මං දන්නේ නෑ කියා ඇඟ බේරා ගන්න ඇමැතිවරයකුට බැහැ – මහෙස්ත්‍රාත්

3788

කෙහෙළිය රිමාන්ඩ්

තනතුරේ සිටියදීම රිමාන්ඩ් භාරයට පත් පළමු ඇමැති

ලෙඩින් සිටින බවක් උසාවියට පේන්නේ නෑ

ඇප ඉල්ලීම ඉවතට

බාල එන්නත් මිලදී ගන්න මූලික අඩිතාලම දැම්මේ සැකකාර ඇමැති

රටේ ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කිරීම සුළුකොට තකන්න බැහැ – නි. සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම

සැකකරුවන්ට එරෙහිව මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරිය හැකියි – ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සැපයීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල අටවැනි සැකකරු ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය වර්තමාන පරිසර කටයුතු පිළිබඳ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 15 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය පෙරේදා (3 දා) නියෝග කළාය.

සිය සේවාදායකයා රෝග කීපයකින් පෙළෙන අයකු වන බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇපමත මුදාහරින ලෙසට එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් සැකකරු රෝගී තත්ත්වයකින් පෙළෙන බව තම අධිකරණයට පෙනී නොයන බව පෙන්වා දෙමින් එම ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

සැකකරු ඇපමත මුදාහැරීමට තරම් සුවිශේෂී කරණු ඉදිරිපත්වී නොමැති බවද මහෙස්ත්‍රාත්වරිය පැවසුවාය. සැකකාර අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය අනුව එම නඩුවේ පළමුවන සැකකාර, ප්‍රමිතියෙන් තොර බෙහෙත් සැපයූ සමාගම් හිමිකරුට ප්‍රශ්නගත ඖෂධ සැපයීමට පසුබිම සැකසී ඇති බව පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්‍ෂි සහ පැමිණිල්ල මෙහෙය වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දැක්වූ කරුණු අනුව තම අධිකරණයට පෙනී යන්නේ යැයිද මහෙස්ත්‍රාත්වරිය ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් පෙන්වා දුන්නාය. සිය සේවාදායකයා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි සැකකාර අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එවැනි නියෝගයක් තම අධිකරණයට නිකුත් කළ නොහැකි බවත් බන්ධනාගාර භාරයට පත්වන සැකකරුවගේ රෝගී තත්ත්වයකට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමේ වගකීම බන්ධනාගාර පාලනාධිකාරිය සතු දෙයක් බවත් මහෙස්ත්‍රාත්වරිය පැවසුවාය.

එකී ප්‍රමිතියෙන් තොර එන්නත් ලබාදුන් යම් රෝගියකු හෝ පිරිසක් අසාත්මිකතාවයට පත්වී ඇතිද යන කරුණු සම්බන්ධයෙන් මෙන්ම එකී එන්නත් එම රෝගීන්ට නියම කිරීමට සිදුවූ වෛද්‍යවරුන්ට එමඟින් යම්කිසි අපහසුතාවකට පත්වීමට සිදුවී ඇත්දැයි යන කරුණු සම්බන්ධයෙන්ද වෙන් වෙන්ව විමර්ශන සිදුකර තම අධිකරණයට වාර්තා කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

අධිකරණයේ නියෝගය මත විමර්ශනවලට අවශ්‍ය ප්‍රකාශ ලබාදීම සඳහා පසුගිය 2 වැනිදා පෙරවරුවේ පෙනී සිටි සැකකාර අමාත්‍යවරයාගෙන් පුරා පැය 10 කට අධික කාලයක් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් එදින රාත්‍රියේම ඔහුව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට පියවර ගෙන තිබිණි. සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පෙරේදා පෙ.ව. 10.00 ට පමණ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරු ලබාදුන් ප්‍රකාශ සහිත ඇමුණුම් 13 ක් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය එම සැකකරු එම විමර්ශනවල අටවැනි සැකකරු ලෙස නම් කිරීමට අවසර ඉල්ලා සිටියාය.

එකී අවසරය අධිකරණය විසින් ලබාදීමෙන් අනතුරුව අධිකරණය ඇමතූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය මෙසේද පැවසුවාය.

ගරු මැතිනියනි, මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව සාධාරණ සැකයක් මතුවීම නිසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම එතෙක් සිදුකළේ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීමෙන්. නමුත් මෙම සැකකරු රටේ විශාල ඖෂධ හිඟයක් පවතිනවා එම ඖෂධ කඩිනමින් මිලදී නොගත්තොත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ තර්ජනයක් එල්ල වෙලා තියෙනවා කියලා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරලා ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව පෞද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වන විට එතරම් ඖෂධ හිඟයක් නොතිබියදීත් ව්‍යාජ හිඟයක් මවා පාලා කැබිනට් මණ්ඩලයේ හෘද සාක්‍ෂිය ප්‍රකම්පනය කරලා තමයි ඔහු ඉදිරිපත් කළ කැබිනට් සංදේශ හතරට අනුමැතිය ලබාගෙන තිබෙන්නේ. ඖෂධ 82 ක දැඩි හිඟයක් පවතින බව 2022.09.06 වැනිදා ඉදිරිපත් කළ කැබිනට් සංදේශය මගින් පෙන්වා දී තිබුණත් ඒවා අත්‍යාවශ්‍යමද නැතිනම් ඉතා අත්‍යාවශ්‍යමද කියන එකවත් තමන් දන්නේ නැති බවයි සී.අයි.ඩී.ය ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ප්‍රකාශ කරලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම එහෙම දැඩි ඖෂධ හිඟයක් නොතිබූ බව විමර්ශන නිලධාරීන් කළ විමර්ශන අනුව පෙනී යනවා. හදිසි මිලදී ගැනීම් ලෙස පෙන්වා ප්‍රමිතියෙන් තොර එම ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා මූලිකම අඩිතාලම දමා ඇත්තේ සැකකාර මෙම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයායි.

මේක සැලසුම්සහගත අපරාධයක්. රටේ ජනාධිපතිවරයා මෙම සැකකරුව සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් කරලා තියෙන්නේ රටේ ජනතාව නිරෝගීව තැබීමේ අරමුණින්. ජනතාවගේ සෞඛ්‍ය සුබසිද්ධිය වෙනුවෙන් ඒ බව ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කළ අවස්ථාවේදී ලිඛිතව සඳහන් කරලා තියෙනවා. එහෙම තියෙද්දී තමයි මේ අපරාධය කරලා තියෙන්නේ. මේක සුළු පටු අපරාධයක් නෙමෙයි. රටේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කිරීම අපි කිසිවකුට සුළුකොට තකන්න බැහැ සැකකරු ඇතුළු පිරිසක් එහෙම හිතාගෙන කටයුතු කළාට.

සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා –

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රටට අවශ්‍ය හදිසි ඖෂධ මිලදී ගැනීම සඳහා මුලින්ම සිදුකරලා තියෙන්නේ බැසිල් රාජපක්‍ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී. මගේ සේවාදායකයා කටයුතු කරලා තියෙන්නේ රටේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන්. පෞද්ගලික අංශය හරහා එම ඖෂධ මිලදී ගැනීමට මුදල් වැය කිරීමට හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අනුමැතිය දීලා තියෙනවා. එලෙස මිලදී ගත්තු ඖෂධ 407 ක් අතරින් ඖෂධ වර්ග හතරයි ප්‍රමිතියෙන් තොර බවට හෙළිවෙලා තියෙන්නේ.

අධිකරණය – සැකකරු වගකිවයුතු අමාත්‍යවරයකු ලෙස වගකීම හා වගවීම පැහැර ඇති බව පෙනෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය – විමර්ශන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන් ඇතුළු 16 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. එම ප්‍රකාශ හා අනාවරණය කරගත් තොරතුරු අනුව මෙම සැකකරු එම අපරාධය සම්බන්ධයෙන් දැනුවත්ව තිබූ බවට අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ සාධාරණ සැකයක් මතුවීම නිසයි අත්අඩංගුවට ගත්තේ. හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත තමයි මෙම කැබිනට් පත්‍රිකාව සකස් කරලා තියෙන්නේ.

මහෙස්ත්‍රාත්වරිය – ඒක හැදුවේ තමන් නෙමෙයි කියලා මෙම සැකකරු කිව්වොත් මොකද වෙන්නේ?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය – හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදුන් උපදෙස් අනුව ඒක සකස් කළා කියලා හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රකාශ ලබාදීලා තියෙනවා.

තමන් දන්නේ නෑ කියලා මගහරින්න මෙම සැකකරුට බැහැ. අමාත්‍ය ධුරයට පත්කරන විටම ඔහුට ඒ වගකීම නීත්‍යනුකූලව පවරලා තියෙන්නේ. මුදල් අමාත්‍යාංශය කිසිදු අවස්ථාවකදී ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ගෙන්වූ ඖෂධයකට වෙනත් අරමුදල්වලින් මුදල් ගෙවීමට අවසරය දීලා නෑ. ව්‍යාජ ඉමියුනෝග්ලොබියුලින් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් ගෙවීම වරදක්.

සිවිල් අයිතිවාසිම් සුරැකීමේ සංවිධාන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා – එකී බාල එන්නත් හා ඖෂධ භාවිත කිරීම නිසා සිය ජීවිත අනතුරට ලක්වීමේ තර්ජනයට මුහුණදුන් රෝගීන්ට මෙම සැකකරු ඇතුළු සැකකරුවන්ට එරෙහිව මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගන්න පුළුවන්.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා – එකී එන්නත් නිෂ්පාදනය කළ ආකාරය හා ඒවාට අලවා ඇති ලේබල් නිෂ්පාදනය කළ ආකාරය ගැනත් විමර්ශන සිදුකළ යුතුයි.

සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතාව රක්‍ෂිත බන්ධනාගාර භාරයට පත් කිරීමට නියෝග කිරීමත් සමග කැබිනට් අමාත්‍ය ධුරයක් දරමින් සිටියදීම මෑත අධිකරණ ඉතිහාසයේ අත්අඩංගුවට පත්වූ හා රක්‍ෂිත බන්ධනාගාර භාරයට පත්වූ අමාත්‍යවරයා බවට පත්විය.

පාර්ලිමේන්තුව හරහා ජනතාව විසින් පවරනු ලැබූ වගකීමෙන් හා වගවීමෙන් බේරී යෑමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නොහැකි බවත් නඩුවට පාදක වූ අදාළ සිද්ධි දාමයට මුල්වී ඇත්තේ එම සැකකරු විසින් 2022.09.26 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය එම රක්‍ෂිත බන්ධනාගාරගත කරමින් නිකුත් කළ නියෝගය මගින් පෙන්වා දුන්නාය. එම කැබිනට් පත්‍රිකාව සකස් කිරීමට අදාළ මුල්ගොනුව සොයා ගැනීමට නොහැකිවී ඇති බවත් එකී මුල්ගොනුවේ අංකය ලෙස සැකකරු ලබාදී ඇති අංකය ව්‍යාජ අංකයක් බවට එමඟින් තම අධිකරණයට නිගමනය කිරීමට සිදුවන බවත් සිය නියෝගය මගින් පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරිය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමේදී ප්‍රධාන අධීක්‍ෂණ නිලධාරියා වන කෙහෙළිය රඹුක්වැල්ල වගකීම භාරගත යුතු බවද පෙන්වා දුන්නාය.

සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා සිදුවන මුදල් හුවමාරුවීම් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමේ වගකීම එම සැකකරුට පැවරෙන බවත් එවැනි විටකදී තමන් ඒ බව නොදන්නා බව හෝ පහළ නිලධාරීන් තමන්ව ඒ සම්බන්ධයෙන් දැනුවත් නොකළ බව පවසා ඇඟ බේරා ගැනීමේ හැකියාවක් එම සැකකරුට නොමැති බවද සිය නියෝගය මගින් මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය පෙන්වා දුන්නාය.

එම කැබිනට් පත්‍රිකාව සකස් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පවසා ඇඟ බේරා ගැනීමේ හැකියාවක් සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට නොමැති බව සිය නියෝගය මගින් දන්වා සිටි මහෙස්ත්‍රාත්වරිය ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගන්නා ඖෂධ සඳහා ඉන්දියානු ණය මුදලින් මුදල් ගෙවීමටත්, අනෙකුත් ඖෂධ මිලදී ගැනීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ මුදල් ගෙවීමටත් පමණක් 2022.11.02 වැනිදා මුදල් අමාත්‍යාංශය අනුමැතිය ලබාදී ඇතැයිද පෙන්වා දුන්නාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කරන ලද නියෝගයක් අනුව පළමුවන සැකකරුට අයත් එන්නත් නිෂ්පාදන සමාගමට ලේ බැංකුව විසින් රුධිර ප්ලාස්මා ලබාදී ඇති බවත් එකී රුධිර ප්ලාස්මා හා මිනිස් සිරුරට අහිතකර තවත් බැක්ටීරියාවක් ඇතුළත් ද්‍රාවණයක් ඇතුළත් කර පළමුවන සැකකරුගේ සමාගම යම්කිසි ද්‍රාවණයක් සකස් කොට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී ඇති බව මේ දක්වා සිදුකළ විමර්ශන වාර්තා අනුව තම අධිකරණයට පෙනී යන බවත් මහෙස්ත්‍රාත්වරිය සිය නියෝගය මගින් දන්වා සිටියාය. පළමුවන සැකකරුට ඖෂධයක් නොවන එකී ද්‍රාවණයට මුදල් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 8 වන සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල අනුමැතිය ලබාදී ඇති බවත් එමඟින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට ඔහු සතුව තිබූ මූලික වගකීමක් පැහැර හැරීමේ හැකියාවක් නොමැති බවත් මහෙස්ත්‍රාත්වරිය පැවසුවාය. මෙකී සියලු කරුණු සලකා බැලීමේදී අටවන සැකකරු ඇතුළු සැකකාර අමාත්‍ය නිලධාරීන් ව්‍යාජ ද්‍රාවණයක් සකස් කිරීමට හා ඒවාට මුදල් ගෙවීමට එක්ව කුමන්ත්‍රණය කළ බව පෙනී යන්නේ යැයිද මහෙස්ත්‍රාත්වරිය සිය නියෝගය මගින් පෙන්වා දුන්නාය.

ඡායාරූපය – තුෂාර අතපත්තු
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment