අස්වැසුම නිසා ශෙහාන් ජගත් ගැටෙති

200

ශෂීන්ද්‍ර කේකුත් කපලා…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය යුරෝපයේ සංචාරය ආරම්භ කරන්නට පෙර මෙම සතියේ වැඩකටයුතු ගැන මන්ත්‍රීවරුන්ට න්‍යාය පත්‍රයක් ලබාදී තිබිණි. ඒ අනුව 28 වෙනි බදාදා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්කරන්නටත් සති අන්තයේ පාර්ලිමේන්තුව රැස් කරවා හදිසි පනත් කිහිපයක් සම්මත කර ගන්නටත් අවශ්‍ය විධිවිධාන සලසන්නට සියලු අංශ දැනුවත් කර තිබිණි. මන්ත්‍රීවරුන්ට කියා තිබුණේ සති අන්තයේ පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම ඉතා වැදගත් බැවින් ඊට සහභාගි වීම සඳහා අනෙකුත් සියලු ගමන් බිමන් හා වැඩකටයුතු අත්හැර දමා සූදානමින් සිටින ලෙසය. මේ හේතුව නිසා ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේ ද මන්ත්‍රීවරු පසුගිය සතියේ යම් යම් විචිකිච්චාවන්ගෙන් හිස පුරවාගෙන සිටියේ යැයි කීවොත් එය වැරදි නැත.

● අස්වැසුම ආවේ සමෘද්ධිය වෙනුවටද..?

පසුගිය සතියේ පාර්ලිමේන්තු සතියක් ද නොවීය. එහෙත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සියලුම දෙනා සති අන්තයේ සිදුවිය හැකි යැයි විශ්වාස කරන අලුත් ආර්ථික වෙනස්කම් ගැන කිසිවක් නොදැන නිරුත්තර වී සිටියහ. ඔවුන්ගෙන් ජනතාව හා මාධ්‍ය විමසන ප්‍රශ්නවලට දෙන්නට උත්තර ඒ කිසිවකුටවත් තිබුණේ නැත. මේ නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු බහුතරයක් දෙනා පසුගිය සතියේ දුරකථනවලට උත්තර දීමෙන් වැළකී සිටියහ.

කෙසේ වෙතත් රටේ ආර්ථිකය මුල් කරගෙන සිදුවිය හැකි වෙනස්කම් දෙකක් සම්බන්ධයෙන් ලොකු කතාබහක් සමාජයේ ඇතිව තිබිණි. එකක් අයිඑම්එෆ් ණය යෝජනා අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සති අන්තයේ ගෙන ඒමට නියමිත රජයේ අලුත් වැඩපිළිවෙළ ගැනය. දෙවැන්න මේ රටේ සමෘද්ධි ව්‍යාපාරය හා අස්වැසුම නම් වූ අලුත් සමාජ සුබසාධන වැඩපිළිවෙළ ගැන ය. සැබැවින්ම කියනවා නම් මේ දෙක සම්බන්ධයෙන් සමාජය තුළ ලොකු දැනුමක් හෝ අවබෝධයක් නොවීය. එහෙයින් මේ සම්බන්ධයෙන් විපක්ෂය සමාජය හමුවේ තබා ඇති විවේචනවලට ලොකු ඉඩකඩක් ලැබිණි. පසුගිය සතිය වන විට විපක්ෂය හා එහි සිටින ආර්ථික කටයුතු පිළිබඳ යම් උනන්දුවක් ඇති මන්ත්‍රීවරු විවිධ අන්දමේ අනතුර ඇඟවීම් කරන්නට වූහ.

ඇතමෙකු කීවේ ශ්‍රී ලංකාවේ සමෘද්ධි ව්‍යාපාරය අවසන් කර ඒ වෙනුවට ආණ්ඩුව “අස්වැසුම” නම් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වන බවයි. ශ්‍රී ලංකාව පුරාම සමෘද්ධි ප්‍රතිලාභීන් 18 ලක්ෂයක් සිටිති. එවන් එක පවුලක් මසකට යම් නිශ්චිත මුදලක් සමෘද්ධි බැංකුවල තැන්පත් කරමින්ම රුපියල් 1500 සිට 4500 දක්වා ප්‍රතිලාභ ලබති.

ලෝක බැංකු උපදෙස්වලට අනුව සමෘද්ධි ප්‍රතිලාභීන් ගණන ඉතා වැඩිය. එම ප්‍රමාණය අඩු කළ යුතුය. සමෘද්ධි ප්‍රතිලාභීන් ලක්ෂ 18 සිට සැළකිය යුතු ගණනක් අඩු කරන්නේ කෙසේද යන ප්‍රශ්නය රජයට ඇතිවිය.

රජය මුලින්ම සමෘද්ධියේ ප්‍රතිලාභීන් ප්‍රමාණය අඩු කිරීමට සැලසුම් සකස් කළේය. සමීක්ෂණයක් කර දැනට ප්‍රතිලාභීන් 18 ලක්ෂය අතර සිටින නුසුදුස්සන් ඉවත් කිරීමට යෝජනාවක් පැමිණියේය. පැතිර ගිය කතාවලට අනුව අස්වැසුම වැඩපිළිවෙළ සමාජගත වූයේ ඒ අනුවයි. කතාව පැතිර ගියේ සමෘද්ධිය වෙනුවට අස්වැසුම නමින් අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නා බවය. ඒ සඳහා සැබෑ අඩු ආදායම්ලාභීන් සෙවීමට සමීක්ෂණය කළ යුතු විය. එහිදී එක්තරා හේතුවක් නිසා මෙම සමීක්ෂණය කිරීමට සමෘද්ධි නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා ආර්ථික සංවර්ධන නිලධාරීන් කැමති වූයේ නැත. ඊට හේතුව සමාජ සුබසාධන පනතේ 20-22 වගන්තිවල ඇති සමීක්ෂණ නිලධාරීන්ට දඬුවම් කිරීමේ ප්‍රතිපාදනයයි. ආදායම්ලාභීන් පිළිබඳ වැරදි තොරතුරු සමීක්ෂණයට ඇතුළත්ව ඇති බව හෙළි වුවහොත් වැරදි තොරතුරු ලබාගත් නිලධාරියා දඩයකට යටත් කොට සිරගත කිරීමේ යෝජනාවක් එහි විය. ඉහත කී නිලධාරීන් සමීක්ෂණයට අකමැති වූයේ මේ යෝජනාව නිසාය.

එහිදී රජය කළේ හිතුවක්කාරී ලෙස ග්‍රාම කොට්ඨාශ මට්ටමින් කිසිත් පුහුණුවක් හෝ අවබෝධයක් නැති විකල්ප කණ්ඩායම් යොදවා ගනිමින් සමීක්ෂණය පැවැත්වීමයි. ඒ අනුව මුළු ලංකාව පුරාම සමීක්ෂණය වැරදි තොරතුරුවලින් පිරුණු අච්චාරුවක් ම විය. පසුගිය සතිය ඇතුළත “අස්වැසුම” සමීක්ෂණයට අයත් නොවූ දහස් ගණනක් සමෘද්ධි ප්‍රතිලාභීන් පැමිණ සමෘද්ධි කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වට කරන්නට පටන් ගත්තේ ඒ අනුව ය.

සමෘද්ධියෙන් ප්‍රතිලාභියෙක් ලැබූ උපරිම මුදල 4500කි. එහෙත් අස්වැසුමින් එවන් ප්‍රතිලාභී පවුලක් මසකට රුපියල් 15000 ක් පමණ යෝජිතව ඇත. එහෙත් සමීක්ෂණයේ ප්‍රතිඵලවල ප්‍රශ්නය වූයේ ගම්වල ඉතා දුප්පත්ම පවුල් පවා එම පරීක්ෂණයෙන් හැලී වැඩි ආදායම් ලාභී නුසුදුස්සන්ට ප්‍රතිලාභ ලැබීමට යෝජනා වී තිබීමය. මේ ප්‍රශ්නය ඔඩු දුවමින් පැමිණෙන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පවා ගම්වලින් පස්ස නොබලා දුවන්නට වූයේ මෙහි සැබෑ යෝජනා පිළිබඳ ඔවුන් තුළ වත් සැබෑ අවබෝධයක් නොතිබූ නිසාය.

● සන්නිවේදනය නොවූ ආණ්ඩුවේ පණිවිඩය…

ඒ එක් පැත්තකි. අනිත් පැත්තෙන් මේ රටේ අර්ධ රාජ්‍ය ආයතනවල හා පුද්ගලික අංශයේ වැඩ කරන ලක්ෂ සංඛ්‍යාත සේවක පිරිස්වලට ආණ්ඩුවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය බරපතළ උභතෝකෝටික ප්‍රශ්න ගණනාවක් ගෙන දුන් කාරණාවක් විය. ඊට හේතුව වූයේ ඉදිරියේදී රජය කරන්නේ මොනවා ද කියා මහජනතාවට පැහැදිලිව කරුණු කියන්නට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ පටන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනගේ පටන් කිසිදු නිලධාරියෙක් අසමත් වීමය. ඔවුන් උගතුන් බුද්ධිමතුන් බැවින් ඔවුන් ඒ පිළිබඳ සියලු කරුණු දැන සිටියා වන්නට ඇත. එහෙත් එම පණිවිඩය මහජනතාව වෙත ගෙන යන්නට සියලු දෙනා අසමත් වූ බව පැහැදිලිව කිව යුතුය. අනෙක් අතට ඔවුන්ට ඒ සඳහා සාධාරණ කාලාවකාශයක් ලැබුණේ නැති බවද ඇත්තය.

ජනතාවට තේරුම් කිරීම කෙසේ වෙතත් පසුගිය සතියේ පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී ඇමැති මණ්ඩලයට තේරුම් කිරීම ද අසාර්ථක විය. එම රැස්වීමේදී බහුතරයක් ඇමැතිවරු නන්දලාල්ගේ පැහැදිලි කිරීම තේරුම් ගත්තේ දැයි සැකයකි.

යුරෝපා සංචාරය නිමකර මෙරටට පැමිණි ජනපති රනිල් වික්‍රමසිංහට කෙටි විවේකයක් හෝ ගැනීමට ඉඩක් නොලැබුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් අවසන් කිරීමට තිබූ නිසාවෙනි. ඔහු විදේශයේ සිටම මෙරට නිලධාරීන්ට හා මැති ඇමැතිවරුන්ට උපදෙස් දෙමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සැලසුම් සකස් කොට තිබුණි. මහ බැංකු අධිපති, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන් සමඟ දිගින් දිගටම ඔහු සාකච්ඡා කළේ රටටත් ජනතාවටත් හානියක් නොවන පරිදි මෙම ගැටලුව විසඳා ගැනීමට ය.

අවසානයේ ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එකඟ වෙන, රටේ බැංකු පද්ධතියටත් හානියක් නොවන, සේවක අරමුදල්වලට ද හානියක් නොවන මූල්‍ය යෝජනාවක් සකස් කෙරුණි. ජනපති මේ ගැන සවස පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද හෙළිදරව් කළේය.

එහිදී තීන්දු කෙරුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව අනුමත කිරීම වෙනුවෙන් විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමක් කැඳවීමටය. ඉන් පසුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමට ද මේ ගැන පැහැදිලි කිරීමට තීන්දු කෙරිණි. ඊට අමතරව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ව ද මේ ගැන දැනුම්දීමට තීරණය කළ ජනපති රනිල් ඇමැති මණ්ඩල අනුමැතියෙන් පසු යෝජනාව පාර්ලිමේන්තු මුදල් කාරක සභාව වෙත ද ඉදිරිපත් කිරීමට ද තීන්දු කළේය.

ජනපති රනිල් අඟහරුවාදා පෙරවරුවේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට පැමිණි අතර නව ගුවන් හමුදාපති පත් කිරීම ගැන ද කතා කෙරිණි. පොලිස්පතිධූරය ගැන කිසිවක් කතා නොකිරීමට ජනපති රනිල් වගබල ගෙන තිබුණි.

● මහින්දලා දියසේනලා හා අන්දරේලාගේ කතා…

බදාදා උදේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ඇමැතිවරු හා මන්ත්‍රීවරු රැසක් සහභාගි වූ එක්තරා සුවිශේෂී උත්සවයක් බොරලැස්ගමුවේ නිවසක තිබිණි. උත්සවය පැවැත්වුණේ කලක් රාජකීය දෛවඥයා ලෙස විරුදාවලි ලත්, හිටපු ජනාධිපති උපදේශක සුමනදාස අබේගුණවර්ධන මහතාගේ නිවසේ ඔහුගේ උපන් දිනය නිසාය. සාමාන්‍යයෙන් මෙය වසරකට වරක් අලංකාරවත්ව ගරු ගාම්භීරව පවත්වන උපන්දින උත්සවයක් ලෙස පැවැත්වෙයි.

මෙවර උපන්දින උත්සවයට පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් කලාකරුවන් හා මාධ්‍යවේදීන් විශාල පිරිසක් පැමිණ සිටියහ. පියසේන ගමගේ, තිස්ස අත්තනායක චන්දිම වීරක්කොඩි ශාන් විජේලාල් රාජිත සේනාරත්න ගයන්ත කරුණාතිලක හෙක්ටර් බෙත්මගේ ඇතුළු සුවිශේෂී අමුත්තන් සහභාගි කරගෙන මේ කටයුත්ත සංවිධානය කර තිබුණේ මනුෂ නානායක්කාරයි. ඒ අතර උදේ හතයි තිහට පමණ චීනයේ සිට අමුත්තෙක් කතා කළේය. ඒ නාමල් රාජපක්ෂයි. ඔහු සුමනදාස මහතාට කතා කරන්නේ සුමිත් අන්කල් කියාය. ලංකාවේ හිටිය නම් අනිවාර්යයෙන්ම මමත් එනවා කියමින් ඔහු සුබ පැතුවේය.

දහවල් 11.00 ට පමණ අභයගුණවර්ධන මහතාගේ දුරකථනයට සුවිශේෂී පුද්ගලයෙක් කතා කළේය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාය…

කොහොමද සුමිත් ජීවිතේ… කියමින් සුපුරුදු පැරණි ලෙන්ගතු කමින්ම අබේගුණවර්ධන මහතා ආමන්ත්‍රණය කරමින් මහින්ද සුමනදාස මහතාට දීර්ඝායුෂ පතමින් සුබපැතුවේය….

“අපි ඉතින් පහුගිය දවස්වල ටිකක් දුරස් වුණා නේ….” කියමින් කතා බස් ආරම්භ කළ මහින්ද මහතා බොහෝ අතීත තොරතුරු මතක් කරද්දී සුමනදාසයෝද ඉන් උද්දාමයට පත්ව උත්තර දුන්නේය…

“මම 1982 ඉඳලා 2015 වෙන තුරු අවුරුදු 33 අපේ සර් ළඟ හිටියා. ඒ කාලය ඇතුළත මම ඔබතුමාට ජ්‍යොතිෂයෙන් උපදෙස් දුන්න විතරක් නෙවෙයි. ඔබතුමාව සුරැකිව බලා ගත්තා. ඔබතුමාව සතුටින්

තියාගන්න මම නොකරපු දෙයක් නැහැ. ඒ වගේම ඔබතුමා නිතර හිනස්සලා තියාගත්තා. එහෙම කරන කොට මට රාජකීය දෛවඥයාගේ කාර්යය විතරක් නෙවෙයි රාජකීය කවටයා ගේ අන්දරේගේ කාර්යභාරයත් කරන්න වුණා…”

එසේ කියන විට මහින්ද මහතාට ඉබේම සිනා පහළ විය…

“හැබැයි සර් මම එතෙන්දි කළේ උපක්‍රමශීලීව සර්ව සතුටු කරවපු එක. සර්ට මං රත්තරන් සර් කියලාත් කිව්වා. මං දන්නවා සර්ගේ සාර්ථකත්වය රැඳිල තියෙන්නෙ සර් හිනා වෙලා සතුටින් ඉන්න කොට විත්තිය. එහෙම කරලයි මම සර්ව මේ රටේ ගැලවුම්කාරයා විදිහට ගමනක් ගෙනාවේ. කොටි සංවිධානය පරාජය කරලා සර් ඒ සටන විජයග්‍රහණය කළා.

අන්තිමේ අපි ඈත් වුණා. මගෙන් හිස්වුණු පුරප්පාඩුව පුරවන්න සර්ලට කෙනෙක් හිටියේ නෑ. එහෙම කෙනෙක් ලංකාවෙත් නැහැ. හැබැයි සර්ලා මගෙන් ඇතිවුණු පුරප්පාඩුව පුරවන්න වැරදි අය කිට්ටු කර ගත්තා. ඔය… අර අක්කලා මේ අක්කලා කිට්ටුකර ගත්තට ඒ අයට අපි කරපු දේවල් කරන්න බෑ. ඒකයි පහුගිය කාලේ වැරදුනේ…”

“මම කවදාවත් ඒ ගොල්ල විශ්වාස කරල ඒ තැන්වලට ගිහිල්ලා නෑ.. ගියා කියලා ආරංචි තියෙනවද.?.”

“සර් ගියේ නෑ කියන්න මම දන්නවා.. ඒත් සර්ලගේ සමහර අය ඒව විශ්වාස කළා….”

“ඒගොල්ල ඔය තැන්වලට කිට්ටු වෙච්ච එක ගැන මගේ මනාපයක් තිබුණේ නෑ. ඒත් ඕනවට වඩා සමහර අයගේ වැඩවලට ඇඟිලි ගහන්න මම ගියේ නෑ”…

“ඒක තමයි සර්… මම සර්ව රැක බලා ගත්තේ ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් අරලියගහ මන්දිරයේ භූමියේ රෝපණය කරලා දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ඇතිව. එදා ක්‍රිස්තු පූර්ව 247 – 249 දී දේවානම් පියතිස්ස රජතුමා ශ්‍රී මහා බෝධිය රෝපණය කළේ රෙහෙණ නැකතෙන්. ඒ නැකතෙන්ම තමයි ඔබතුමත් ශ්‍රී මහා බෝධිය රෝපණය කළේ. ඔබතුමාගේ හැම වැදගත් වැඩක්ම ආරම්භ කළේ රෙහෙන නැකතෙන්.

යුද්දෙන් මේ රට බේරගත් ඔබතුමාට මට තව එකක් කියන්න ඕන සර්… සර්ට මේ ලංකාවේ ලක්ෂ ගාණක් ජනතාව කකුල් දෙක අල්ලලා වැඳලා ඇති. හැබැයි සර්… සර්ගේ කකුල් දෙක අල්ලලා වැඳලා ඉඹින්නෙ මේ සුමිත් අබේගුණවර්ධන විතරයි. මම ඒක නිහතමානීව කියන්නේ.”

දෙදෙනා අතර කතාබහ මේ වාගේ සංවේදී තැනකින් අවසන් විය. හිටපු ජනාධිපතිවරයා සුභ පැතීම නිසා සුමිත් අබේගුණවර්ධන ද අතිශයින් සතුටට පත්ව සිටියේය.

● පොහොට්ටුවේ ඉවසීම නැති කළ අස්වැසුම…

28 වැනිදා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වෙන තුරු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු නොයිවසිල්ලෙන් බලා සිටියේය. විශේෂයෙන්ම ඔවුන්ට ගම්වලට පවා යන්නට බැරුව තිබිණි. මන්ද ඉදිරියේදී එනවා යැයි කියන ආර්ථික ප්‍රතිසංස්කරණ හා අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් ජනතාවට දෙන්න ඔවුන් තුළ උත්තරයක් නැති නිසාය.

මේ රැස්වීමට මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනද පැමිණ සිටියහ. ජනාධිපති රනිල් මුලින්ම මෙම සති අන්තයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් පැහැදිලි කරන්නට මහ බැංකු අධිපතිවරයාට අවස්ථාව දුන්නේය…

ආචාර්ය නන්දලාල් වීරසිංහ ඔහුගේ දැවැන්ත පැහැදිලි කිරීම ආණ්ඩු පක්ෂය හමුවේ කරනු ලැබීය. ඔහුගේ පැහැදිලි කිරීම හිතන සිද්ධීන් බහුතර මහජන නියෝජිතයන්ට පැහැදිලි වූයේ දැයි සැකයකි. ඇතැමකු සිටියේ ඈනුම් අරිමින්ය. තවත් පිරිසක් කොහේ හෝ කොක්කක් අල්ලාගෙන එල්ලෙන්නට මාන බලමින් ඇස් කන් හයා අසා සිටියහ…

පැහැදිලි කිරීම අවසන් වූ වහාම ඉස්සර වෙලාම ප්‍රශ්න කළේ ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්ය.

“මට මෙතනදී පැහැදිලි කරගන්න වුවමනා කාරණා දෙකයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වුවමනා යැයි කියන මේ ප්‍රතිසංස්කරණ අපි කළොත් දැනට බැංකුවල තැන්පත් කරල තියන අපේ සාමාන්‍ය මහජනතාවගේ බැංකු ගිණුම් තැන්පතුවලට හෝ එහි පොලියට ප්‍රශ්නයක් වෙනවද…?

“නැහැ… එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. මේකෙදි අපි ඉලක්ක කරලත් තියෙන්නේ ජනතාවගේ පුද්ගලික ගිණුම්වල මුදල් නෙවෙයි…”

දෙවැනි කාරණාව තමයි… මේ ප්‍රතිසංස්කරණවලින් වැඩකරන ජනතාවගේ ඊ පී එෆ්, ඊ ටී එෆ් තැන්පතුවලට හෝ එහි පොලියට ගැටලුවක් වෙනවද..?

මේ පිළිබඳ වැරදි මත පළ වෙලා තියෙනවා. මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට යෙදුනාම බැංකු පද්ධතිය බිඳ වැටෙයි කියලා බොරු බයක් ඇති කරලා තියෙනවා. ඇත්තටම බැංකු පද්ධතිය මේ වන විටත් රජය වෙනුවෙන් ලොකු පිරිවැයක් දරලා තියෙනවා. හැබැයි තැන්පතුකරුවන්ගේ තැන්පතුවලට වත් එහි පොළියටවත් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. ඊළඟට ඊ පී එෆ්, ඊ ටී එෆ් අරමුදල් තියෙනවනේ. ඒ අරමුදල්වල සාමාජිකයන්ගේ මූලික මුදලට වත් එහි පොලියටවත් කිසිදු බලපෑමක් වෙන්නේ නෑ.

අපේ පළවෙනි යෝජනාව තමයි ඊ ටී එෆ් වගේ අරමුදල්, රටේ බැංකු පද්ධතිය, යම් යම් ප්‍රකට ආයතනවල අරමුදල් ආදිය විසින් මහ බැංකුවෙන් මිලදී අරගෙන තියෙන මහ බැංකු බැඳුම්කරවල කාලය දීර්ඝ කරන එක. ඒ කිව්වේ මේ අවුරුද්දේ අන්තිමට ලබන අවුරුද්දේ අන්තිමට බැඳුම්කරවල අවුරුදු 3 සම්පූර්ණ කරන ගනුදෙනුවල කාලය තවත් අවුරුදු පහකින් දිගු කිරීම. හැබැයි 9%ක්ව තිබෙන එහි පොලිය වෙනසක් වෙන්නේ නෑ. ප්‍රතිලාභ ආපසු ගැනීමේ කාලය අවුරුදු පහකින් කල් යන එක විතරයි එයාලට වෙන්නේ.

දෙවැනි යෝජනාව තමයි සියලුම අරමුදල්වලින් මහ බැංකුවෙන් භාණ්ඩාගාර බැඳුම්කර ලබාගෙන ලැබෙන පොලියෙන් දැන් 15% වෙනවා නේ. අන්න ඒ බදු මුදල 30% දක්වා ඉහළ දැමීම. මේ සියයට තිහේ බද්ද දැනටමත් බැංකු විසින් ගෙවනවා. ඒ නිසා මෙය යෝජනාව අදාළ ඊ ටී එෆ් වගේ අරමුදල්වලට විතරයි. මේ තුළින් අරමුදලට යම් ලාභයේ අඩුවීමක් වුණත් ඒකෙන් එහි ගනුදෙනුකරුවන්ට ප්‍රශ්නයක් වෙන්නේ නෑ….” නන්දලාල් ඇතුළු නිලධාරීන් එහිදී හොඳ පැහැදිලි කිරීමක් කළ අතර මන්ත්‍රීවරුන්ටද එම කරුණු තේරුම් ගැනීමට හැකි විය.

ඒ අනුව ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ බොහෝ දෙනකුට තිබූ සැක සංකා නැති විය. ඊළඟට ප්‍රශ්නය පැමිණියේ අස්වැසුම ගැනයි.

අස්වැසුම නිසා දැනටමත් සමෘද්ධිලාභීන් පැමිණ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වටකර ඇති බැවින් දුර බැහැර පළාත්වලින් තේරී පත් වූ මන්ත්‍රීවරු විරෝධතා එල්ල කරන්නට පටන් ගත්හ.

“සමෘද්ධිය කපල, සමෘද්ධිය වගේ ජනතාවට ඉහළ ප්‍රතිලාභ ලැබෙන වැඩසටහනක් අත්හැර දාලා අස්වැසුම කියලා කෙහෙල්මලක් ගෙනල්ලා ඔබතුමා මොකක්ද මේ කරන්න හදන පිස්සු වැඩේ….” මන්ත්‍රීවරු කෑකෝ ගසන්නට විය.

“අපිට මේකට කොහොමටවත් එකඟ වෙන්න බැහැ. කරලා තියෙන සමීක්ෂණය වැරදියි. සමීක්ෂණ කරන්න කිසිම පුහුණුවක් නැති ළාබාල ආධුනික ළමයි ටිකක් දාලා කරපු වැඩක්. තනිකරම මේකෙ තියන දත්ත වැරදියි.”

ගෝඨාභය මහත්තයා ඇවිල්ලා පොහොර ප්‍රශ්නයක් ඔළුවේ දාගෙන නා ගත්තා. අරමුණ හොඳයි තමයි. නමුත් අන්තිමේ එතුමා අරගලයට මැදිවෙලා අපරාදේ නිකරුණේ ගෙදර ගියා. ඒ වගේ තමයි ඔබතුමාත් මේ රට ලොකු අමාරුවක වැටිලා තියෙන වෙලාවක අභියෝගයක් භාර ගෙන ආර්ථිකය ගොඩ අරන් අනර්ඝ මෙහෙයක් කළා. අන්තිමේ මේ අස්වැසුමක් කියලා එකක් ගෙනල්ලා අපරාදේ නිකන් ජනතාව අතර අප්‍රසාදයට ලක් වෙන්න හදන්නේ…” ජගත් කුමාර කියද්දී ජානක වක්කුඹුර, චින්තක මායාදුන්න, කුමාරසිරි, සංජීව එදිරිමාන්න ඊට හවුල් වූහ…

“මේ අස්වැසුමක් නිසා අද අපිට ආසනයට යන්න බෑ. ගෙදර ඉන්න බෑ. අහිංසක මිනිස්සු ඇවිල්ලා ගෙවල් වටකරගෙන දුක කියනවා.” වක්කුඹුර කීවේය.

“මේ අස්වැසුම සමීක්ෂණයේ ඉදිරිපත් කරපු නිර්ණායක ඔක්කොම වැරදියි. ඇප් එකක් භාවිතා කරගෙන මේ විදියට තොරතුරු එකතු කළාම ඇප් එක හසුරුවන්න දන්න අය බොරු තොරතුරු දානවා. අහිංසක මිනිස්සු ඇත්ත තොරතුරු දාලා. අන්තිමේ බොරුකාරයො තේරුණා. ඇත්ත තොරතුරු දීපු අය කැපුනා. මේ වැඩේ වැරදියි…” ජගත් තර්ක කළේය.

“ඔයගොල්ලොන්ගේ කතාව වැරදියි. සමීක්ෂණය කිසි වරදක් නෑ. ඕගොල්ලෝ වැරදි තොරතුරු සමාජගත කරමින් මිනිස්සු අවුස්සනවා… අනිත් එක අන්තිම ලිස්ට් එක තවම කවුරුවත් දන්නේ නෑ. හදලා ඉවරත් නෑ. බොරුවට ජනතාව කුලප්පු කරවනවා” ෂෙහාන් කීවේය.

වෘත්තීය සමිති එක්කාසු වී ජනතාව කුපිත කරන්නට වැරදි තොරතුරු ජනගත කරනවාය කියන කතාව ප්‍රසන්න රණතුංග ද කීවේය. ඔහු ඒ කතාව කීවේ ජගත් ඉලක්ක කරගෙනය.

මන්ත්‍රීවරු මෙසේ කෑ කෝ ගසන විට එන පොට හොඳ නැති බව තේරුම් ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කතාව වෙනතකට හරවමින් මෙසේ කීවේය…

“දැන් ඕකට කෑ ගහලා වැඩක් නෑ … ජනතාව දීපු තොරතුරු වැරදි නම් අභියාචනා ඉදිරිපත් කරන්න කාලයක් දීලා තියෙනවා. අභියාචනා ආවම නිවැරදි කරමු… එතකන් ඉතිරි ප්‍රශ්න විසඳගමු. අද මෙතන කෑ කෝ ගහන්න එපා. අපේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමාගේ උපන් දිනය අද. අපි කේක් එකක් ගෙන්නලා තියෙනවා. ඒක කපල කේක් කෑල්ලක් කාලා සතුටෙන් කතාබස් කරල අද විසිර යමු…”

ජනාධිපති මාධ්‍ය අංශය විසින් කල් තියා සූදානම් කර තිබූ ලොකු කේක් ගෙඩියක් ගෙනත් තැබුවේය. ශෂීන්ද්‍ර ඉදිරිපත්වී කේක් ගෙඩිය කපා ඉන් ජනාධිපතිට සහෝදර මන්ත්‍රීවරුන්ට සංග්‍රහ කළේය. එහෙත් ඒ අතර අස්වැසුම පිළිබඳ කතාබහට අස්වැසුමක් ලැබුණේ නැත. එය දිගින් දිගටම ඇදී ගියේය. පොහොට්ටුවේ බහුතරයක් මන්ත්‍රීවරු ඊට විරුද්ධව කරුණු ඉදිරිපත් කරමින් කෑ කෝ ගසද්දී මුදල් නියෝජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහා දැනමුත්තෙකු සේ කරුණු ඉදිරිපත් කරමින් කතා කරන්නට විය. අනිත් පැත්තෙන් දැඩි ලෙස ප්‍රශ්න කළේ ජගත් කුමාර මන්ත්‍රීවරයාය. ජගත් කුමාර සමෘද්ධි ව්‍යාපාරය හරහා පැමිණි දේශපාලන නායකයකු නිසා ඔහුට කතා කරන්නට අයිතියක් ද තිබිණි. සමෘද්ධි ව්‍යාපාරය විනාශ කරන්නට ජනාධිපතිවරයා ගේ මේ අලුත් යෝජනා සමත් වෙතැයි කියමින් ඔහු ඊට විරෝධය පෑවේය.

අවසානයේ මේ ගැටුම ජගත් හා ෂෙහාන් අතර වූ ගාලගෝට්ටියක් බවට පත්විය. ප්‍රසන්න රණතුංග නොහිටින්නට ඔහුගේ ඇඟ තාප්පයක් මෙන් නොතිබෙන්න දෙදෙනා අතර ගුටිබැට හුවමාරුවක් ද ඇති වන්නට ඉඩ තිබුණි.

ආර්ථිකය පිළිබඳ හසළ දැනුමක් ඇති සියඹලාපිටිය තරමක් නිහඬව කටයුතු කරද්දී විෂය සම්බන්ධයෙන් ආධුනිකයකු වන ෂෙහාන් වැඩ පෙන්වන ඇමැතිවරයකු ලෙස කටයුතු කිරීම හාස්‍යයට ලක්කරමින් ඇතැම් අය බැණ වැදුනහ. එළියෙදි ප්‍රසන්න රණතුංග හා ජගත් අතරද යම් ගැටුමක් ඇවිලෙන්නට ගොස් නතර වූයේ අනූ නමයයි දශම නමයෙනි.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment