‘ඩැනියෙල්’ එක්ක ජල ගැලීම්: ලිබියාවේ 20,000ක් මරුට

230

10,000ක් අතුරුදන්

‘ඩැනියෙල්’ නමැති ප්‍රබල කුණාටුව කඩා වැටීමත් සමගම හටගත් අධික වැසි හා ජලගැලීම් හේතුවෙන් නැගෙනහිර ලිබියාවේ වැසියන් විසිදහසකට වැඩි පිරිසක් මේ වන විට මියගොස් ඇති බව නැගෙනහිර ලිබියාවේ නගරාධිපතිවරයකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නැගෙනහිර ලිබියාවේ පිහිටි වරාය නගරයක් වන ‘ඩර්නා’ නගරයේ නගරාධිපති අබ්දුල් මෙනම් අල් ගයිති සවුදි අරාබියේ ‘අල් ඇරබියා’ රූපවාහිනී සේවයට පවසා ඇත්තේ ජලගැලීම්වලින් යට වූ නැගෙනහිර ලිබියාවේ පිහිටි වේලි දෙකක් කඩා වැටීමත් සමගම නිකුත් වූ සුනාමි රළක් හා සමාන වූ දැවැන්ත ජල කඳ හේතුවෙන් දිස්ත්‍රික් ගණනාවක් සම්පූර්ණයෙන් විනාශ වී ගොස් ඇති බවයි.

මේ තත්ත්වය හේතුවෙන් එසේ විනාශ වී ගොස් ඇති දිස්ත්‍රික්කවල සිටි 20,000ක් පමණ වූ පිරිසක් මිය ගොස් තවත් 10,000ක් පමණ දෙනා අතුරුදන් වී ඇති බව නගරාධිපතිවරයා සඳහන් කර තිබේ. ඩැනියෙල් කුණාටුව ඉකුත් සෙනසුරාදා (09 දා) ලිබියාවේ උතුරු කොටසට කඩා වැදීමත් සමගම මිලි මීටර් 400ක පමණ අධික වර්ෂාවක් ඇද හැලී ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් හටගත් දරුණු ජලගැලීම්වලින් ‘ඩර්නා’ නගරයේ මහා මාර්ග මුහුදට ගසා ගෙන ගොස් ඇති බවත් මිය ගිය බොහෝ දෙනාගේ මළ සිරුරු සොයා ගෙන ඇත්තේ මුහුදේ පාවෙමින් තිබියදී බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ. මෙසේ ජලගැලීම් හේතුවෙන් නගරයේ බොහෝ නිවෙස් පවුල් පිටින් සේදී ගොස් ඇති අතර ඇතැම් ප්‍රදේශවල නිවාසයක කොටසක්වත් ඉතිරි වී නොමැති බව අනාවරණය වී තිබේ.

ලක්ෂයක පමණ ජනගහනයක් වෙසෙන ‘ඩර්නා’ නගරයේ දස දහස් ගණනක් මෙම ජලගැලීම් හේතුවෙන් අවතැන් වී ඇති අතර පවතින ආපදා තත්ත්වය බලපා ඇති කලාපයට හදිසි නීතිය හා ඇඳිරි නිතිය පනවා පාසල් හා සාප්පු වසා දැමීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. ලිබියාවේ මධ්‍යම රජයට අමතරව නැගනහිර ලිබියාව වෙනත් කණ්ඩායමක් විසින් පාලනය කරනු ලැබුවද පවතින හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විරුද්ධවාදිකම් අමතක කර දමමින් එම රජයන් දෙකම විපතට පත් වූවන් සෙවීමේ මෙහෙයුම් හා සහන සැලසීමේ කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ‘ඩර්නා’ වරාය නගරයේ පවතින ආපදා තත්ත්වය හමුවේ විපතට පත් වූවන් සොයා ලිබියානු සහන කණ්ඩායම් විසින් දියත් කර ඇති සෝදිසි මෙහෙයුමට සහය වීම සඳහා ඊයේ (14දා) වන විට ඊජිප්තුව, ටියුනීසියාව, ඉතාලිය, ස්පාඤ්ඤය හා තුර්කිය විසින් සහන කණ්ඩායම් එහි යවා තිබිණි.

ජලගැලීම්වලින් විපතට පත්ව ඇති ලිබියාවේ ‘ඩර්නා’ නගරයේ නළ ළිංවල පවතින ජලය දූෂණය වී ඇති නිසා එම ජලය පානය කිරීමෙන් වළකින ලෙස මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එම නගරයේ ජනතාවගෙන් ඉල්ලීම් කර තිබේ. විපතට පත්වූවන්ට අවශ්‍ය සහන කඩිනමින් සපයන බවට ද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රතිඥා දී තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment