ලංවීම කොම්පැනි 12කට සේවකයෝ භාගයක් ගෙදර! – රංජන් ජයලාල් කියයි

1122

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නව සමාගම් දොළහක් ස්ථාපිත කොට විදුලිබල මණ්ඩලයේ සේවකයන් එකොළොස්දහස් දෙසීයකගේ පමණ රැකියා අහෝසි කිරීම ආණ්ඩුවේ සැලසුම වී ඇතැයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ විදුලිබල මණ්ඩලය ප්‍රධාන වශයෙන් සමාගම් දොළහයක් බවට පත්කිරීමත් සමග 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත අහෝසිවීමත් සමගම මණ්ඩලය ද අහෝසි වී යනු ඇතැයි ද ඒ මහතා කීය. දැනට විදුලිබල මණ්ඩලයේ 24000ක පමණ පිරිසක් සේවය කරති. නව ක්‍රියාවලිය අනුව විදුලි උත්පාදන සමාගම් පහක්, බෙදාහැරීමේ සමාගම් පහක් සහ විදුලි සම්පේෂණ කටයුතු සඳහා සමාගම් දෙකක් ඇතිවන බව ද ජයලාල් මහතා පැවසීය.

මීට අමතරව මෙරට සුළං බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවේ අදානි වැනි සමාගම්වලට අවසර ලැබෙන බවත් නොරොච්චෝල ලක් විජය ගල්අඟුරු බලාගාරය චීනයට නතුවන බවත් ඒ මහතා සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට අයිති සේවක අර්ථ සාධක අරමුදලේ ඇති රුපියල් බිලියන අසූදෙකක මුදල ද මහා භාණ්ඩාගාරය යටතට ගැනීම සැලසුම වී ඇතැයි ද ඒ මහතා කීය.

ඒ අනුව ආණ්ඩුව ගෙන යන මෙම තීරණය නැවැත්වීම සඳහා ජනතාව සමග එක්ව සටන් කරන බවත් ඊට අමතරව ඒ සඳහා ගත හැකි නෛතික ක්‍රියාමාර්ගවලට යොමුවීමට සියලු වෘත්තීය සමිති සමග සන්ධානගත වන බවත් ඒ මහතා කීය. මෙහි මුල් පියවර ලබන 17 වැනිදා අනුරාධපුරයෙන් ආරම්භ කර ලංවිම රැක ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ක්‍රියාවට නංවන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment