පුද්ගලවාදය හෝ පක්ෂවාදය පසෙක තබා රට පෙරටු කොට සියලු‍ දෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යා යුතුයි

1

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාතරදී අවධාරණය කරයි

අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලු‍ දෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යෑම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කර සිටියේ වත්මන් රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පෙරේදා මාතර කොටුව ක්‍රීඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.

“එක්ව ජයගමු-අපි මාතර” මැයෙන් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සංවිධානය කර තිබූ මෙම ජන හමුවට මාතර දිස්ත්‍රික්කයේ ජනතාව අතිවිශාල පිරිසක් එක්ව සිටියහ. ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මට භාරදුන් ටයිටැනික් නැව මම දැන් වරායට ගෙනැවිත් තිබෙනවා. එදා අයිස් කන්දට බිය වී හිටපු කපිතාන්වරු සියලු‍දෙනා පැන ගියා. නැව ගිලිලා අප නැති වෙනවද, නැතිනම් අප වරායට

ගමන් කරනවාද කියා තීරණය කිරීමට සිදු වුණා. දැන් අපි වරායට පැමිණ තිබෙනවා. අපි දැන් මේ නැවට මොකද කරන්නේ? අපි නැව ඉදිරි වසර 50-100ට සිරිලන ලෙස අලු‍තින් සකස් කරනවාද, නැත්නම් මෙහෙම තිබෙන නැව පැනලා ගිය කපිතාන්වරයෙකුට භාර දෙනවද කියා තීරණය කළ යුතුයි.

අද මම මේ ප්‍රදේශයට පැමිණෙන විට මෙම මාතර ජනතාව විඳි දුක සිහිපත් වුණා. 2022 සිංහල අලු‍ත් අවුරුද්ද මම ගත කළේ මෙම කඹුරුපිටියේ ප්‍රදේශයේ. මම නැවති සිටි හෝටලය ඉදිරිපිට ඉන්ධන පිරිවුම්හලක් තිබුණා. එතන දිගු වාහන පෝළිමක් තිබුණා. ජනතාව ආණ්ඩුවට දෝෂාරෝපණය කරමින් එම පෝළිම්වල දුක් විඳිනවා මම දුටුවා. එදා මම තීරණය කළා මේ තත්ත්වය නැවත රටේ ඇතිවෙන්න ඉඩ දෙන්න බැහැ කියලා. මම ඊට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර තිබුණා. ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර එම පණිවිඩ පිළිබඳ කිහිප වතාවක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව දැනුවත් කළා. කෙසේ හෝ අවසානයේ මට මේ රට භාර ගැනීමට සිදු වුණා.

මම එලෙස රට භාර ගනු ලැබුවේ ලෝක ඉතිහාසයේ අලු‍ත් ක්‍රමයක් අනුවයි. සියලු‍ දෙනා පැන ගිය අවස්ථාවක මට රට භාර ගැනීමට සිදු වුණා. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා ඉල්ලා අස් වූ විට ආණ්ඩු පක්ෂයට එය භාරගැනීමට නොහැකි නම් විපක්ෂය එය භාරගත යුතුයි. නමුත් මේ සියලු‍දෙනා පැනලා ගියා. එදා කැඩී ගියේ අපේ ආර්ථික ක්‍රමය පමණක් නොවෙයි, දේශපාලන ක්‍රමයත් කැඩී ගියා. මම මේ රටේ ජනාධිපති ධුරය භාර ගත්තා. සියලු‍ දෙනා කිව්වේ මෙය සාර්ථක වෙන්නේ නැහැ කියලා. නමුත් මට මේ රටේ ජනතාව ගැන සහ මම ගැන දැඩි විශ්වාසයක් තිබුණා. ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් අපට ආධාර ලබා දුන්නා.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟව තිබෙනවා. ඒ අනුව අපිට මුදල් මුද්‍රණය කිරීමට සහ බැංකුවලින් ණය ලබාගැනීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා අපට ආදායම් උපයා ගැනීමේ නව ක්‍රමවේද අනුගමනය කිරීමට සිදු වුණා. බදු වැඩි කිරීම අසීරු තීරණයක්. නමුත් අප එම තීරණය ගත්තා. ඒ නිසා අද රටේ ආර්ථිකය ස්ථාවර වී තිබෙනවා. ඉදිරියේ දී සාමාන්‍ය ජනතාවට මේ බදු බර දැරීමට සිදු වන්නේ නැහැ. අපි මේ වැඩ කරද්දි කෑ ගැහුවේ නැහැ. ඒත් ජනතාව වෙනුවෙන් මෙම සහන ලබාදී තිබෙනවා. අපි ඉදිරියට ගමන් කළයුතුයි. මේ වන විට අප බංකොළාත්භාවයෙන් ඉවත් වි සිටිනවා. ඒ අනුව අප ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යනවා. එහිදී සහන ලබාගෙන තිබෙනවා. කිසියම් පක්ෂයක් ප්‍රකාශ කරනවා නම් මීට වඩා වෙනස් විකල්පයක් තිබෙනවා කියා, ඒ අයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදීමට මම සූදානම්. ඒ අයට අවශ්‍ය ගුවන් බලපත්‍ර සහ නවාතැන් පහසුකම් සඳහා අවශ්‍ය මුදල් ආණ්ඩුවෙන් ලබාදීමට පියවර ගන්නවා. ඔබ ගොස් සාකච්ඡා කරන්න. ඒවා හොඳයි කියා හිතනවා නම් අප ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමු. නමුත් අපට තවදුරටත් පැරණි දේශපාලනයේ නිරත වෙන්න බැහැ. අප අද ගනු ලබන තීරණය අපේ අනාගතයට බලපානවා. අපි මෙයින් ඉවත් වුණහොත් ඉදිරියට යන්නේ කෙසේද. මෙම වැඩසටහන හැර අපට අනාගතයත් තිබෙනවද. නැවත පෝළිම් යුගයකට යන්න පුළුවන්ද, එනිසා අපි මේ සම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. අපි ස්ථිර තීරණයකට එළැඹිය යුතුයි.

අපි අනාගතයේ දී ඉන්ධනවලට මුදල් ගෙවන්නේ කොහොමද, නැවත ණය ගැනීමට අවශ්‍යද, අපි අලු‍ත් වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට නොගියහොත් තවත් වසර 15කින් මීට වඩා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ නිසා අප රට අපනයන ආර්ථිකයකට යා යුතුයි. අපි මේ තීරණ ගන්නේ ඔබ සියලු‍දෙනා වෙනුවෙන්. අපේ තරුණ පරපුරට නැවත මෙවැනි ආර්ථික අර්බුදයක් උරුම කරනවද, නැත්නම් දියුණු රටක් ලෙස ඉදිරියට යනවාද කියා අප තීරණය කළ යුතුයි.

අපි රට වෙනුවෙන් එකට වැඩ කරමු කියා මම සෑම දේශපාලන නායකයෙකුටම කියන්නේ ඒ නිසයි. මේ ඇමැති මණ්ඩලය මොන පක්ෂයටද අයත් වෙන්නේ කියලා අහනවා. මෙතන ඉන්නේ රට වෙනුවෙන් එකතු වුණු අය. පොහොට්ටුවේ සිටි බොහෝ දෙනෙකුට ඇමැතිකම් නැති වුණා. නමුත් ඔවුනට දැනට එය ලබාදීමට මට හැකි වුණේ නැහැ. ඔවුන් එම සියල්ල දරාගෙන අද රට වෙනුවෙන් එක් වී සිටිනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා

පසුගිය වසර දෙක තිස්සේ අභියෝග රැසකට අප මුහුණ දුන්නා. ඒ අවස්ථාවේදී අපි දේශපාලනය කිරීම වෙනුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ රට ඉදිරියට ගෙන යෑමට එක්වුණා. එදා පැවති ප්‍රශ්න නිසා බොහෝ දෙනෙකු කිව්වේ රට ඉදිරියට ගෙන යාමට නොහැකි බවයි. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ අභියෝගය බාරගෙන වසර දෙකක් ඇතුළත රට ඉදිරියට ගෙන ආවා.

ඉදිරි මැතිවරණවලදී කතාවට පමණක් සීමා වූ නායකයන් පත් කර නොගත යුතුයි. අපේ අනාගතය ශක්තිමත් කළ හැකි නායකයෙක් අවශ්‍යයි. අප මේ රට ඉදිරියට ගෙනයාමට එතුමාට සහාය නොදුන්නා නම් අද රටේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා. ඉදිරියේදීත් අප ජනතාවට සහන ලබාදෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඊළඟ මැතිවරණයේදී ඔබට ලැබෙන එම ප්‍රතිලාභ අහිමි කර ගන්නවාද? එසේ නොමැතිනම් මේ ආකාරයටම ඉදිරියට යනවාද කියා කල්පනා කළ යුතුයි.
මාතර – චන්ද්‍රදාස කොඩිතුවක්කු

advertistmentadvertistment
advertistmentadvertistment