනුගත වෙන හෙජමොනික ප්‍රක්ෂේපණයක් වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් ඒ කතිකාව තමන්ගෙ අරුත්ගැන්වීමක් එක්ක ප්‍රක්ෂේපණය කරන මොඩරේටඩ් එකක් වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් බොහොම සවිඥානිකව ප්‍රධාන දෘෂ්ටිවාදයන්ට අභියෝග කරන ඔපොසිෂනල් එකක් වෙන්නත් පිළිවන්. මේකට හොඳ උදාහරණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය. එක්දහස් නවසිය පණස් ගණන්වල මුල භාගයේ මේ ගොඩනැගිලි ඉදිවෙනකොට “සිංහල දේශීයත්වය සොයායෑමේ” අති ප්‍රබල දෘෂ්ටිවාදයක් ලංකාවෙ ප්‍රධාන දේශපාලන කතිකාව බවට පත්වෙමින් තියෙනවා. පනස් හයේදී බණ්ඩාරනායක බලයට අරං එන්නෙත් මේ හෙජමොනිය විසින්මයි. පේරාදෙණියෙ විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි නිර්මාණයට දායක වුණු ආකිටෙක්ට්ස්ල මූලිකව යුරෝපීය නූතනවාදී ආකිටෙක්චර් ශික්ෂණයක් ලැබූ අය. මම අර කලින් ජෙෆ්‍රි බාවාගෙ නිර්මාණ ගැන කිව්ව වගේම මේ පේරාදෙණිය සරසවියේ සමස්ත ගොඩනැගිලි පද්ධතියම ගත්තම එහි කලාත්මක ව්‍යුහය අපට හඳුනාගන්න පිළිවන් වෙන්නෙ අතිශයින් යුරෝපීය නූතනවාදී එකක් විදියට. මොකද ඔවුන්ගේ නිර්මාණාත්මක චින්තන ශික්ෂණය යුරෝපීය නූතනවාදී නිසා. නමුත් ඔවුන්ට සිද්ධවෙනවා අර පැවති දෘෂ්ටිවාදී කතිකාවට අනුගතවෙලා කණුවල එල්ලන කැටයම්, වහල හැඩතල වැනි බාහිර ආටෝප වලින් ඒක “සිංහල කලාවට” සමීප කරවන්න. ඒ එළැඹුම ඊට පස්සේ අවුරුදු ගාණක් රටපුරා ගොඩනැගිලි රැසක අනන්‍යතාව බවට පත්වෙනවා. ඒ අච්චුවේ පාසල්, රෝහල්, ගොවිජන සේවා මධ්‍යස්ථාන ආදී මෙකී නොකී ගොඩනැගිලි රැසකින් රටම වැහෙනවා. පවතින අධිපති කතිකාවන්ට දේශපාලනිකව සවිඥානික වෙන නිර්මාණකරුවන් අතළොස්සක් සමහර අවස්ථාවන්හිදී ඒවා ප්‍රශ්න කරන්න උත්සාහ දරනවා අපට පේනවා.

දැන් ඔබට වැටහෙනවා ඇති ඉංජිනේරු විද්‍යාව ගොඩනැගිලි නිර්මාණය කරනකොට එතනින් තව පියවරක් එහාට යන්න සිද්ධ වෙනවා ආකිටෙක්චර් නිර්මාණකරුවෙකුට. ඒ අවකාශමය සංඥාර්ථවේදය කියන වපසරිය. ඊට අමතරව, පවතින භෞතික හා සමාජයීය පරිසරයන් එක්ක ගොඩනැගිල්ලක් කරන ගනුදෙනුවත් ආකිටෙක්චර් වලම කොටසක්.

මේකෙ මානව වින්දනය හා සම්බන්ධ වන සෞන්දර්ය කලාපයකුත් එයින් එහා ගිය සමාජ දේශපාලනික වටිනාකම් සමග ගනුදෙනු කරන කලාත්මක කලාපයකුත් අපට හඳුනා ගන්න පුළුවන්.

භූමිය සීමිත සම්පතක් ලෙස සැලකෙනවා. ඒ නිසා තිරස් අතට කෙරෙන භෞතික ඉදිකිරීම් වල අනාගතය අවිනිශ්චිතද?

භූමිය විතරක් නෙවෙයි, සියලු සම්පත් සීමිතයි. අපි නිෂ්ඨාත්මක අදහසක් ගැන හිතනවා නම් අපේ සියලු ඉදිකිරීම් අවම සම්පත් භාවිතයකින් කරන්න පුළුවන් වෙන්න ඕන. නමුත් ඔබ නගන ප්‍රශ්නය ඉතාම වැදගත්. ප්‍රායෝගිකව අද දවසේ සමස්ත ලෝකය විදියට ජනගහන වර්ධනය සම්බන්ධයෙන්, සම්පත් පරිභෝජනය සම්බන්ධයෙන් නිසි සම්මතයන් හෝ නිර්ණායකයන් අනුගමනය නොකරන වටපිටාවක ඉන්න අපට කියන්න සිද්ධ වෙනවා තිරස් අතට විහිදෙනවා ට වඩා සිරස් අවකාශය අල්ලන්න යන්න අපට සිද්ධ වෙනවා කියලා. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ සිරස් ඉදිකිරීම් සියලු ප්‍රශ්නවලට උත්තරයක් බව. අපි ලෝකයේ ජනගහන වර්ධනය ගැන බුද්ධිමත්ව හිතනවනම් අපට පෙනෙන දෙයක් තමයි අපි ඉබාගාතේ ඒ වැඩේ කරමින් ඉන්න බව. පෘථිවියට දරාගන්න අමාරු ගානට අපි මේ වෙනකොටත් මිනිස් ගහණය වැඩිකරලා තියෙනවා. මොකටද මෙච්චර මිනිස්සු කියල ඇහුවොත් අපට දෙන්න උත්තරයක් නෑ. අනිත් එක පුද්ගල සම්පත් පරිභෝජනය ඉතා ඉහළ ගිහින් තියෙනවා පරිභෝජන කේන්ද්‍රීය ධනවාදය ඇතුළේ. ධනවාදී ආර්ථික මොඩලය ඇතුලේ “සංවර්ධනය” කියලා නිර්මාණය කරල තියෙන දේත් විශාල ගැටලු සහගත ප්‍රපංචයක්. ඒ ගැටලු සහගතභාවයට පිළිතුරු විදියට මෑත අතීතයේ ඉදිරියට ආ “තිරසාර සංවර්ධනය” බඳු සංකල්පත් නැවතත් අර්බුදයට යමින් තිබෙනවා.

“තිරස්ද, සිරස්ද?” කතාවට නැවත ආවොත් අපට දකින්න පුළුවන් නව ප්‍රවණතාවන් තමයි තිරස් හෝ සිරස් කියල සලකන්නෙ නැතිව සමස්ත ත්‍රිමාණ අවකාශයක් කොහොමද වඩා ප්‍රශස්ත ආකාරයෙන් හසුරුවාගන්නේ කියන එළැඹුමකින් සිදුකෙරෙන නව පර්යේෂණාත්මක නිර්මාණ. සමස්ත ත්‍රිමාණ අවකාශයක් ඇතුලේ ඉදිවන හරිත නගර වැනි පර්යේෂණ ජර්මනිය වැනි රටවල් මූලික කරගෙන ලොව බොහෝ තැන්වල සිදුවෙනවා.

කඩා යළි ඉදිකරන ජෝන් සිල්වා සමරු රඟහල වැඩබිමට ඔබ උපදේශකයෙක් ලෙස සම්බන්ධයි.

ජෝන් ද සිල්වා සමරු රඟහල ඉදිකිරීමේ උපදේශකත්වය ආයතනයක් විදිහට දරන්නෙ මොරටුව විශ්වවිද්‍යාලය. වසර 2011 වගේ කාලයක මේ ව්‍යාපෘතියේ මුල්ම අදහස අපට අරගෙන එන්නේ දිවංගත පණ්ඩුල ඇඳගම ශූරීන්, අපි හිතනවා ඉදිරි වසරක කාලය ඇතුළත අපේ උපදේශකත්වය යටතේ මෙහි ඉදිකිරීම් නිමා කර ලෝකයේ ඉහළම මට්ටමේ රඟහලක් අපේ කලා ශිල්පීන්ට ලබාදෙන්න හැකිවෙයි කියලා. මෙතන ඇත්තටම රඟහල් දෙකක් ඉදි වෙනවා. එකක් ජෝන් ද සිල්වා ප්‍රධාන රඟහල, අනිත් එක නව පර්යේෂණාත්මක රංගයන් සඳහා වෙන්වුණ කෘෂ්ණ ඝණක පර්යේෂණාත්මක රඟහල. ප්‍රධාන රඟහල ඉදිවෙන්නේ ප්‍රොසීනියම් සහ ත්‍රස්ට් දෙවර්ගයේම රංගයන් ඉදිරිපත් කළ හැකි ලංකාවේ පළමු රඟහල විදියට. අපි සාමාන්‍යයෙන් දකින ප්‍රොසීනියම් රඟහලක් විදියට භාවිත කරනවිට ආසන 700ක ප්‍රේක්ෂකාගාරයකටත්, ත්‍රස්ට් රංගයකදී ආසන 800ක ප්‍රේක්ෂකාගාරයකටත් එය විවෘත වෙනවා. මේ රඟහල මූලිකව වේදිකා නාට්‍ය උදෙසා ඉදිවෙන එකක් නමුත් එහි ප්‍රාසාංගික කලා මෙන්ම ඩිජිටල් සිනමා අත්දැකීම් ලබන්නත් ප්‍රේක්ෂකයාට හැකිවෙන පරිදි තාක්ෂණික පහසුකම් සැපයෙනවා. සමස්ත ප්‍රේක්ෂකාගාරයටම වේදිකා රංගයකදී ස්වභාවික ශබ්ද ශ්‍රවණය කළ හැකි අන්දමිනුත්, ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමකදී ඉලෙක්ට්‍රොනිකව වර්ධනය කළ ශබ්දයන් වඩා පැහැදිලිව ශ්‍රවණය කළ හැකි අන්දමිනුත් තමයි ශාබ්දික සහ ශ්‍රව්‍ය තාක්ෂණය හසුරුවලා තියෙන්නේ.

දෙවන රංගශාලාව, එහෙමත් නැත්නම් පර්යේෂණාත්මක රංගශාලාව ඉදිවෙන්නේ කෘෂ්ණ ඝණක සංකල්පය යටතේ. ඒ කියන්නෙ රංග ශිල්පියා සහ ප්‍රේක්ෂකයා ප්‍රොසීනියම් තලයකින් වෙන් කරන්නෙ නැතිව එකම අවකාශයක රංගගතවෙන නාට්‍ය සඳහා. මේ රංග ශාලාව ප්‍රෙක්ෂකයන් සියයකට පමණ රංගයට සහභාගි වියහැකි අවකාශයක්. ඒ රංගශාලාව ඊට අමතරව ඩිජිටල් ශ්‍රව්‍ය – දෘෂ්‍ය පටිගත කිරීමේ මැදිරියක් විදියටත් භාවිත කිරීමේ හැකියාව තියෙනවා.

මේ සියලු පහසුකම් සපයන අතරේ මේ පරිශ්‍රය නාට්‍ය ශිල්පීන්ට දැරිය හැකි මුදලකට ලබාදෙන්නෙ සහ ඒ හරහා ප්‍රේක්ෂකයාගෙ ටිකට්පතක වියදම අඩු කරන්නෙ කොහොමද කියන කාරණයත් අපි සලකා බැලුවා. සමස්ත පරිශ්‍රය වැසි ජලය සංරක්ෂණය කොට භාවිත කරන සහ සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන ආකාරයට සකස් වන්නේ ඒ අවශ්‍යතාව පෙරදැරි කරගෙනයි. ඉන් රඟහලෙහි වියදම් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කෙරෙන නිසා සාපේක්ෂව අවම, සාධාරණ මිලකට රඟහල ලබාගන්න නාට්‍ය කලාකරුවන්ට හැකි වේවි.

මේ මොහොතේ ලංකාව ආර්ථිකව ඇදවැටී තිබෙන ආකාරය අනුව ඉදිකිරීම් කර්මාන්තයේ අනාගතය බිඳවැටිලා ද?

ලංකාව මේ මොහොතේ තියෙන්නෙ දැවැන්ත ආර්ථික අර්බුදයක කියන එක වසන් කළ හැකි දෙයක් නොවෙයි. සාමාන්‍යයෙන් කියන්නේ “The construction industry can be regarded as a barometer of economy” කියලයි. ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව නිරත වෙලා ඉන්න අය විදියට අපි ඒක අපේ ඇස් පනාපිට අත්දකිනවා. බොහොම වේගයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටෙමින් පවතිනවා. විදේශීය ආයෝජකයින් සහ මහා පරිමාණ දේශීය ආයෝජකයින් විසින් කරගෙන යන ව්‍යාපෘතීන් අතළොස්සක් හැරෙන්නට බොහෝ මධ්‍ය පරිමාණ හා කුඩා පරිමාණ ගොඩනැගිලි ඉදිකිරීම් අතරමඟ නවතින හෝ ආරම්භ නොකරන තත්ත්වයට ඇවිත් තියෙනවා. මේකත් එක්ක විරැකියාව වැනි තවත් ප්‍රශ්න රැසක් ඉදිරියේ දී කරළියට එන්නට නියමිතයි. ඇත්තම කිව්වොත් ඉදිකිරීම් ක්ෂේත්‍රය විදියට ඉතාම භයානක තත්වයකට අපි මුහුණ දෙමින් ඉන්නවා. පවතින ඩොලර් හිඟයත් එක්ක අමුද්‍රව්‍ය හිඟවීමත්, අමුද්‍රව්‍ය වල මිල ඉතා විශාල ලෙස ඉහළයාමත් තමයි දැනට මතුපිටින් පේන දුෂ්කරතාව. මොකද ගල් සහ වැලි හැරුණාම අන් සියලු අමුද්‍රව්‍ය සඳහා අපි ආනයන මත යැපෙනවා.

ලෝක මට්ටමින් ගෘහ නිර්මාණ ශිල්පය වැනි විෂයක් මේ මොහොතේ තිබෙන්නේ කෙබඳු තැනකද?

ඒක පැති කිහිපයකින් විග්‍රහ කරන්න පුළුවන්. කලාත්මක සහ දාර්ශනිකමය සාකච්ඡාවක් විදියට ගත්තොත් ආකිටෙක්චර් කියන එක ලෝකයට මඟ පෙන්වන සෞන්දර්ය කතිකාවක් විදිහට මීට සියවස් ගණනකට කලින් වගේම අදටත් ඉන්නවා. විසිවන සියවසෙහි මුල කතිකාව වෙච්ච නූතනවාදයට අභියෝග කරන, නූතනවාදය ප්‍රශ්න කරන නව ආකිටෙක්චර් එළැඹුම් දශක කිහිපයක් තිස්සේ ලෝකය පුරා මතුවෙනවා. ඉන් සමහර ඒවා අද තියෙන නව ලිබරල් අර්ථ ක්‍රමයත් එක්ක පෑහෙන අතරේ තවත් සමහරක් ඊට අභියෝග කරන ප්‍රවණතාවන් බිහි කරමින් ඉන්නවා. නූතනවාදයෙන් පස්සේ ආකිටෙක්චර් කියන එකට ඉතාම සංකීර්ණ වපසරියක කටයුතු කරන්න හැකි වෙලා තියෙනවා. ඇත්තටම කිව්වොත් නූතනවාදයට අභියෝග කරන පශ්චාත් නූතනවාදී කලාත්මක එළැඹුම් ලෝකයට හඳුන්වා දුන්නෙම ආකිටෙක්චර් වලින්. ඊයෙ වගෙම අදත්, හෙටත් කලාවේ දෘෂ්ටිවාදීමය හෝ ප්‍රකාශනාත්මක ප්‍රගමනයන් ගැන කතා කරනවානම් කාටවත් ආකිටෙක්චර් අතහැරලා යන්න බෑ. සමාජයක් විදියට ලංකාවෙ කලා කතිකාව ඇතුලේ ආකිටෙක්චර් නිසි පරිදි ස්ථානගතවෙලා නැහැ කියන එක තමයි මගේ අදහස. මෙවැනි කතිකාවන් ඉතා සුළු මට්ටමෙන් හෝ ඒ සඳහා දායකවෙයි කියල මට හිතෙනවා.

තාක්ෂණය පැත්තෙන් ගත්තොත් අවකාශය කියලා අපට දැනෙන සංජානනය ප්‍රතිනිර්වචනය කරන්න තරම් ඒක දුර ගිහින් තියෙනවා. ඒ වගේම පුද්ගල අවකාශය, සමාජ අවකාශය වැනි සංකල්ප නැවත අරුත් ගන්වන්න හැකි ආකාරයට ආකිටෙක්චර් වෙනස් වෙලා තියෙනවා. තවදුරටත් ආකිටෙක්චර් තියෙන්නේ භෞතික සංජානන අවකාශයක් ඇතුලේ පමණක් පවතින දෙයක් නොවෙයි.

සංවාදය
● කපිල එම්. ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment