විධායක ජනපති ක්‍රමය නිසා ප්‍රජාතන්ත්‍ර විරෝධී අරගල පාලනය වුණා – එජාප සභාපති වජිර අබේවර්ධන

98

ජනපතිවරණයකට රනිල් පමණක් ඉදිරිපත් වුණොත් බිලියන 13 ක් රටේ යහපතට යෙදවිය හැකියි

ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් බිලියන 13 ක මුදලක් වැය වෙනවා. ජාතික එකඟතාවකින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලුම්පත්‍රය පමණක් එවැන්නකදී ඉදිරිපත් වුණොත් එම බිලියන 13 විදුලි බිල අඩුකර ගැනීමට හෝ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලන්න හෝ යොදාගත හැකිවේවි යැයි එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ගාල්ලේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඔහු,

“අද රට ඇතුලේ ජනාධිපතිවරණය පිළිබඳ විශාල කතාබහක් ඇතිව තිබෙනවා. විශේෂයෙන්ම දේශපාලන පක්ෂවල නායකයන් මේ ගැන බොහෝ සෙයින් කතා කරනවා.

මම හිතනවා මේ ගැන කතාකරන සියලු පුරවැසියන් දෙස ශ්‍රී ලාංකික මහජනතාව සිහිබුද්ධියෙන් බැලිය යුතුයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපති ධුරය භාර ගන්නේ සියලු දෙනා භාර නොගත් අවස්ථාවකයි. රටේ ප්‍රශ්නයට කිසිදු කෙනෙක්ට උත්තර නොමැති අවස්ථාවකයි. යම් හෙයකින් රටේ ප්‍රශ්න විසඳන්න එදා ඔවුන්ට හැකියාවක් හෝ දර්ශනයක් තිබුණා නම් අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති පුටුවේ නැහැ. ඒ ගැන අපි මතක තබාගත යුතුයි.

එතුමා ඉදිරිපත් කළ විසඳුම් ජාතික වශයෙනුත්, ජාත්‍යන්තර වශයෙනුත් නීත්‍යනූකූලවත් ඉදිරිපත් කරමින් රට ඉතා කෙටි කාලයක් තුළ බංකොලොත් භාවයෙන් නිදහස් කරමින් තිබෙනවා.

ඉතින් මෙවැනි අවස්ථාවක ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ඒ සඳහා බිලියන 13 ක පමණ මුදලක් වැය වෙනවා. මේ නිසා ශ්‍රී ලංකාවේ මහජනතාව වගේම සියලු අපේක්ෂකයින් කල්පනාවෙන් වැඩ කරනවානම්, මොකද මේ ඉදිරිපත් වෙනවා කියන අපේක්ෂයන් දන්නවා තමන්ට රටක් ගොඩනඟන්න බැහැ කියලා. කලින් මම කිව්වා වගේ ඔවුන්ට එවැනි අභියෝගයක් ජයගන්න පුළුවන්කම තිබුණා නම් අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධුරයේ නැහැනේ.

එක ඉල්ලුම් පත්‍රයක් පමණක් ජාතික එකඟතාවකින් ඉදිරිපත් වුණහොත්, ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉල්ලුම් පත්‍රය පමණක් රටට ඉදිරිපත් වුණොත්, එවිට මැතිවරණයක් සඳහා වියදම් වෙන බිලියන 13 ක මුදල මහජනතාවගේ විදුලිබිල අඩු කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන්. එහෙමත් නැතිනම් පාසල් දරුවන්ගේ අනාගතය සඳහා ඒ බිලියන 13 භාවිතා කරන්න පුළුවන්.

ඒ වගේම විධායක ජනාධිපති ධුරය පිළිබඳවත් බොහෝ දේශපාලන නායකයන් කතා කරනවා. මෙය අහෝසි කරනවා කිව්වා, මෙහි බලතල අඩු කරනවා කිව්වා. නොයෙක් දේවල් කිව්වා. මේ හැම දෙයක්ම අත්හදා බලලා ඉවරයි. නමුත් විධායක ජනාධිපති ධුරය නිසා 77 න් පසුව විශාල ආර්ථික විප්ලවයක් රට තුළ සිදුවුණා. වසර 30 ක යුද්ධය අවසන් කිරීමටද එය දායක වුණා.

ඒ වගේම ප්‍රජාතන්ත්‍ර විරෝධී අරගල පාලනය සඳහා ද එය ප්‍රයෝජනවත් වුණා. ඒ වගේම විශේෂයෙන් පසුගිය ආර්ථික ආගාධයක් ඇතිවුණ අවස්ථාවේදීත් විධායක ජනාධිපතිධුරය තිබුණු නිසා අවස්ථාවක් ලැබිලා තිබෙනවා ශ්‍රී ලාංකික පුරවැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදය නැවත ආරක්ෂා කරගනිමින් නැවත ඉදිරියට එන්න.

ගාල්ල – ලලිත් චාමින්ද, හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment