අරුගම්බේ නොහොත් ආරුගම් බොක්ක (Arugam Bay) පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ ගිනිකොණදිගට වන්නටය. ඒ පොතුවිල් නොහොත් අතීත හැඳින්වීමට අනුව පොතුවිල ට ඉතා ආසන්නයේය. මේ පොතුවිල පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ උතුරේ සිට නැගෙනහිර මායිම දිගේ පහළට ත්‍රිකුණාමලය, මඩකළපුව, ඔස්සේ විහිදෙන මාර්ගයේ අවසන් මාර්ග මංසන්ධිය පිහිටි ස්ථානය වශයෙනි. එතැනින් පහළට මුහුද වෙරළට සමාන්තරව විහිදෙන ප්‍රධාන බස් මාර්ගය පානමෙන් අවසන් වන නමුත් කොළඹ දෙසට විහිදෙන ලාහුගල – සියඹලාණ්ඩුව-මොණරාගල – වැල්ලවාය මාර්ගය පටන් ගන්නේ පොතුවිල් මංසන්ධියෙන් දකුණටය.

සංචාරකයන්ට හිත ගිය සුන්දර අරුගම්බේ…

කෙසේ හෝ අරුගම්බේවලට ඉංග්‍රීසි ආරයේ නමක් ලබන්නට ප්‍රථම මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ “උල්ල” නමිනි. වර්තමානයේ ඉතා සක්‍රීය සංචාරක කේන්ද්‍රස්ථානයක් වන උල්ල නොහොත් අරුගම්බේ “දිය මත ලිස්සා යෑම” එහෙමත් නැත්නම් “ස්ර්ෆින්ග්ස් ක්‍රීඩාවට ශ්‍රී ලංකාවේ නම් දරාපු ස්ථානයකි. එහෙමත් නැතිනම් සර්ෆින්ග්ස් ක්‍රීඩාවට අරුගම්බේ තරම් තවත් තැනක් ලංකාවේ නැත කීවොත් එය නිවැරදිය. මේ නිසාම සංචාරක ගැවසීම අරුගම්බේ ඉතා හොඳය. ඒ නිසාම කලක පටන්ම උණවටුන, හික්කඩුව, ඇල්ල මෙන්ම සංචාරක පුරවරයක් වන අරුගම්බේ නොහොත් උල්ලේ සංචාරක නවාතැන්, හෝටල්වලින් අඩුවක් නැත.

සංචාරකයන්ට හිත ගිය සුන්දර අරුගම්බේ…

මේ දිනවලද අරුගම්බේ ප්‍රදේශයට සංචාරකයන්ගෙන් අඩුවක් නැත. ඒ යුරෝපයේ සීතල තවම පහව ගොස් නැති බැවින් සංචාරක සීසන් එක අරුගම්බේට ඇති නිසාය.

සර්ෆින්ග්ස් ක්‍රීඩාව හැරුණු කොට, ඕනෑ තරම් ස්වභාව සෞන්දර්යය විඳින්නටද අරුගම්බේ අවට කලාපය සංචාරකයන්ට හිත ගිය ප්‍රදේශයකි. අරුගම්බේ සිට තවත් සැතපුම් 17 ක් පමණ ගියවිට හමුවන පානම ගම්මානය හා කලපු, මුහුදු, වැලි කඳු ප්‍රදේශය සංචාරකයන්ගේ හිත ගිය ප්‍රදේශයකි. එසේම එතැන් පටන් තවත් සැතපුම් 17 ක් පමණ ගියවිට හමුවන්නේ සුප්‍රකට “ඔකඳ” දේවාලය පිහිටි මුහුදු කලාපයයි. එහි ඇත්තේ වෙනම ධීවර හා මුහුදු සංස්කෘතියකි. තවද, එතැනින් ඔබ්බට හමුවන්නේ සුප්‍රකට කුමන නොහොත් යාල නැගෙනහිර ජාතික වනෝද්‍යානයයි. ශ්‍රී ලංකානු දිවියා නොහොත් “කොටියා” ඇතුළු අලි – ඇතුන්, ගෝනුන්, මුවන් වැනි නෙක සත්ත්ව අසිරිය විඳින්නට කුමන කියාපු තැනකි.

සංචාරකයන්ට හිත ගිය සුන්දර අරුගම්බේ…

එසේත් නැතිනම්, ශාස්ත්‍රවෙලිය, මුහුදු මහා විහාරය වැනි බෞද්ධ පුරාවිදු බිම් රැසක් මේ අවට බලන්නට ඇත. පොතුවිල් නගරයෙන් උතුරු දෙසට ගිය විට “රොට්ටෙ” සහ “උරණිය” වන අලින් බලන්නට කියාපු තැන්ය. රොට්ටෙ යනු සුවිසල් වැවකි. උරණිය ඔයකින් සම්බන්ධ වන කලපු ප්‍රදේශයකි. මේ දෙකේම වන අලින් යහමින් ගැවසෙති. එසේම උරණිය ඔයේ බෝට්ටු සංචාරයක යෙදෙමින් කඩොලාන වනයේ සහ අවසානයේ වතුරේ බැසගෙන ආහාර සොයන වන අලින් උරණියේ කලපුවේ දැකගත හැකිය. එසේම අරුගම්බේ පාලම පිහිටි කලපු ප්‍රදේශයේද බොහෝ විට වන අලින් දැකගත හැකිය. ඉතා ප්‍රකට ඇතෙක් මේ දිනවල අරුගම්බේ කලපුවේ දිවිගෙවන බැවින් එහි එන සංචාරකයන්ට දැන් නොමිලයේම මේ ඇතා දිනපතා දැකගත හැකිය.

පොතුවිල් නගරයෙන් ඉවත්ව කොළඹ (මොණරාගල) පාරේ එන විටද හමුවන්නේ අපූරු පරිසර පද්ධති රැසකි. තෙර නොපෙණෙන කුඹුරු යාය පසුකර ඉදිරියට ගමන් කරද්දී කිලෝ මීටර් 298-305 ප්‍රදේශවලදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරෙන සුප්‍රකට “ලාහුගල” ජාතික උද්‍යානය හමුවන අතර මාර්ගය දෙපස ඉතා ගණව වැඩුණු රූස්ස වනාන්තරයේ පහස විඳගත හැකිය. එසේම මෙහි ගැවසෙන වන අලින්, නෙක විසිතුරු කුරුල්ලන්, මුවන්, ගෝනුන් විටෙක මාර්ගය දෙපසදීම දැකගත හැකිය. එසේ නැතිනම්, ජාතික උද්‍යාන සීමාවේ උද්‍යාන පිවිසුමෙන් ඇතුළුවී වැව් (සෙන්ගමුව/ලාහුගල මහ වැව/කිතුලාන වැව), ඔය (කරඳ ඔය) සංචාරක නිවාස, කඳවුරු බිම් යනාදියේ පහස ලබන්නට පොතුවිල්, අරුගම්බේ ප්‍රදේශයට යන සංචාරකයන්ට හැකිය. ඉන්ධන, ආහාර ඇතුළු ප්‍රධාන අවශ්‍යතා සියල්ලම පොතුවිල් හා අරුගම්බේ නගරයේදී ලබාගත හැකිය.

ජගත් කණහැරආරච්චි
ලාහුගල/පොතුවිල්/
ආරුගම්බේ සංචාරයකින් පසු

advertistmentadvertistment
advertistmentadvertistment