ප්‍රංශයේ ගුවන්තොටුපොළවල් 6කින් හා මාළිගයෙන් ජනතාව ඉවත් කෙරෙති

582

අන්තවාදී කණ්ඩායම්වලින් එල්ල වූ බෝම්බ තර්ජන හේතුවෙන් ප්‍රංශයේ පැරිස් නගරයට ආසන්නයේ පිහිටි ගුවන් තොටුපළවල් හයකින් හා සංචාරක ආකර්ෂණය දිනූ වර් සේලෙස් මාළිගයෙන් ජනතාව හා කාර්යමණ්ඩල සම්පූර්ණයෙන් ඉවත් කිරීමට බලධාරීන් විසින් පෙරේදා (18 දා) පියවර ගෙන තිබේ.

මේ යටතේ ප්‍රංශයේ ලිලේ, ලියොන්, නැන්ටෙස්, නයිස්, ටවුලොස් හා බියුවයිස් යන ගුවන් තොටුපළවලින් මෙන්ම ප්‍රකට සංචාරකයන්ගේ අවධානය දිනූ වර් සේලෙස් මාළිගයෙන් ජනතාව හා කාර්ය මණ්ඩල ඉවත් ගැනීමට පියවර ගෙන ඇති අතර විද්‍යුත් තැපෑල (ඊ මේල් ) ඔස්සේ ලැබුණු බෝම්බ තර්ජන හේතුවෙන් ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් වශයෙන් මෙම පියවර ගත් බව ප්‍රංශ බලධාරීහු පවසති. අත්හැර දමන ලද ගමන් බෑගයක් නයිස් ගුවන් තොටුපළේ තිබී හමු වී ඇති බවද වාර්තා වී තිබිණි. මෙම ගුවන් තොටුපළවල ආරක්ෂාව මේ වන විට තර කර ඇති අතර මගීන් හා කාර්ය මණ්ඩල ඉවත් කිරීම හේතුවෙන් ගුවන් ගමන් වාර ගණනාවක් කල් දැමීමට සිදුව තිබේ. පැරිස් නගරයට බටහිරින් පිහිටි වර් සේ ලෙස් මාළිගයට ඉකුත් දින පහක කාලය තුළ තුන් වතාවක් බෝම්බ තර්ජන ලැබී තිබිණි. ඉකුත් 07 වැනිදා ගාසා තීරයේ හමාස් අන්තවාදීන් විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් අනතුරුව ඉස්ලාමික් ස්ටේට් හෙවත් අයිසිස් සංවිධානය ඇතුළු මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් වෙතින් ප්‍රංශයේ වැදගත් ස්ථානවලට බෝම්බ ප්‍රහාර එල්ල කරන තර්ජන ලැබෙමින් පවතින බව ප්‍රංශ මාධ්‍ය පවසයි. ඉකුත් සිකුරාදා ප්‍රංශයේ ඇරස් නගරයේදී ප්‍රංශ ගුරුවරයකු උසස් විදුහලකදී අයිසිස් සංවිධානයට අයත් බව කියන අන්තවාදියෙකු විසින් දරුණු ලෙස පිහියකින් ඇන මරා දමා තිබුණු අතර තවත් දෙදෙනකු එම ප්‍රහාරයෙන් තුවාල ලබා තිබිණි. මෙම තත්ත්වය මත මෙම දිනවල නිර්නාමිකව බෝම්බ තර්ජන එල්ල වුවද ඒවා සත්‍ය සේ සලකා පියවර ගැනීමට සිදුව ඇති බව ප්‍රංශ බලධාරීහු පවසති.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment