පැහැර ගැනීමේ ආරංචියෙන් ‘ගොත අසංකට’ ඇප නෑ

220

අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද ඇප නියෝගයක් අනුව ඇප මත මුදාහැරීම සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු යැයි කියන අමිල නුවන් හෙවත් ‘ගොත අසංක’ නමැත්තා ඊයේ (03 දා) ගම්පහ මහාධිකරණයට ඉදිරිපත් කොට තිබූ නමුත් ඇප මත මුදාහල පසු ඔහු බලහතක්කාරයෙන් පැහැර ගැනීමට යම් පිරිසක් සූදානම් වන බවට ලැබුණු තොරතුරු හා ඒ බව සනාථ කරන සලකුණු අනුව ඔහුට ඇප තැබීමක් නොකිරීමට ඔහුගේ නීතිඥවරු පියවර ගත්හ.

මහාධිකරණය විසින් කරන ලද නියෝගය අනුව බූස්ස සිර කඳවුරේ රඳවා සිටින එම අපරාධ කල්ලි සමාජිකයාව දැඩි ආරක්ෂාවක් යටතේ අධිකරණයට රැගෙන පැමිණි සැණින් ආරක්ෂක අංශ සාමාජිකයන් යැයි සැක කළ හැකි සිවිල් ඇඳුමින් සැරසුණ විශාල පිරිසක් අධිකරණ සංකීර්ණය අවට හා අධිකරණ ගොඩනැඟිලි තුළට ඇතුළුවී සිටියහ.

මහාධිකරණ විනිසුරුවරයාගේ නිල මැදිරිය අවට හා අධිකරණ භූමිය තුළ නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් රාජකාරියේ නිරතව සිටියදීම එම විත්තිකරු රඳවා සිටි සිර මැදිරිය අසලට පැමිණ ඔහුව නිරීක්ෂණය කර තිබූ යම් පිරිසක් විනිසුරුවරයාගේ නිල මැදිරිය අවට පවා සැරිසැරීම නිසා ඒ සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරයාට පැමිණිලි කිරීමට ද නීතිඥවරුන් විසින් පියවර ගෙන තිබිණි.

සිය සේවාදායකයා ඇප මත මුදාහැරීමෙන් පසු ඔහුට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කිරීම සඳහා එම නඩුව අද (4 දා) කැඳවිමට පියවර ගන්නා ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටි බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මහතා පැවසීය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment