පක්ෂව 103යි විරුද්ධව 59යි: විදුලි බල පනත වැඩි ඡන්ද 44කින් සම්මත වෙයි

227

විපක්‍ෂයේ සංශෝධන ප්‍රතික්‍ෂේප වෙයි

දැඩි ආන්දෝලනයට ලක්වූ ශ්‍රී ලංකා විදුලි බල පනත් කෙටුම්පත වැඩි ඡන්ද 44කින් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත විණි. ඊයේ (06 දා) සවස දෙවැනි වර කියවීම අවසානයේදී පැවැති ඡන්ද විමසීමේදී සංශෝධන සහිතව මෙසේ සම්මත කරනු ලැබීය.

පනතට පක්ෂව ඡන්ද 103ක්ද විපක්ෂව ඡන්ද 59 ක්ද ලැබිණි. පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා විසින් ආරම්භ කරන ලදී.

පසුව පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු යෝජිත පනත සම්බන්ධයෙන් අදහස් පළ කළහ. සවස 5.05ට පමණ විවාදය අවසන් කෙරිණි. පනත සම්මත කිරීමට පෙර ඡන්දයක් විමසිය යුතු යැයි විපක්ෂය කළ ඉල්ලීම අනුව සීනුව නාද කර ඡන්ද විමසීම ආරම්භ කරනු ලැබීය.

පනතට පක්ෂව ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කළහ. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය මෙන්ම ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගෙන සිටින ස්වාධීන මන්ත්‍රීවරු ද පනතට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

පසුව පනතට කාරක සභා අවස්ථාවේදී සිදු කරන සංශෝධන මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබිණ.

එහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා, දයාසිරි ජයසේකර, මහාචාර්ය චරිත හේරත්, චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ සංශෝධන ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment