සිවිල් ගුවන් සේවාවේ සියලු කටයුතු ජාත්‍යන්තරයට සුදුසු පරිදි පුළුල් කරනවා – වරාය නාවික හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

79

පෞද්ගලීකකරණය කියන්නේ තමන්ගේ මිත්‍රයන් අතරේ ආයතන බෙදාදීම නොවෙයි – හරිනි අමරසූරිය

ප්‍රසම්පාදනයක් නැතිව වරායේ අක්කර 14ක් විදෙස් කණ්ඩායමකට දීලා – කබීර් හෂීම් (සජබ)

ලාභ නැත්නම් කිසිම ආයෝජකයෙක් එන්නේ නෑ – ඇමැති කංචන විජේසේකර

සිවිල් ගුවන් සේවාවට අයත් සියලු කටයුතු ඒකාධිකාරිත්වයකින් තොරව ජාත්‍යන්තරයට සුදුසු පරිදි පුළුල් කිරීමට සැලසුම් කර ඇති බව වරාය නාවික හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල්සිරිපාල ද සිල්වා මහතා ඊයේ (5 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) ප්‍රකාශ කළේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. නිවේදන , ලිපිලේඛන, වාර්ෂික වාර්ථා, පෙත්සම්, ආදිය ඉදිරි්පත් කිරීම ඉන් පසුව මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාල ඇමැතිවරු පිළිතුරු ලබා දෙනු ලැබීය. පසුව 27/2 යටතේ පක්ෂ නායකයන් විසින් අසනු ලබන විශේෂ ප්‍රශ්න විමසීම සහ ඒවාට පිළිතුරු ලබා දීම සිදුවිය.

අනතුරුව ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත, සිවිල් ගුවන් සේවා සංශෝධන පනත් කෙටුම්පත සහ එම නියෝගයන් සම්බන්ධයෙන් අදාල විවාදය කෙරිණ.

විවාදය ආරම්භ කරමින් වරාය, නාවුක හා සිවිල් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා :

සිවිල් ගුවන් සේවාව හා ජාත්‍යන්තර සේවා සමග බැලීමේදී අපි වෙනස්වීම අවශ්‍යයි. සේවා සැපයීමේ දී ඉන්ධන, පිරිසිදු කිරීම ඇතුළු සේවා ඒකාධිකාරියෙන් මුදවා තැබිය යුතුයි. එය බහුතර සමාගමක් බවට පත්විය යුතුයි. වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට පියවර ගත යුතුයි.

ගුවන් යානා ඉන්ධන ලබා ගැනීමේ දී අපි මීට වසරකට පෙර ගැටලුවලට මුහුණ දුන්නා. අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ගත්තේ. ඉන්ධන ලබාගැනීම ලෝකයේ රටවල්වල ගුවන් තොටුපළවල විවිධ සමාගම්වලින් තෙල් දෙනවා. අපිත් ඒ ආකාරයට ඒකාධිකාරිය නැතිකර පුළුල් සේවාවක් ලබාගත හැකි ආකාරයට සකස් කරගත යුතුයි.

සංචාරක ව්‍යාපාරය ඇතුළු අපේ ව්‍යාපාර දියුණු කර ගැනීමට මේ පියවර අවශ්‍යයි.

අභ්‍යන්තර ගුවන් සේවා රැසකට ගුවන් යානා ගොඩ බැස්සවීමට ගුවන් තොටුපළ නෑ. ජල තටාංග ගුවන් පථයන් බවට පත්වී තියෙනවා. ඒ සඳහා ආරක්ෂිත ක්‍රමවේදයන් ඇතිකරගත යුතුයි. ඒ සඳහා විශේෂඥ දැනුමක් ඇති සංවිධායක් නීති රීති ඉදිරිපත් කර තියෙනවා. ඒ අනුව රෙගුලාසි හැදුවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ (සජබ) :

රාජ්‍ය ආයතන 85ක් පෞද්ගලීකරණ තීන්දුව තුළ ශ්‍රීලංකන්, ශ්‍රීලංකන් කේටරිං ද ඇතුළත් වෙලා. දැනට කේටරිං සමාගම හා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් සමාගම ලාභ ලබනවා. ලාභ ලබන ඒවත් පෞද්ගලික අංශයට ලබාදීමේ ආරම්භය තමයි මේ සිදුවන්නේ.

රට බංකොළොත් වීමට ප්‍රධාන හේතුව විදේශ විනිමය හිඟවීම සංචාරක ව්‍යාපාරය හා බැඳී තියෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම. දින 8ක් ගුවන් සේවා සැපයීම ගැටලුවක් වුණා. ඉන් පාඩුව ඩොලර් මිලියන 6ක්. ඊයේ (4 දා) දවසෙත් නැවත ගුවන් යානා ප්‍රමාදයක් සිදුවුණා. සංචාරක ව්‍යාපාරයට එය තදින් බලපෑවා.

ලංකාවට තියෙන්නේ ගුවන් යානා 24යි. ඉන් 3ක් අබලන් වෙලා. දැනට රුපියල් කෝටි 40,000ක පාඩුවක් සමාගමට සිදුවෙලා. පස්සේ විශාල ණය මුදලකුත් අරගෙන. නැවත ශ්‍රීලංකන් ගුවන් යානයක සංචාරකයකු හෝ ලංකාවෙ අයෙක් ගමන් ගනීදැයි සැකයි. ඒක රටම අපහසුතාවට පත්වෙනවා. ඉතා ඉක්මණින් ශ්‍රීලංකන් පෞද්ගලීකරණය කළ යුතුයි.

ජනතාව ඉතා අසීරුවෙන් සිටින මොහොතක ඉන්ධන, ගෑස් මිල වැඩි කළා. විදුලි බිලක් වැඩි කරන්න වෙනවා කියලා ඇමැති කියනවා. රටේ ජනතාව ජීවත් වෙන්නේ කොහොමද. මේ ආණ්ඩුවට හිතක් පපුවක් නෑ. ලිට්‍රෝ සමාගම ලාභ ලබනවා. එය ප්‍රතිව්‍යුහගත කරන්න යනවා.

ඉන්ධන තගකාරී මිලකට දෙන්න පුළුවන් කියලා තෙල් බෙදීම සිනොපැක් සමාගමට දුන්නා. අද ඉන්ධන මිල තීරණය කරන්නේ සිනොපැක් සමාගමද. බලශක්තිය පෞද්ගලික අංශයට දුන්නොත් ජනතාවට දෙවියන්ගේ පිහිටයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත (ශ්‍රීලපොපෙ) :

සමහර රාජ්‍ය ආයතනවල දුර්වල ක්‍රියාකාරිත්වය නිසා ඒවා පෞද්ගලීකරණය කළ යුතුයි කියලා ජනතාවම කියන තැනට පත්වෙලා.

අපි වෙනස් විදියට සිතා කටයුතු කළේ නැත්නම් අපට මේ ගැටලුවලින් කවදාවත් ගොඩ එන්න නොහැකි වේවි. ඉන්ධන මිලට වැට් ගැහුවේ නෑ. ගැහුවානම් මිල තව වැඩිවෙනවා. විදුලි බිල මාස හයකට වරක් වෙනස් කරනව කියලා. යළිත් වැඩි කිරීම ගැන අපට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන අපි ඇමැති සමගත් කතා කරනවා. සමහර තීරණ

ගැනීමේදී තිත්ත බෙහෙත් බොනවා වගේ අසීරු තීරණ ගන්න වෙනවා. අපි දේශපාලන තීන්දු තීරණ ගන්නේ නෑ. පවතින තත්ත්වයෙන් රට මුදා ගන්නයි තීරණ ගන්නේ.

පත් කළ මන්ත්‍රි ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ) :

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන විශාල ගැටලු මතුවී තියෙනවා. ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් හා කේටරිං ලාභ ලබනවා.

මේ වනවිට මත්තල ගුවන් තොටුපළේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කරන්නේ ශ්‍රී ලංකන් එකයි. දැන් ශ්‍රී ලංකන් ඉවත්කර වෙනත් පෞද්ගලික ආයතනයකට දෙන්න යනවා. මොන හේතුවකටද මත්තල ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් දෙන්නේ.

ඇමැති නිමල් සිරිපාල :

කටුනායක ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ප්‍රමාණය සීමිතයි. ඒ නිසා මත්තල පිරිසත් එකතු කරගන්න සිදුවෙලා. ඒ නිසයි රජයට සම්බන්ධ වෙනත් ආයතනයකට ලබාදෙන්නේ.

මන්ත්‍රිනී හරිනි අමරසූරිය :

ග්‍රවුන්ඩ් හැන්ඩ්ලිං එකෙන් ලාභ ලබනවා නම් ඒ මගින් නවීන උපකරණ ලබාගත හැකියි.

පෞද්ගිකකරණය කරනවා කියන්නේ තමන්ගේ මිත්‍රයන් අතරේ ආයතනය බෙදාදෙනවා කියන එක නොවෙයි. ගජමිතුරන්ට ආයතන දුන්නට පාඩු ලබන ආයතන ලාභ ලබන්න බෑ.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර :

කිසිම ආයෝජකයෙක් එන්නේ නෑ තමන්ට ලාභයක් ලැබෙන්නේ නැත්නම්. අලාභයක් සිදුවන බව දැන දැන ලොව කිසිම ආයෝජකයෙක් ආයෝජන කරන්නේ නෑ. ශ්‍රී ලංකන් දුන්නට කමක් නෑ. අනිත් ඊට සම්බන්ධ ඒවා දෙන්න එපාලු. එහෙම පාඩු එක විතරක් දෙන්න බැහැ. කවුරුත් ගුවන් යානා විතරක් ගන්නේ නෑ. ගුවන් තොටුපළවල් පවා ගන්නවා. එහෙම නැතිව එක කොටසක් විතරක් ගන්නේ නෑ.

මීට වසරකට පෙර ශ්‍රී ලංකන් ගුවන් යානාවලටත් ඉන්ධන ගන්න වෙන රටකට යන්න සිදුවුණා. අපි ගුවන් යානා ඉන්ධන සැපයීමේ ඒකාධිකාරිය නැති කළා. එතුළින් හිඟය නැති වෙනවා. ගුවන් යානා ඉන්ධණ ගබඩා පරිමාව වැඩි කරන්නත් පියවර ගනිමින් ඉන්නවා.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි (සජබ) :

2019 දී ආණ්ඩුව ගන්න මැතිවරණ සටනේ දී පොහොට්ටුව කිව්වා විකුණපුවා ගන්නවා, විකුණන ඒවා ගන්න එපා. අපි විකුණන්නේ නෑ කියලා. ඒ කාලේ ආයෝජන ගැන කතා කළේ නෑ. දේශීයත්වය ගැන කතා කළා. දුන්න ඒවා ගන්නවා කියපු අය රනිල් වික්‍රමසිංහ ගාව ඉඳගෙන විකුණන්න යෝජනා කරනවා.

ගුවන් යානා ගමන් කරන නිශ්චිත කාල සටහන් තාම හදාගන්න බැරිවෙලා. සේවක අවශ්‍යතා ගැන බලන්නේ නෑ. විශාල ලෙස බදු ගහලා ඔවුන්ව වට්ටලා තියෙන්නේ. සේවක ප්‍රශ්නවලට සාවදානව ඇහුම්කන්දීලා විසඳුම් දෙන්න අපොහොසත් වෙලා.

විපක්‍ෂ නායකවරයා අද ආණ්ඩුවට කරගන්න බැරි බොහෝ දේ විපක්‍ෂයේ සිටිමින් කරනවා. ඒවාට පහර ගහන්න එපා. ඔහු මේ රටේ ජනතාවගේ බදු සල්ලිවලින් හොරා කාපු නැති නායකයෙක්. ජනතාවගේ මුදල් හොරා කාපු අය අල්ලන්න පුළුවන් ආණ්ඩුවක් අපි හදනවා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් (සජබ) :ජාත්‍යන්තර බලපෑම් ගැන කතාකරන මේ ආණ්ඩුව තෙල් ටැංකි ටික නිකම්ම ඉන්දියාවට දුන්නා. අදානි සමාගමට වරාය දුන්නා. ප්‍රසම්පාදනයක් තිබුණද?

වරායේ අක්කර 14ක ඉඩමක් තිබුණා. සේවා සැපයුම් හා ගබඩා සංකීර්ණයක් අවශ්‍යයි. ඒ සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නැතිව රජය විදෙස් කණ්ඩායමකට භාර දුන්නා. මේක වහාම අවලංගු කරන්න. විනිවිදභාවයක් නැහැ. බදු සහන නවත්වන්න කියලා ජාත්‍යන්තර සංවිධාන කියද්දී ශ්‍රී ලංකන් ගුවන් සේවයට චීනයේ විශේෂඥයන්ට බදු සහන දීලා.

අලුත් ප්‍රතිව්‍යුහගත ක්‍රමය මුවාවෙන් විනිවිදතාවයකින් තොරව ආයතනය විකුණන එකට අපි විරෝධය පළ කරනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ) :

රෝහල්වල වටිනා උපකරණ නඩත්තුවක් නැති නිසා ක්‍රියා විරහිත වෙලා. ඒ නිසා රෝගීන් අසරණ වෙලා. ඖෂධ නැති නිසා වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩලය අසරණ වෙලා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ (ශ්‍රීලපොපෙ) :

කොළඹ වරායේ විශාල සංවර්ධනයක් වෙනවා. නැගෙනහිර හා බටහිර පර්යන්ත ඉදිවෙනවා. නැගෙනහිර කොළඹ වරායත් බටහිර අදානි සමාගමත් හදනවා. ගිවිසුම් අනුව නැගෙනහිර ජැටිය මුලින් අවසන් විය යුතු වුවත් බටහිර ජැටිය ඉදිකිරීම් මුලින් අවසන් වන බවයි පේන්නේ. එහෙම වුණත් අපේ සියලු ව්‍යාපෘති අදානිට අයිති බටහිර ජැටියට යනවා. එය ඉතා අවදානම් තත්ත්වයක්. අපි නැගෙනහිර ජැටිය ඉක්මනින් හදාගත්තේ නැත්නම් අපේ ආදායම නැතිවෙනවා. වහාම මේ ගැන අවධානය යොමුකර නැගෙනහිර ජැටියේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන්න.

මෙහෙම වෙන නිසයි අපි මේක පෞද්ගලිකරණය කරන්න කියන්නේ. එවිට දේශපාලන ඇඟිලිගැසීම් නැතිවෙනවා. දුෂිතයන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. අද රාජ්‍ය නායකයන් ලෝකෙ වටේ යනවා වගේ එදා හිටිය නායකයන් ලෝකෙ වටේ ගියා. විශාල පහසුකම් හදා ගත්තා.

පාර්ලිමේන්තුව නැවත අද (06දා) දින පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment