පාර්ලිමේන්තුව – ආයුර්වේදයේ ප්‍රතිකාර හා ඖෂධ විද්‍යාත්මකව ලෝකයට ගෙන යෑමට ක්‍රියා කරනවා – ඇමැති රමේෂ් පතිරණ

124

බුදු දහමයි – දේශීය වෙදකමයි ලෝකයට දෙන්න පුළුවන් අපේ අනන්‍යතාවයි
රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි

ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේද හා ඖෂධ නිෂ්පාදනය විද්‍යාත්මකව ලෝකයට බෙදාහැරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගෙන ඇති බව සෞඛ්‍ය හා කර්මාන්ත සංවර්ධන ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (01දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ආයුර්වේද පනත යටතේ වන නියෝග පිළිබඳව ඊයේ පැවැති විවාදයට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවැසීය.

“කොවිඩ් සමයේ ලංකාවේ ඉතා හොඳ එන්නත්කරණ වැඩපිළිවෙළක් දියත් වුණා. ඒ නිසා ජීවිත විශාල ප්‍රමාණයක් ආරක්ෂා වුණා. එන්නත් ලබාගන්නේ නැතිව පාරම්පරික ක්‍රම භාවිතා කරලත් ජීවිත විශාල ප්‍රමාණයක් රැකගන්න එදා හැකි වුණා. ලෙඩ රෝගවලින් බේරුණා. සමහර ස්ථානවලදී උසුළු විසුළුකම්වලට ලක් කළත් පාරම්පරික ක්‍රමවේදවලට ගරු කළ යුතුයි.

ලංකාවේ ආයුර්වේද ඖෂධ ක්‍රම හොඳ දේවල්

රැසක් තියෙනවා ප්‍රතිකාර හොඳයි. නමුත් විද්‍යාත්මකව මේ ඖෂධ ලොව හමුවේ ප්‍රචාරය කිරීමට පදනමක් නෑ. එය එක පැත්තකින් පාඩුවක්.

ඒ නිසා විද්‍යාත්මක ක්‍රම හරහා දේශීය ඖෂධ නිෂ්පාදනය කරලා ලෝකයට බෙදාහැරිය යුතුයි. අද සම්මත කරන රෙගුලාසි ඊට පිටුවහලක් ලැබෙනවා.

පසුගිය වසර 70ක කාලය තුළ බටහිර වෛද්‍ය සේවයේ හා දේශීය වෛද්‍ය සේවය තුළ ලංකාවේ සෞඛ්‍ය සේවය ඉදිරි පිම්මක් ලබා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධායකයෝ සඳහන් කරනවා.

සෞඛ්‍ය සේවා කටයුතු සඳහා 2024 වර්ෂය සඳහා රුපියල් බිලියන 410ක් වෙන්කර තිබෙනවා. ලංකාවේ මෙතෙක් ලබාදුන් වැඩිම මුදල මෙයයි. ඒ යටතේ ඖෂධ මිලදී ගැනීමට රුපියල් බිලියන 180ක් වෙන්ව පවතිනවා. විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළ ඖෂධ ජනතාවට ලබාදෙනවා. හදිසි මිලදී ගැනීම් ක්‍රියාවලිය අපි නවත්වා තිබෙනවා.”

රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල්,

“දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ආහාර රටාව පිළිබඳ පුළුල් දැක්මක් තිබෙනවා. ආහාරය ඖෂධයක්. ඒ තුළින් නිරෝගී දිවිපැවැත්මක් ඇති වෙනවා. අපේම වූ ආහාර රටාවක් නිකුත් කිරීමේ වගකීමක් තියෙනවා. චීනයේ ජපානයේ එය තියෙනවා. අනපනත් හෝ රාජ්‍ය ආයතන වෙතින් මෙය ආරම්භ කළ යුතුයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ වනවිට හිරභාරයට පත්වී තිබෙනවා. කූරගල වසර 2000කට වඩා ඉතිහාසයේ තිබෙන සිද්ධස්ථානයක් පුරාවිද්‍යාත්මක දේවල් විනාශ කරලා ගොඩනැඟිලි හදනවා. මේවා සිදුවන විට හදවතට කනගාටුවක් ඇති වෙනවා. මුස්ලිම් අන්තවාදය කූරගල විනාශ කරන විට රට තුළ විරෝධයක් ආවා. මේ මොහොත වනවිට අන්තවාදය අවසන් වෙමින් පවතිනවා. අන්තවාදය ලංකාවට එනවා කියලා පෙන්නුවේ ඥානසාර හිමියන් උන්වහන්සේට ජනාධිපති සමාව දීම ඉතා වැදගත්. හිටපු ජනාධිපතිතුමා උන්වහන්සේ සමාව දුන්නා. ජනාධිපතිගේ අවධානය මීට යොමු කරනවා.”

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ. සී. අලවතුවල (සජබ),

“වසර 63කට පසුවයි ආයුර්වේද පනත සංශෝධනය වන්නේ. ආයුර්වේදය හා හෙළ වෙදකම එකටම යා යුතුයි.

රෝහල්වලට ප්‍රමිතියෙන් තොර බෙහෙත් ආවා. රෝගීන් මැරුණා. මේ බෙහෙත් මිලදී ගන්න ක්‍රමවේද ගණනාවක් තියෙනවා. ඒවා අනුගමනය විය යුතුයි.

ආයුර්වේදයේ බෙහෙත් වර්ග හා අමුද්‍රව්‍ය ඉන්දියාවෙන් ගෙන්වනවා. ඒවාට ප්‍රමිතියක් අවශ්‍යයි. ප්‍රමිතිය සම්බන්ධව රෝගීන්ට ප්‍රශ්න තියෙනවා.

නිවැරැදි ක්‍රමවේදයට ප්‍රමිතියට එම ඖෂධ ලබාගත යුතුයි. ආයුර්වේදය හා හෙළ වෙදකම දියුණු කිරීම මගින් සංචාරක ව්‍යාපාරයටත් පිටුවහලක් වෙනවා.”

රාජ්‍ය ඇමැති සීතා අරඹේපොළ,

“ආයුර්වේද ප්‍රතිකර්ම ක්‍රමය ලොව ප්‍රචලිත කිරීමට අමාත්‍යාංශ විශාල කාර්යයක නිරත වෙලා සිටිනවා. නව පනත් තුළින් එම කටයුතු තවත් ශක්තිමත් වෙනවා. ප්‍රමිතියක් ඇති කිරීම ඖෂධ සඳහා ඉතා අවශ්‍යයි. අපේ රටට හොඳ දේ පමණක් ලබාගත යුතුයි.

ලෝකයේ ආයුර්වේද ප්‍රතිකර්ම ක්‍රම රටවල් දියුණු කරන්න උපකාරි වෙනවා. ඉන්දුනීසියාවේ බාලි දූපත ඊට උදාහරණයක්. නියාමනයක් සහිත හොඳ සෞඛ්‍ය සේවයක් බවට ආයුර්වේදය පත් විය යුතුයි.”

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි කාවින්ද ජයවර්ධන (සජබ),

“රටේ ජනතාව ආයුර්වේද ක්‍රමවලට නැඹුරු වී තියෙනවා. එම ප්‍රතිකර්මවලට යම් ප්‍රමිතියක් අවශ්‍යයි. සමහර තෙල් වර්ග භාවිතා වෙනවා. එහි ගුණ අගුණ පිළිබඳ දැනීමක් අවශ්‍යයි.

කෙහෙලිය ඇමැති සමයේ සෞඛ්‍ය සේවය කඩා වැටුණා. අපි ඒ පිළිබඳව රටට හෙළි කළා. ටෙන්ඩර් නැතිව හොරට බෙහෙත් ගෙනාවා. මේකට තමයි විශ්වාසභංග ගෙනාවේ. බාල බෙහෙත් නිසා මියගිය අයට වන්දි ගෙවීමක් සිදුව නෑ. ජනතාවට අසාධාරණ සිදුවුණා.

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ අයට සාධාරණය ඉටු කරන බවට ආණ්ඩුව කීවත් එය සිදුවුණේ නෑ. ඇඬූ කඳුළින් ඉන්න මිනිස්සුන්ගේ තවත් හිත පාරන්න හිටපු ජනාධිපති ක්‍රියා කළා. ඔහුට පාර්ලිමේන්තුවේදී මහ මොළකරු හෙළි කළ හැකියි. මේ ප්‍රහාරය එල්ල කළේම දේශපාලන අරමුණක් ඉටු කරගැනීමටයි.”

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි විජිත හේරත් (ජාජබ),

“කංසා ඖෂධයක් ලෙස වගා කරන්න ඉඩ දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් ආවා. මේක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. කංසාවල ප්‍රභේද දෙකක් තියෙනවා. ආයුර්වේදයට නියාමනයක් අවශ්‍යයි. ආයුර්වේද පනතට මුවා වෙලා ජාවාරම් කරන්න ව්‍යාපාරිකයන් පිරිසක් උත්සාහ කරනවා. මෙහි නියාමනය විනිවිද විය යුතුයි.

රටේම වෛද්‍යවරුන්ගේ හිඟයක් තිබියදී දහසක් පමණ උපාධිධාරීන් එළියෙ බලා සිටිනවා. බොහෝ ආයුර්වේද රෝහල්වල බෙහෙත් නෑ. උපකරණ නෑ. කාර්ය මණ්ඩලය අඩුයි. ආයුර්වේද රෝහල් දැඩි අවදානමක තිබෙන්නේ බටහිර වෛද්‍යවරුන්ට ලැබෙන සහන ආයුර්වේද වෛද්‍යවරුන්ටත් හිමිවිය යුතුයි.”

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි ලලිත් මංජු වර්ණකුමාර (ශ්‍රීලපොපෙ),

“සමහරු කංසා ගැන විතරක් කතා කරනවා. දේශීය වෙදකමට භාවිත කළ හැකි ශාක වර්ග අපේ රටේ තිබෙනවා. අපේ වෛද්‍ය ක්‍රමය සාර්ථකව පැවතියා. එය අපෙන් ඉවත් කිරීමට සූක්ෂ්මව යම් බලවේග ක්‍රියාත්මක වෙනවා. ආයුර්වේද සභාව තුළ පාරම්පරික වෛද්‍යවරුන්ට ඉඩක් නෑ.”

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම වීරක්කොඩි (ශ්‍රීලංපොපෙ),

“කඩිමුඩියේ නීති පැනවීම තුළින් නීති අඩුපාඩු ඇති වෙනවා. හදිසියේ සම්මත කරන්න ගිය නීති නිසා රටේ ව්‍යාකූලතා ඇති වී තියෙනවා. පනත සම්මත කරලා මාසයක් යන්න පෙර යළිත් ඊට සංශෝධන ගේන්න යනවා. අදත් දණ්ඩ නීති පනත හකුලා ගත්තා.

ජනපතිවරයා දවසින් දවස බොරු කියමින් රට ප්‍රපාතයට ගෙන යනවා. පාර්ලිමේන්තුවේ පිරිසට සම්මාන හිමි විය යුතුයි කියපු ජනපතිටත් හොඳම රඟපෑමට සම්මානයක් හිමි විය යුතුයි.”

රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි

රටේ දේශීය වෛද්‍ය ක්‍රමයට රටට අපි ද්‍රෝහි වී නෑ. හදවතින්ම කටයුතු කර තියෙනවා.

බුදු දහමත් දේශීය වෙදකමත් විතරයි අපට ලෝකයට දෙන්න පුළුවන්. ඒ තමයි අපේ අනන්‍යතාව. මුළු ලෝකයම අපේ දේශීය වෙදකමේ විශිෂ්ටත්වය අගය කරනවා. ඒ විශිෂ්ටත්වය ලෝකයට දෙන්න ක්‍රියාපටිපාටියක් නෑ. යමක් කරන්න හැදුවාට සමාජය සම්ප්‍රදායක දුෂ්ඨියෙන් බලනවා.

පාරම්පරික වෛද්‍ය ක්‍රම සුරක්ෂිත කිරීමට අපි ඒකකයක් හදලා වෙන් වෙන්ව ක්‍රියාත්මක කරනවා. පාරම්පරික වෛද්‍ය සේවය පිළිබඳ දිනෙන් දින වැඩි ඇගයීමක් ඇති වුවත් ආයුර්වේද ඖෂධ අපනයනය කර ගන්නවත් තවම අපට හැකි වී නෑ. අපි මේ බාධක සියල්ල මැඬගෙන ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පවත්වාගෙන යෑමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරමින් ඉන්නවා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment