පාතාලය අතුගා දමනවා – දක්‍ෂ පොලිස් නිලධාරීන්ට ඉහළට එන්න පාර හදනවා

484

36 වැනි පොලිස්පති ලෙස වැඩ භාරගනිමින් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් කියයි
අභූත චෝදනාවලින් මම ශක්තිමත් වුණා වෙනසකට ලෑස්ති වෙන්න
අභියෝගවලට මුහුණදෙන නිලධාරීන් ආරක්‍ෂා කරනවා

මාගේ අධිෂ්ඨානය ශ්‍රී ලංකාවෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමයි. ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින සැබෑ දක්‍ෂ නිලධාරීන්ට ඉහළට එන්න අවශ්‍ය පරිසරය සකස්කර දී දැවැන්ත පරිවර්තනයක් ඇති කිරීමය යැයි නව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ඊයේ (29දා) පොලිස් මූලස්ථානයේදී කියා සිටියේය.

පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස ඊයේ සුබ මොහොතින් සිය ධුරයේ වැඩභාර ගත් දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස් මූලස්ථානයේදී රැස්ව සිටි ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් අමතමින් එසේ කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා මෙසේද කීය.

මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ පහළම ශ්‍රේණියේ නිලධාරියාගේ සිට සෑම නිලධාරියකුටම ශක්තිය ධෛර්ය රැකෙන ආකාරය පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැවැන්ත පරිවර්තනයක් කරනවා. ඒ වගේම සැබෑ දක්‍ෂ නිලධාරීන්ට ඉහළට එන්න අවශ්‍ය පරිසරය සකස්කර දීලා පොලිස් දෙපාර්තමේන්තුව තුළ සැබෑ වෙනසක් සිදුකිරීමට කටයුතු කරන බව නව පොලිස්පතිවරයා කියා සිටියේය. විවිධ පාර්ශ්වයන් විසින් මට කරපු අභූත චෝදනා නින්දා අපහාස නිසා තමයි මම මේ තරම් ශක්තිමත් වුණේ. ඒ අභියෝගවලට මුහණ දෙන්න හුරුවුණා. ඒ වගේම මේ වගේ අභියෝගවලට මුහුණ දීලා වැඩකරන නිලධාරීන් මම ආරක්‍ෂා කරනවා. ඒ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා, මොකද මමත් පොළොවෙ පහගහලා හිටිය නිලධාරියෙක්.

1998 වර්ෂයේදී මම සහකාර පොලිස් අධිකාරිවරයෙක් විදිහට සේවයට එක්වුණා. මේ වෙනකොට අවුරුදු 26 ක කාලයක් පොලිස් සේවය සම්පූර්ණ කරලා තියෙනවා.

සහකාර පොලිස් අධිකාරි ධුරයේ සිට සෑම නිලයකම රාජකාරි කරමින් අත්දැකීම් පලපුරුද්ද ලබාගෙන අද මම පොලිස්පතිවරයා ලෙස පත්වෙලා ඉන්නවා. මම රාජකාරි කළේ පොලිස්පතිවරයෙක් වෙන්න සිහින දකිමින් නොවෙයි. ඒත් අද මම මගේ දක්‍ෂතාව සහ හැකියාව නිසා ඒ තනතුර ලබන්න සුදුසුකම් ලැබුවා යැයි නව පොලිස්පතිවරයා ලෙස පත්වූ දේශබන්ධු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

නව පොලිස්පතිවරයා වැඩභාර ගැනීමේ උත්සවයට සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

හිටපු ක්‍රිකට් නායකයෙක් වන අරවින්ද ද සිල්වා සහ සනත් ජයසූරිය යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment