ප්‍රසන්නගේ පෙත්සමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

13

බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ව්‍යාපාරිකයකු බියකර රුපියල් මිලියන 64ක මුදලක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කර මහාධිකරණය විසින් නියම කළ අත්හිටවූ සිරදඬුවම්, දඩ හා වන්දි නියෝග බලරහිත කරන ලෙස ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගොනු කර තිබූ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන මස 4 වැනිදා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (26දා) දින නියම කළේය.

එම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා බී. ශෂි මහේන්ද්‍රන් යන මහත්වරුන් හමුවේදී කැඳවිණි. එම පෙත්සම ලබන මස 4 වැනිදා මේනකා විජේසුන්දර, සම්පත් විජේරත්න, පී. කුමාරත්නම්, සම්පත් අබේකෝන් හා මායාදුන්නේ කොරයා යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවීමට නියමිතය.

විත්තිකාර අභියාචක වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය. ඉදිරිපත්වූ විමර්ශන වාර්තා සලකා බැලූ නීතිපතිවරයා විසින් ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා 15 ක් ගොනු කර නඩු පවරා තිබිණි. එම නඩුව විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩුවේ පළමු වන විත්තිකාර ප්‍රසන්න රණතුංග මහතා අධිචෝදනා පත්‍රයේ 13 වන චෝදනාවට වරදකරු කර වසර පහක අත්හිටවූ බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවම් නියම කොට තිබිණි. එයට අමතරව ඔහුට මිලියන 25ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා පැමිණිල්ලේ පළමු වන සාක්ෂිකාර ගිහාඩ් මෙන්ඩිස් නමැත්තාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසට ද 2022.06.06 වැනිදා නිකුත් කළ එම තීන්දුව මගින් නියමකොට තිබිණි. එකී දඬුවම් නියෝග විශේෂයෙන් තමන්ට නියම කළ දඩ මුදල අහෝසි කරන ලෙස ප්‍රසන්න රණතුංග මහතා සිය ප්‍රතිශෝධන අයැදුම මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment