පන්සලේ ඉඩමේ මහජන මුදලින් ඉදිවුණු කුඹුක්ගැටේ පොලිසිය හෙට ඇරේ

156

පොලිස් ඉතිහාසයේ ප්‍රථමවතාවට ගමේ විහාරාධිපති හිමියන්ගේ සහ ගම්වාසීන්ගේ ධන පරිත්‍යාගයෙන් සහ ශ්‍රමදායකත්වයෙන් ඉදිකළ කුඹුක්ගැටේ පොලිස් ස්ථානය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් හෙට (20 වැනිදා) විවෘත කරනු ලබයි.

මෙම පොලිස් ස්ථානය ඉදිකිරීමට රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් වැය වී ඇති අතර එම මුදල් කුඹුක්ගැටේ ගම්වාසීන් සහ විහාරාධිපති හිමියන් විසින් ලබාදී ඇති බව වාර්තා වෙයි.

කුඹුක්ගැටේ පොලිසිය ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් නිවසක පවත්වාගෙන ගිය අතර ඊට මාසික කුලිය ලෙස විශාල මුදලක් ගෙවා ඇත. එම කුලී නිවස හිමිකරු ආපසු ඉල්ලා තිබිණි.

මේ අතර කුඹුක්ගැටේ ප්‍රදේශයට අලුතින් පොලිසියක් ඉදිකිරීමට කසාගල රජමහා විහාරාධිපති මැල්සිරිපුර විමලරතන හිමියන් අක්කර දෙකක ඉඩමක් පරිත්‍යාග කළ අතර එහි වර්තමාන වටිනාකම රුපියල් කෝටි 2 ඉක්මවයි.

මෙම පොලිස් ස්ථානය ඉදිකිරීම 2022 වර්ෂයේ නොවැම්බර් 25 වැනිදා ආරම්භ කළ අතර ඊට ගම්වාසීන් සිය මුදල් සහ ශ්‍රමය පරිත්‍යාග කර ඇත. පොලිස් ස්ථානය ඉදිකිරීම සඳහා මුදල් රැස්කිරීමට ගම්වාසීන් සංගීත සංදර්ශන ඇතුළු ක්‍රියාකාරකම් සිදුකර ඇත. ඊට අමතරව ධනය පරිත්‍යාගය කරමින් දානපතීන් නොමසුරු දායකත්වය ඊට ලබා දී තිබේ.

පොලිසිය සැමවිටම මහජනතාවගේ විවේචනයට ලක්වන මෙවන් අවදියක ජනතාව විසින්ම පොලිස් ස්ථානයක් ඉදිකර එය පොලිස් දෙපාර්තමේන්තුවට ලබාදීම මහත් ආදර්ශමත් කටයුත්තක් බව උසස් පොලිස් නිලධාරීහු කියා සිටියහ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment