පාඨක මනස ගැඹුරු චින්තාවකට කැඳවන ප්‍රේම ඍතුව

150

කෘතිය: ප්‍රේම ඍතුව
කර්තෘ: සුනන්දා රණසිංහ

කවිය මල් වෙඩිල්ලක් වැනිය. චමත්කාර ජනකය. හාත්පස ඒකාලෝක කරමින් එක් වරම පුපුරා කඩා හැළෙයි.

කවියා තුළ හටගන්නා වියවුල, නොසංසුන් ස්වභාවයම උත්තම නිර්මාණයකට මුල පුරයි. ඒ බැරිම තැනය. අවසානය සුන්දරය. කවියා නිවී පහන් වෙයි.

“ විලාපය නඟා ගෙන
මං නැඟෙද්දී අහසට
තළතළා අත්පුඩි
පොඩි උන් හිනා කෑවට

දුක කියා මොටදැයි
නිමක් නැති අහසට
ගිනි මල් විසුරුවා ගෙන
මං පුපුරන්නේ බැරි තැන ”
( පිටුව 21)

‘ අහස් වෙඩිල්ලක විත්තිය’ ලියැවුණු ඉහත කවියෙහි පසුබිමින් ශෝකාලාපයක් ඇසුණත් අවසානයේ මවා දෙන සංකල්ප රූපය මනරම්ය.

කවිය උපුටා ගත්තේ ‘ප්‍රේම ඍතුව’ පද්‍ය සංග්‍රහයෙනි. 2023 වසරෙහි රාජ්‍ය සම්මානයට ද රජත පුස්තක සම්මානයට ද නිර්දේශ වූ ‘ප්‍රේම ඍතුව’ ගෙන එන්නේ සම්මානනීය කිවිඳිය සුනන්දා රණසිංහයි.

ඇය 80 දශකයෙන් කවි මඟට බට කිවිඳියකි. මොනිකා රුවන්පතිරණ කිවිඳි පරපුරෙන් ලද රන් යෂ්ටිය සුරැකිව සුරතට ගෙන සංසුන් ගවේෂණාත්මක ගමනක නිරත වන්නීය.

සම්මානයෙන් අබිසෙස් ලද ප්‍රේම ඍතුව රසිකයාගේ සියුම් චින්තනයට අමතන අතරම වරෙක ගැඹුරු චින්තාවකට කැඳවා යයි.

ඇය සිය ජීවන තක්සලාවෙන් ලද අවබෝධය ,බහුශ්‍රැත බව මතින් පරිණත කිවිඳියක ලෙස නෙක විධි අනුභූතීන් හරහා අකුරු සොයා ගන්නීය.

සොබාදහම ද ඇගේ කවි සැකසුමට ආශිර්වාදයක්ව ඇති බව පෙනෙන්නට ඇත.

‘ බැමි නැති තැන ‘කවි පෙළ එවැන්නකි. එහි මුල් කවිය බලන්න.

“තුරු හිස නිවස අතහැර
ආ දා සිට ම පොළොවට
තණපත් සමග හාද ව
හිඳිමි ඒ මගෙ ලෝකය”
(පිටුව 10)

‘ගසකින් කොළයක් ගිලිහීම’ අප සරලව නෙතින් අල්වා ගන්නා සංසිද්ධිය ඇය මනසින් රූපණය කරන්නේ එලෙසිනි.

‘ආ මඟ දුරය’ ගංගාවක වත කියැවෙන පැදි පෙළෙහි අවසන් කවිය

“ සිඳු වෙරළෙහි කිඳී
තුටින් සිනා සිසී
සැහැල්ලුවෙන් නික්මෙන්නට
ගඟටත් පින් ඇති ”
(පිටුව 64)

මෙලෙස තථ්‍ය ලෝකයේ වස්තු විෂයෙහි තාත්විකත්වය අබිබවා පරිකල්පනය ඔස්සේ ‘දහම’ විනිවිද පෙන්වීමට තරම් ඇගේ කවීත්වය උත්තුංගය.

ප්‍රේමයට කලක් වයසක් කොහෙදැයි කියන

‘පමා වූ ප්‍රේම ඍතුවත්, සහෝදරියගේ හිත නොරිද්දා තම රිදුන හිත සඟවන

‘නාහා ඉඳින් අක්කේ’ කවිය ඇතුළුව තව කිහිපයක් වූ නිර්මාණත් ඇසුරු කරන්නේ ස්ත්‍රිය වෙනුවෙන් වූ කාව්‍යානුභූතින්ය. කිවිඳිය ඒ හා සමවාය ලෙස බැඳෙන්නේ හෘදයංගමවය.

ඇසුරු කරන සමාජීය සහානුභූතින් හා ඉන්හට ගන්නා කම්පනය කවියට ආරෝපණය කරන ඇය ඉන් නිදහස් වී රසිකයා සහකම්පනයට පත් කරන්නීය.

ඈ සතු මනුගුණය ප්‍රකට කරන ප්‍රබලම කවියකි ‘ඉෂාලිනිගේ ආයාචනය’. එය අප සසල කරවයි.

කාව්‍ය බීජය සත්‍ය සිදු වීමකි. එනම් මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී අපයෝජනයට ලක්ව පිළිස්සී මිය ගිය දැරියකගේ සිරුර නැවත ගොඩගැනීමට අධිකරණය දුන් නියෝගයයි.

කිවිඳිය අවදි කරන්නේ මිය ගිය ඉෂාලිනීගේ හඬයි.

“කළු දෙබරු තලා විස තුඩු අගින්
උරා හප කළ පසුව කැකුළු මල
මී මඬල ළමැඩියෙහිවත් වැතිර
ඉසුඹුලන්නට ඉඩක් දෙන්න මට”
( පිටුව 34)

කවි පෙළ අවසන එසේය.

කවියෙහි රස සාරය භාෂාවයි. සුනන්දා කිවිඳිය එය මනාව මුසු කරනා හපනියකි.

ඉහත කවියෙහි එන

“මී මඬල ළමැඩියෙහිවත් වැතිර ඉසුඹුලන්නට ඉඩක් දෙන්න මට ” මෙම යෙදුමෙන් ඇගේ එම ශක්‍යතාව මනාව විශද කරවයි. එය රසපූර්ණ වනවා සේම භාවපූර්ණය. වදන් තෙපුල් දේ.

ඇයගේ කවිය අදහස සහ චිත්තරූපය අතර යුගළකරණයේදී බොහෝවිට ඉස්මතු වන්නේ අදහසයි. මෙය මාගේ නිරීක්ෂණයට හසු වුවකි.

ඇය වෘත්තියෙන් ගුරුවරියක වන නිසාදෝ ප්‍රේම ඍතුවෙහි බොහෝ තැනක පනන්ති කාමර දුටු බව කියමි. එහි සිටි ගුරු, සිසුන් ඇසුරු කළෙමි.

විවිධත්වයෙන් හැඩ වූ ප්‍රේම ඍතුව කවි වසන්තයකි. අපමණ මිහිරියාවකි.

සිය ප්‍රතිභාව මනාව හසුරවමින් සම්‍යක් නිර්මාණ සම්පත්තියක් පාඨකයා වෙත පිළිගැන්වීමට සුනන්දා කිවිඳියගේ ඉදිරිපත් වීම ප්‍රශංසනීයය.

● වයලට් ප්‍රියදර්ශනී විතානගේ

advertistmentadvertistment
advertistmentadvertistment