විජයදාසගේ පනත ඉල්ලා අස්කර ගන්න – සුදර්ශනී ඇතුළු මන්ත්‍රීවරියන්ගේ සංසදය ලියයි

206

දණ්ඩ නීති සංග්‍රහයේ 19 වැනි පරිච්ජේදය සංශෝධනය කිරීම සඳහා පසුගිය පෙබරවාරි 09 වැනිදා ගැසට් කොට ඇති පනත් කෙටුම්පත වහා අත්හිටුවන්නැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.

1995 වසරේදී දණ්ඩනීති සංග්‍රහයට සිදු කරන ලද සංශෝධනයන්ට අනුව මෙරට අවුරුදු 16කට අඩු දැරිවියක් ස්ව කැමැත්තෙන් ලිංගික සම්බන්ධතා පැවැත්වුවද, එය ස්ත්‍රී දූෂණයක් යටතට ගැනෙන අතර අධිකරණ ඇමැතිවරයා විසින් දණ්ඩනීති සංග්‍රහයට ගෙන ඒමට යෝජිත සංශෝධනය මගින් එම වයස් සීමාව අවුරුදු 14 දක්වා පහත දැමීමට නියමිතය.

එනිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිවරිය වශයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 364 වගන්තියට යෝජිත සංශෝධනය පිළිබඳව තම දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බව සඳහන් කරන සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය 364 වගන්තියට යෝජිත සංශෝධන සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු කරුණුවලට අදාළ විස්තර සිය ලිපිය සමග ඉදිරිපත් කරන බවද දන්වා සිටී.

එබැවින්, දණ්ඩ නීති සංග්‍රහයේ 364 වැනි වගන්තිය සංශෝධන කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් ඉල්ලා සිටින බව ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

එමෙන්ම මෙරට කාන්තාවන් සහ ළමුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ලෙසත් ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි ජනගහනය සඳහා යුක්තිය තහවුරු කරන ලෙසත් මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ද මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු හෝ විකල්ප යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සිය සංසදය ඕනෑම අවස්ථාවක සූදානම් බව ද ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තවදුරටත් සිය ලිපිය මගින් දන්වා සිටී.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment