1987 ජුලි මාසයේදී කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයා වූ හර්දීප් සිං පූරී යාපනයේ දී ප්‍රභාකරන් හමුවී සාකච්ඡාවක් පැවැත්වීය. මෙහිදී ඉන්දු-ලංකා ගිවිසුම පිළිබඳ සාකච්ඡාවක් සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙසට එහිදී ඔහුට ආරාධනයක් ලැබිණි. ප්‍රභාකරන් එම ඉල්ලීමට එකඟ විය. එහෙත් ඔහුට ඉල්ලීම් කිහිපයක් ඉන්දීය රජයට ඉදිරිපත් කිරීමට තිබිණි. ඉන්දියාව බලා යන ගමනේ දී තම දේශපාලන සහායකයන් වන යෝගි හා තිලීපන්ට අතිරේකව කායාරක්ෂක භටයන් දෙදෙනකුන් හෝ තිදෙනකුන් කැටුව යෑමට ඔහුට වුවමනා විය.

මදුරාසියේ දී බාලසිංහම් තමන් හා එක්වීම ද ප්‍රභාට අවශ්‍ය විය. ඔහුට තම බිරිඳ හා දරුවන් දෙදෙනා මදුරාසියට කැටුව යෑමට ද වුවමනා විය. එහිදී තමන්ගේ දෙමාපියන් දැක බලා ගැනීමට තම බිරිඳට හා දරුවන්ට අවස්ථාව සලසා දීමට ප්‍රභාකරන් බලාපොරොත්තු විය. නවදිල්ලිය බලායෑමට කලින් තමිල්නාඩු මහ ඇමැති එම්.ජී.ආර්. බැහැදැකීමට තමන්ට වුවමනා බවද ඔහු කියා සිටියේය. ඉන්දීය රජය මේ ඉල්ලීම්වලට එකඟ වූ අතර කොළඹ ආණ්ඩුවේ අවසරය ඇතිව ඉන්දියානු හෙලිකොප්ටර් යානා දෙකක් යාපනය බලා පියාසර කිරීමට පියවර ගනු ලැබිණි.

ඉන්දියාවට ගොඩබට පසුව මදුරාසි ගුවන් තොටුපොළෙහි වූ ඉන්දියානු ගුවන් සේවයේ මගී විවේකාගාරය තුළ ප්‍රභාකරන් විනෝදකාමී විලාසයකින් පසු වනු දක්නට ලැබිණි. එහිදී හාර්දීප් සිං පූරී හා ඔහු එක්ව දිවා ආහාර ගැනීමට ගියහ. කොටි නායකයා ඔහු කැමති දෙයක් ඇණවුම් කරතැයි කියමින් පූරි තමන්ට කුකුල් මස් ව්‍යංජනයක් සමග බත් ගෙන එන ලෙස දැනුම් දුනි. තිරිඟුවලින් සාදනු ලබන උතුරු ඉන්දියානු පැතලි පාන් විශේෂයක් වන චපාතිවලට තමන් වඩා කැමති යයි ප්‍රභාකරන් පැවසීය. “මම බත් කන්නෙ නැත්තේ කොකා ගස්සන ඇඟිල්ලට ඒක නරක විදිහට බලපාන නිසායි.” ඔහු මැඩගත් සිනහවකින් යුතුව පැවසීය. ජේ.එන්. ඩික්සිත් මහතා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන සමයේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයා හාර්දීප් සිං පූරි වර්තමාන නරේන්ද්‍ර මෝදි රජයේ ඇමැතිවරයෙකි.

ඉහත කරුණු අඩංගුවන්නේ “ප්‍රභාකරන් – දුරවබෝධ මනසක ඇතුළාන්තය” යන කෘතියේය. එදා කොකා ගස්සන ඇඟිල්ල ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් චපාති ආහාරයට ගත් මේ ත්‍රස්ත නායකයා අවසානයේ ඉන්දීය අගමැති රජීව් ගාන්ධිගේ ජීවිතයත් බිලිගත්තේය. ලංකාවේ ප්‍රශ්නයට මැදිහත් වී ඉන්දියාව හොඳ පාඩමක් ඉගෙන ගත්තේය. මෙරටට ඉන්දීය හමුදා ගොඩබස්වා සිදු වූයේ මහත් විපතකි. ඉන්දීය සෙබළුන් 1200ක් මරණයට පත්වූ නිසාම මේ මෙහෙයුම් හඳුන්වන්නේ ඉන්දියාවේ වියට්නාම අත්දැකීම ලෙසය.

අතීත මතක කෙසේ වෙතත් හරියටම මීට වසර 15කට පෙර ප්‍රභාකරන්ගේ දේහය නන්දිකඩාල් කලපු තීරයේදී හමුවිය. රට විනාශ කළ ත්‍රස්ත නායකයා ලංකා හමුදාවේ විජයබා බල ඇණියේ සෙබළකුගේ වෙඩි ප්‍රහාරයට ගොදුරුව අවසන් ගමන් ගොස් තිබිණි. මහා වීරත්වයට පත්කර සිටි කොටි නායක ප්‍රභා කිසි විටක සිය ග්ලොග් පිස්තෝලයෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගත්තේ නැත. ළමා සොල්දාදුවන්ට පවා සයනයිඞ් පැළඳි මේ ඊනියා ත්‍රස්ත නායකයා සිය සයනයිඩ් කරල හපා කෑවේ ද නැත. ප්‍රභාකරන්ට සිය මරණීය උණ්ඩය වැදී තිබුණේ නළලේ වම් පැත්තට වන්නටය.

යුද හමුදාව මැයි 19 වැනිදා උදාවන විටත් සොයමින් සිටියේ ප්‍රභාකරන්ගේ මළසිරුර ය. ඒ අතරේ අලුයම නන්දිකඩාල් කඩොලාන කැලේ දෙසට මුත්‍රා කිරීමට ගිය විජයබා පාබල රෙජිමේන්තු සෙබළකු විශේෂ යමක් දුටුවේය. ඒ යම් පිරිසක් කඩොලාන කැලේ සැඟව සිටින බවයි. අලුයම එකට පමණ අහේතුකව ඇසුණු වෙඩි හඬක් ගැන ඒ වනවිටත් හමුදා නිලධාරියෝ විමසිලිමත්වීම අරඹා සිටියහ. විජයබා පාබල රෙජිමේන්තු ලුතිනල් ජී.එච්.ඩී. නාලකගේ නායකත්වයෙන් සැරයන්වරුන් වන ටී.එම්. මුතුබණ්ඩා සහ එච්.පී. විජේසිංහ ඇතුළු සෙබළ කණ්ඩායම් දෙක සැඟව සිටින පිරිසට ප්‍රහාර එල්ල කරන්නට පටන්ගත් අතර එය පැය කිහිපයක් පැවතිණි. සතුරු පාර්ශ්වයෙන් ප්‍රහාර එල්ලවීම ක්‍රමයෙන් නතර විය. ඒ වන විට උදෑසන 9.45 පමණ වී තිබිණි. ඇත්තෙන්ම හමුදා ප්‍රහාරය හමුවේ ප්‍රභාකරන් වටා සිටි ආරක්ෂකයන්ගේ උණ්ඩ අවසන් වී තිබිණි. එවැනි සටනකට අවි ආයුධ හෝ පතුරොම් සැපයීම සඳහා එල්ටීටීඊ සැපයුම් අංශයක් ද ඒ වන විට ඉතිරිව නොතිබිණ. ඉදිරියට ඇදුනු විජයබා සෙබළු සටන් පැවති ප්‍රදේශයේ එකිනෙක මළසිරුරු ඔසවා බැලූහ. කලපුවේ දිය මතට මුණින් අතට එබී තිබූ හැඩිදැඩි මළ සිරුරක් ඒ අතර විය. ඔහුගේ හිසට සහ නළලට වෙඩි වැදී තිබුණි. ප්‍රභාකරන් සොයමින් සිටි සෙබළෙක් මළසිරුරේ මුහුණ ඔසවා බැලුවේ මේ අතරය. ඒ පෙරවරු 10.03ට පමණය. රැවුල සහිත මළ සිරුර ප්‍රභාකරන්ගේ බවට එහි වට වූ කුඩා සෙබළ කණ්ඩායම බැලූ බැල්මටම හඳුනාගත්හ. ඒ වනවිටත් මරණාසන්න තුවාල සිදු වූ හිසෙන් ලේ ගලමින් තිබුණි. සියලු හඳුනා ගැනීම්වලින් පසු දහනම වැනි දා මැදියම් රැය උදා වන විට හමුදා සෙබළු ප්‍රභාකරන්ගේ අළු මුලතිව් මුහුදේ දිය කොට හැරියහ. මේ 19 වැනිදා සිදු වූ කතාව කෙටියෙනි.

ඇත්තෙන්ම වෙඩිවදින අවස්ථාවේ ප්‍රභාකරන් සිටියේ සිය සුපුරුදු කොටි ඇඳුමින් සැරසී නම් නොවේ. මැයි 17 වැනිදා වනවිට නන්දිකඩාල් කලපුව තුළ කණ්ඩායම් තුනක් ලෙසට එල්. ටී. ටී. ඊ. නායකයෝ ස්ථානගත වී සිටියහ. බාබු හා සුසෙයි එක් කණ්ඩායමක් ලෙසත් පොට්ටු අම්මාන් ඇතුළු පිරිස තවත් කණ්ඩායමක් ලෙසත් ප්‍රභාකරන් ඇතුළු පිරිස තවත් කණ්ඩායමක් ලෙසත් කලපුව අවට ස්ථානගත වී සිටියහ. 19 වැනිදා පෙරවරුවේ නන්දිකඩාල් කලපුව අසල වැටී තිබූ ප්‍රභාකරන්ගේ සිරුර පමණක් නොව බිරිඳ මෙන්ම දියණිය ද්වාරකාගේ සිරුරුත් පසුව සොයා ගැනීමට හැකි විය. චාල්ස් ඇන්තනීගේ දේහයත් මැයි 17 වනවිටම සොයාගෙන තිබිණි. හිට්ලර්ගේ මරණය සේම ප්‍රභාකරන්ගේ මරණය ද විශ්වාස නොකරන පිරිසක් කොටි හිතවාදීන් අතර විය. ඒ 2009 මැයි මාසයේදී ය. නමුත් දැන් නම් එවන් කණ්ඩායම් ගැන අසන්නට නොලැබේ.

ප්‍රභාකරන් උපත ලැබුවේ 1954 නොවැම්බර් මස 26 වැනිදාවකය. පිරිමි දරුවන් දෙදෙනකුගෙන් හා ගැහැනු දරුවන් දෙදෙනකුගෙන් යුතු පවුලේ බාලයා වූයේ ඔහුය. කුඩා කාලයේ ආදරයට ඔහු හැඳින්වූයේ තම්බි (මල්ලි) යන සුරතල් නමිනි. ළමාවියේ ප්‍රභාකරන්ගේ ප්‍රියතම ක්‍රීඩා වූයේ පාපන්දු, වොලිබෝල් හා බයිසිකල් පැදීමය. එහෙත් ඔහු ක්‍රීඩාවේ දක්ෂයකු නොවූ හෙයින් පොතපත කියවීමට හා ක්‍රියාදාම චිත්‍රපට නැරඹීමට යොමු වූයේය. කුඩා අවධියේ පටන් ඔහු සත්ව හිංසකයෙක් විය. ලේනුන්, කටුස්සන්, කුඩා පක්ෂීන් ඔහුගේ කැටපෝල පහරින් ගැලවුණේ නැත. ඔහුට පැහැදිලි මතකයක් තිබිණි. ඔහුගේ දෙනෙත නිතර දිදුළමින් තිබූ අතර කථාබහ කරන විට නිරතුරුව අවට බලමින් විමසිලිමත් ලෙස කථා කළේය.

කොටි සංවිධානය නිල වශයෙන් ආරම්භ වූයේ 1976 මැයි 5 වැනි දිනය. යාපන දිස්ත්‍රික්කයේ එක්තරා රහසිගත ස්ථානයකට රැස්වූ 40ක් 50ක් පමණ වූ තරුණ පිරිසක් එල්.ටී.ටී.ඊ. සංවිධානය බිහි කළහ. එහි නායකයා වූයේ උමා මහේස්වරන්ය. සන්නද්ධ නායකයා වූයේ ප්‍රභාකරන්ය. කොටි සංවිධානය ආරම්භ කර වසර තිස්තුනකට පසුව එළඹුණු මැයි මාසයකම එය නැවත නොනැගිටින ලෙස විනාශයට පත්විය.

මීට වසර 19 කට පෙර එනම් 2005 වසරේ නොවැම්බරයේදී කොටි නායක ප්‍රභාකරන් සිය 51 වැනි උපන් දිනය සමරුවේ නිරාහාරවය. එය ආගමික විශ්වාසයක් මත සිදු කළා ද එසේ නොවේ නම් සිය මියගිය සටන් සඟයන් සිහි කිරීම වෙනුවෙන් සිදු කළ උපහාරයක් දැයි අපි නොදනිමු. ඒ ගැන නිවැරදිව කියන්න දන්නා කිසිවෙක් වර්තමානයේ ජීවතුන් අතර ද නැත. කෙසේ නමුත් ඒ කාලයේදී ප්‍රභාකරන් වන්නි කැලයේ සැඟවී සිටිමින් සිදුකරන මහා විරු ප්‍රකාශය ගැන නම් උතුර පමණක් නොව දකුණේ ජනතාව ද අවධානය යොමු කළේ එය රටේ පමණක් නොව තමන්ගේ මනුෂ්‍ය ජීවිතයට කෙළින්ම බලපාන බැවිනි. මේ ත්‍රස්ත නායකයා රටේ කොතැනක කවර වෙලාවක කවර විනාශයක් සිදු කරයිද නැද්ද යන්න පිළිබඳ විශ්වාසයක් නැති නිසා මහවිරු ප්‍රකාශයෙන් කියන්නේ කුමක්දැයි යන්න දැනගැනීම වැදගත් විය.

2005 මහවිරු ප්‍රකාශය සිදු කරමින් ප්‍රභාකරන් සිංහලයන්ගේ මහාවංශ මානසිකත්වය නිග්‍රහයට ලක් කළේය. සිංහලයන්, ශ්‍රී ලංකාව තමන්ට පමණක් වෙන්කර ගැනීම මේ දෙමළ නාසිවාදී ත්‍රස්ත නායකයාගේ දැඩි විවේචනයට ලක් විය. 2006 මහවිරු ප්‍රකාශය සිදුකරමින් ප්‍රභාකරන් පැවසුවේ කුමක්ද? තමන්ට ඊළම පිහිටුවීම හැර අන් විකල්පයක් නොමැති බවයි. එදා ඊළම පිහිටුවනවා යැයි ප්‍රභාකරන් වහසි බස් දෙඩුවේ දකුණේ ආණ්ඩුව අපහසුතාවට පත් කරන්නටය. ප්‍රභාකරන්ගේ ඊළාම් ප්‍රකාශ උපුටා දක්වමින් දකුණේ ඊනියා කොටි ඒජන්තයෝ ද සිංහල ජනයා බිත්තියට හේත්තු කරන්නට උත්සාහ ගත්හ. යුද්ධයෙන් කොටි පැරදිය නොහැකි බවට මරහඬ තලන්නට වූහ. 2008 නොවැම්බර් මාසයේදී ප්‍රභාකරන් සිය අවසන් මහවිරු ප්‍රකාශය සිදුකරමින් සඳහන් කර සිටියේ කුමක්ද? කිළිනොච්චියට ඇතුළුවීම රාජපක්ෂ ආණ්ඩුවේ දවල් හීනයක්ම පමණක් වන බවයි. නමුත් එම ප්‍රකාශයෙන් දින 140 කට පසුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජයග්‍රාහී විලාසයෙන් කිළිනොච්චියේ සංචාරය කරනු දක්නට ලැබිණි. එවිට ප්‍රභාකරන් පුදුමාතලන්වල සැඟවී සිටියේය. දෙමළ ජනතාව ලක්ෂ ගණනින් හමුදාව දෙසට පැමිණෙමින් සිටියේ මීට වසර 15කට පෙර අප්‍රේල් මාසයේ දෙවැනි සතියේදීය.

පළමු ලෝක යුද්ධය පැවැතියේ වසර හතරක් පමණි. දෙවැනි ලෝක යුද්ධය වසර හයකින් නිමා විය. එහෙත් දෙමළ ඊළමක් සඳහා වූ ත්‍රස්ත යුද්ධය වසර 33ක් ඇදී ගියේය. දෙමළ ජනතාව මරණය, වේදනාව, අවිශ්වාසය, අවතැන්වීම වැනි විෂම චක්‍රයක කොටස්කරුවෝ බවට පත්වූහ. එහි අවාසනාවන්තම ප්‍රතිඵලය වූයේ විශාල පිරිසක් රටහැර යෑමය. උතුරු – නැඟෙනහිර පළාත්වල ඉතිරි වූයේ සමස්ත දෙමළ ජනගහනයෙන් 48%ක් වැනි ප්‍රමාණයකි. කොටි නායකයා සූදු අන්තුවකු පරිද්දෙන් දෙමළ ඊළමක් සඳහා සමස්ත දෙමළ ජනතාවගේ ජීවිත උගසට තැබීමට ක්‍රියා කළේය. ඔහු හැසිරුණේ තම තම අනුගාමිකයින්ට යුද කිරීම හෝ මරණය තෝරා ගැනීම විනා වෙනත් විකල්පයක් ඉතිරි නොවන පරිදිය. මේ වසර තිහක ඛේදය නිසා බොහෝ දේ විනාශ වූයේ සිංහලයන්ටත් වඩා දෙමළ ජනතාවට බව පැහැදිලි කරුණකි. ඇත්තෙන්ම ප්‍රභාකරන් විසින් දෙමළ ජනතාවට සිදු කළ මහා ව්‍යසනය බොහෝ කාලයක් ගතවන තෙක් නොමැකී පවතිනු ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment