ගිනි අව්වේ වැඩ කරන ගැබිනියන්ගේ දරු ගැබ විනාශ වීමේ අවදානම වැඩි වෙයි – ඉන්දීය පර්යේෂකයෝ කියති

38

මෙම දිනවල පවතින අධික උෂ්ණත්වයට නිරාවරණය වෙමින් එළිමහනේ සිය රාජකාරි කටයුතුවල නිරත වන ගර්භණී කාන්තාවන්ගේ දරු ගැබ ගබ්සා වීමේ හා මළ දරු උපත් වාර්තා වීමේ අවදානම දෙගුණයකින් වැඩි වී ඇති බව ඉන්දියාවේ සිදු කරන ලද නවතම පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන් 800ක් පමණ දෙනා යොදා ගෙන වසර 2017 සිට සිදු කරගෙන පැමිණි පුළුල් පර්යේෂණයක දී මෙම කරුණ අනාවරණය වී තිබේ. මෙම පර්යේෂණයට ලක් වූ අධික උෂ්ණත්වය සහිත කාලගුණයට නිරාවරණය වෙමින් සිය රාජකාරි කටයුතු කළ ගර්භණී කාන්තාවකගේ සති 12ක් වූ දරු ගැබ ගබ්සා වී ඇති බව ද වාර්තා වී තිබේ.

අධික උණුසුම් කාලගුණයකට නිරාවරණය වෙමින් සිය රාජකාරි කටයුතු සිදු කරන කෘෂිකාර්මික, ගඩොල් තනන ස්ථාන, ලුණු ලේවායන් ඇතුළු එළිමහන් ස්ථානවලට අනුයුක්ත ගර්භණී කාන්තාවන් මෙහිදී සිය, දරු ගැබ ගබ්සා වීමේ හා මළ දරු උපත් ඇති වීමේ අවදානමට මුහුණ පාන බවත් රෝහල්, පාසල් ඇතුළු ආවරණය වූ ස්ථානවල සේවය කරන ගර්භණී කාන්තාවන්ද අධික උෂ්ණත්වයට නිරාවරණය වුවහොත් මෙම අවදානමට මුහුණ පෑ හැකි බව වෛද්‍ය පර්යේෂකයෝ සඳහන් කරති.

තමිල්නාඩුවේ චෙන්නායි නගරයේ පිහිටි උසස් අධ්‍යාපනය හා පර්යේෂණ කටයුතු පිළිබඳ ශ්‍රී රාමචන්ද්‍ර ආයතනය විසින් සිදු කර ඇති මෙම පර්යේෂණයට අනුව මෙතෙක් අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් ගර්භණී මවුවරුන්ට සිදු වනු ඇතැයි වෛද්‍යවරුන් විසින් කලින් සිතා සිටි හානියට වඩා වැඩි හානියක් සිදු වීමේ අවදානමක් වර්තමානයේ පවතියි. මෙම පර්යේෂණය සිදු කළ පර්යේෂකයන්ට අනුව මෙම තත්ත්වය අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් නිතර පවතින රටවල කාන්තාවන්ට පමණක් නොව එක්සත් රාජධානිය ඇතුළු ශීත දේශගුණයක් පවතින රටවල කාන්තාවන්ට ද එකසේ බලපෑම නිසා ගෝලීය වශයෙන් මෙසේ අධික උෂ්ණත්වයට නිරාවරණය වෙමින් සිය රාජකාරි කටයුතුවල නිරත වන ගර්භණී කාන්තාවන් සඳහා සෞඛ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කිරීමට බලධාරීන් විසින් වහා කටයුතු කළ යුතුව තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment