දුප්පත් ජනයා කබලෙන් ළිපට වට්ටන අලුත් වැට් බද්ද

443

වසරක් ගෙවී නව වසරක් වෙතට ලෝකවාසීන් පා තබනුයේ දහසකුත් බලාපොරොත්තු සිත් හී දල්වා ගෙනය. නමුත් මෙවර ශ්‍රී ලාංකික ජනයාට සිදු වී ඇත්තේ ඇතෙක් බරට උර මත පැට වූ වැට් බද්ද සමඟ නමෝ විත්තියෙන් 2024 නව වසරට පා තැබීමටය. නව අවුරුදු උදාව පිළිගැනීම සඳහා කිරිබතක් නොපිහිසෙන දුගී දුප්පත් ජනයා හට වැට් බද්ද කබලෙන් ළිපට වැටීමක් බඳුය. ලෝකයෙහි ඕනෑම රටක ඉදිරි පැවැත්ම උදෙසා බදු අය කිරීම සිදු කරන අතර එය ශ්‍රී ලාංකික සමාජය තුළ ද පොදු කාරණාවකි. මෙරට සෘජු බදු හා වක්‍ර බදු ලෙස ප්‍රධාන බදු වර්ග දෙකක් ක්‍රියාත්මක වන අතර මේ දිනවල අප අවධානයට ලක් වන්නා වූ වැට් බද්ද නොහොත් එකතු කළ අගය මත පනවන ලද බද්ද, නිෂ්පාදනයේදී, බෙදා හැරීමේදී මෙන්ම ආනයනයේදී ද අය වන්නා වූ වක්‍ර බදු ක්‍රමයකි.

මෙම බදු ක්‍රමය 2002 වර්ෂයේදී පමණ හඳුන්වාදෙනු ලැබූ අතර ඒ වනවිට වැට් බද්දට අදාළව බදු අනුපාත කිහිපයක් ද පැවතුණි. නමුත් පසුකාලීනව බදු අනුපාතය සරල කිරීම අරමුණු කර ගනිමින් වැට් බද්ද තනි බදු අනුපාතයක් බවට පත් කරනු ලැබීය. පසුව 2019 වර්ෂයේදී එතෙක් 15%ක් වූ බදු අනුපාතය 8% දක්වා පහත දැමූවද අනතුරුව මුහුණ දීමට සිදුවූ ගැටලුකාරී ආර්ථික තත්ත්වයත් සමඟ එම බඳු අනුපාතය 12%, 15% ලෙස ක්‍රමයෙන් ඉහළ නැංවූ අතර පසුගිය දෙසැම්බර් මස 11 වන දින වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වීමත් සමඟ මෙතෙක් වැට් බද්දෙන් නිදහස් කොට තිබූ භාණ්ඩ 138 අතරින් 97 ක්ම 2024 වර්ෂයෙහි ජනවාරි 01 වන දින සිට 18%ක වැට් බද්දකට යටත් විය.

දුප්පත් ජනයා කබලෙන් ළිපට වට්ටන අලුත් වැට් බද්ද

කොළඹ විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

ලාංකීය ඉතිහාසය තුළ මෙලෙස බදු අනුපාතයන් ඉහළ දැමූ සෑම අවස්ථාවකදීම පාහේ මනුෂ්‍ය පරිභෝජනයට අත්‍යවශ්‍ය භාණ්ඩ, එනම් සෞඛ්‍ය, අධ්‍යාපන අංශයන් ඇතුළු අනෙකුත් ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය භාණ්ඩ වැට් බද්දෙන් නිදහස් කරන ලදී. එයට හේතුව වන්නේ, වැට් බදු පනවන ලද භාණ්ඩ සහ සේවා භාවිතයෙන් නිමවනු ලබන නිෂ්පාදනයන් හි පිරිවැය ඉහළ යෑම විවිධ තරාතිරම් හී වාසය කරන්නා වූ ජනයාට අහිතකර බලපෑම් එල්ල කිරීමට ඉඩකඩ පවත්නා නිසාවෙනි. එලෙස වැට් බද්දෙන් නිදහස් කර තිබූ භාණ්ඩ අතරින් ඇතැම් භාණ්ඩයන් හී වැට් අනුපාතය 2024 වර්ෂයෙහි ජනවාරි 01 වන දින තෙක් බින්දුවක අගයෙහි පැවතුණි. නමුත් 2024 වර්ෂයෙහි ජනවාරි මස 01 වන දින සිට එම භාණ්ඩ අතරින් කෘෂිකර්ම යන්ත්‍රෝපකරණ, සූර්ය පැනල, දේශීයව නිෂ්පාදනය කරනු ලබන සීනි, පොල්තෙල්, දියර කිරි, ගෑස්, පෙට්‍රල්, ඩීසල්, රසායනික පොහොර, වෛද්‍ය තාක්ෂණික උපකරණ, බිත්තර ඇතුළු භාණ්ඩ හා සේවා 97කටම 18%ක වැට් බදු අය කිරීම සිදුවන අතර තිරිඟුපිටි, සහල් පිටි, පාන් පිටි, ළදරු කිරිපිටි, බොරතෙල්, ඇතුළු භාණ්ඩ හා සේවා 41ක් වැට් බද්දෙන් නිදහස් වේ.

මේ ආකාරයට වැට් බදු ඉහළ දැමීමට මූලිකම හේතුව වූයේ අපේක්ෂිත ආදායමෙන් 15%කට වඩා අඩු අගයක් යටතේ රජයට බදු ආදායම එකතු වීම හේතුවෙන් බලාපොරොත්තු වූ මට්ටමේ ආදායමක් ලබා ගැනීමට නොහැකිවීම නිසා බව නොරහසකි. මෙම තත්ත්වය මත ශ්‍රී ලාංකීය රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී තිබෙන්නා වූ සාර්ව ආර්ථික වැඩසටහනේ දී රජයෙහි වියදමට අදාළව ආදායම සකස් කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන්නා වූ ඉලක්කයන් සපුරා

ගැනීමට ලාංකීය රජයට නොහැකි වේ. එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සුහදශීලීව කටයුතු කිරීමට නොහැකි වීමෙහි ප්‍රතිඵල වශයෙන් මූල්‍ය අරමුදල විසින් ණය මුදල් අනුමත නොකරන අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ද ඉදිරියට කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වේ. මේ හේතුවෙන් ණය තිරසාරභාවය ඇති කිරීම සහ සාර්ව ආර්ථික ස්ථායිකරණය ඇති කිරීම ආදී කටයුතු ඉතාමත් අභියෝගාත්මක තත්ත්වයකට පත්වේ. එවැනි පසුබිමක් තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි දෙවැනි ණය වාරිකය ලබා ගැනීමට නම් වැට් බදු ඉහළ දැමීමේ අවශ්‍යතාවක් රජයට මතු වූ බැවින් කොතරම් පීඩාකාරී වුවද අප මුහුණ දී සිටින්නා වූ ආර්ථික ගැටලුවට විසඳුමක් ලබා ගැනීමට නම් බදු ඉහළ දැමීම අනිවාර්ය කාරණාවක් බවට පත් වී ඇත. මෙම අවස්ථාවේදී බදු අය කිරීම අත්‍යවශ්‍යම ක්‍රියාමාර්ගයක් වුවද ගැටලුව වී ඇත්තේ මෙම පීඩිත බදු ප්‍රතිපත්තීන් හරහා රටෙහි ජනතාවට ඇතිවන්නා වූ ගැටලුකාරී තත්ත්වයන් ය.

මෙම කාරණාවේ දී වක්‍ර බදු ක්‍රමයක් වන වැට් බද්ධ වැඩිවීමත් සමඟ ව්‍යාපාරික අංශය විසින් භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් ඉතාමත් ඉහළ මට්ටමකට වැඩි කිරීම හේතුවෙන් වැට් බද්ද පාරිභෝගිකයා මතට විතැන් වේ. එසේම වැට් බද්ද ඉහළ යෑම තුළ ජනතාවගේ ක්‍රය ශක්තිය පහත වැටී මිලදී ගැනීමේ හැකියාව ඉතාමත් පහළ මට්ටමකට පැමිණෙන අතර අත්‍යවශ්‍ය භාණ්ඩයන්හි මිල ගණන් ඉහළ යෑම ආර්ථිකයෙහි මූලික ජීවනාලියට බලපෑම් එල්ල කරන්නා වූ අංශයන්හී මිල ගණන් ඉහළ යෑමට බලපාන්නා වූ කාරණාවක් වේ. මෙලෙස භාණ්ඩයන්හි නිෂ්පාදන වියදම ඉහළ යෑම හේතුවෙන් භාණ්ඩයක මිල බදු අනුපාතයට වඩා ඉහළ මට්ටමකින් වැඩිවීමටද ඉඩකඩ ඇත. ඒ හේතුවෙන් වෙළෙඳපළ භාණ්ඩ හා සේවාවන්හී ඉල්ලුම ද පහත වැටෙන අතර මෙහි අහිතකර බලපෑම ප්‍රධාන වශයෙන් එල්ල වනුයේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් වෙතටය. එසේම භාණ්ඩ හා සේවා අලෙවිකරණය සිදු කරන්නා වූ පාර්ශ්වයන් වෙතටද මෙහි බලපෑම එල්ල වන බව මේ වනවිටද වැසී ගොස් තිබෙන්නා වූ සහ වැසී යමින් තිබෙන්නා වූ ව්‍යාපාරික ස්ථානයන්ගෙන් සනාථ වේ. එසේම අප දන්නා පරිදි රජයෙහි ආදායමෙන් සැලකිය යුතු කොටසක් ණය සඳහා පොලිය ගෙවීම වෙනුවෙන් වෙන් වේ. මෙම ණය මුදල් ධනපති හස්තයන් ඔස්සේ රජයට ගලා ගෙන එන අතර නැවත පොලිය පියවීම සඳහා සාමාන්‍ය ජනතාවගෙන් බදු අය කිරීම සිදුවේ. මේ ආකාරයට දුප්පතා තව තවත් පීඩාවට පත් කරමින් ඇති හැකි පුද්ගලයන්ගේ පසුම්බිය පෝෂණය වන විට සමාජයේ පවත්නා ආදායම් බෙදීයාමේ විෂමතාව ද තව තවත් තීව්‍ර වේ.

මහ බැංකු පුරෝකතනයන්ට අනුව මේ වසරෙහි උද්ධමනය 2%ක් 3%ක් පමණ ඉහළ යෑමට නියමිතය. ආරම්භයේ සිටම ආදායම් බදු එක් කරන්නා වූ පාර්ශ්වයන් මෙම අර්බුදය පිළිබඳ අනතුරු ඇඟ වූ අතර ඔවුන් පෙන්වා දුන්නේ ආදායම් බදු වැනි ලාභ බදු, සංස්ථා බදු අයකිරීමේ යාන්ත්‍රණය පුළුල් කරන ලෙසය. තවද මේ වනවිට හෙළි වන්නා වූ කාරණාවන්ට අනුව නියමිත බදු ප්‍රමාණය නියමිත කලට නොගෙවන්නා වූද කිසිසේත්ම බදු නොගෙවන්නා වූ ද ඉහළ ආදායම් ලාභීන් පිරිසක් ශ්‍රී ලංකාව තුළ සිටියි. ඔවුනගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් ඉතා ඉහළ අගයක් දක්වා බදු අනුපාතය වැඩි කිරීමට සිදුවන අතර එහි පීඩාවද පැටවෙන්නේ සාමාන්‍ය ජනතාවගේ කර මතය. වගකිව යුතු පාර්ශ්වයන් විසින් නිසි මඟ පෙන්වීමක් සහ කාර්යක්ෂමතාවකින් යුතුව කටයුතු කළේ නම් පවත්නා අනුපාතයට වඩා ඉතාමත් අඩු අනුපාතයකින් ජනතාවගෙන් බදු මුදල් අය කර ගැනීමට ද හැකියාව උදාවනු ඇත.

දකුණු ආසියානු කලාපයේ වෙනත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ තනි වැට් බදු අය කිරීමේ ක්‍රමයකි. මෙලෙස තනි බදු ක්‍රමයක් අනුගමනය කිරීම හේතුවෙන් ඉතාමත් පහළ පාන්තිකයන් භාවිත කරන්නා වූ අත්‍යවශ්‍ය භාණ්ඩවලට මෙන්ම ඉහළ පාන්තිකයන් භාවිත කරන්නා වූ ඉතාමත් සුඛෝපභෝගී භාණ්ඩවලටද සමාන බදු මුදලක් අය කිරීම සිදුවේ. මෙය සාධාරණ බවේ මූලධර්මය අමු අමුවේ උල්ලංඝනය කරන්නා වූ අවස්ථාවකි. නමුත් දකුණු ආසියානු කලාපයෙහි බංග්ලාදේශය, ඉන්දියාව ආදී රටවල් ගත් විට වැට් බදු අනුපාතික කීපයක් එම රටවල ක්‍රියාත්මක වේ. ලංකාව තුළද 18%ක තනි අගයක් වෙනුවට අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා 5%ක බදු ප්‍රතිශතයක් ද සාමාන්‍ය භාණ්ඩ සඳහා 15% බදු ප්‍රතිශතයක්ද සුඛෝපභෝගී භාණ්ඩ සඳහා 25%ක බදු ප්‍රතිශතයක් ද වශයෙන් බදු අය කිරීමට හැකිය. නමුත් දුර්වල ආයතනික ක්‍රියාකාරිත්වය හේතුවෙන් බදු එකතු කර ගැනීම දුෂ්කර වන බව පවසමින් මෙවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකළ ද මෙම අවස්ථාවේදී ජනතාව මත පටවන ලද බදු බර අවම කිරීමට ගතහැකි උචිතම ක්‍රියාමාර්ගයක් ලෙස එය හැඳින්විය හැකිය. රජයක් සෑම විටම උත්සාහ ගත යුත්තේ නාස්තිකාර වියදම් ඵලදායී ලෙස හසුරුවා ගනිමින් ජනපීඩිත පාලන ක්‍රමයකින් මිදීමටය. නමුත් අප දන්නා කියනා කාලයේ සිට සිය වියදම් මනා ලෙස කළමනාකරණය කර ගනිමින් කටයුතු කිරීමට රජයට ඉඩ ප්‍රස්ථාව පැවතියද ඒ කෙරෙහි අවධානයක් යොමු නොකර සිටීම කනගාටුවට කරුණකි.

ආර්ථික අර්බුදයක් තිබෙන බව සැබෑය. ඉන් ගොඩ ඒමට නම් බදු අය කළ යුතු බව ද සැබෑය. එසේම පීඩිතයා සදාකාලිකවම පීඩාවට පත් කරමින් අය කරන්නා වූ බදු ප්‍රතිපත්තීන්ගේ වෙනසක් සිදු විය යුතු බවද සැබෑය. එහිදී රජය විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත වන්නේ පවත්නා ආර්ථික අර්බුදය දරාගැනීමට හැකියාවක් පවත්නා කණ්ඩායමෙන් ඉහළ බදු ප්‍රමාණයක් ද ආර්ථික අර්බුදය දරාගැනීමට හැකියාවක් නොපවත්නා කණ්ඩායමෙන් පහළ බදු ප්‍රමාණයක් ද අය කිරීමෙන් අදාළ අරමුණ කරා ළඟා වීමය. නමුත් ඒ වෙනුවට පහළ ආදායම්ලාභීන්ගෙන්ද ඉහළ ආදායම්ලාභීන්ට සමානව බදු අය කිරීම නුසුදුසු ක්‍රියාවකි. ලෙඩට දුකට ඖෂධ ගැනීමට නොහැකිව, දරුවන් පාසල් යැවීමට නොහැකිව, පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීමට නොහැකිව, තම ව්‍යාපාර කටයුතු නිසියාකාරයෙන් සිදුකරගෙන යෑමට නොහැකිව පීඩාවට පත් දහසකුත් ජනයා බලාගත් අතම බලා සුසුම් හෙලනා විට යමෙකු පීඩිතයාගේ බදු මුදලින්ම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් පීඩිතයා තව තවත් පීඩාවට පත් කරන්නේ නම් එතරම් සමාජ අසාධාරණයක් තවත් නොමැත.

මෙතෙක් කල් නොමිලයේ පොහොර ලබාදෙමින්, ඉතාමත් අඩු මිල ගණන් යටතේ විදුලිය දෙමින්, තෙල් ගෑස් සහ සමෘද්ධි අස්වැසුම ඇතුළු අනෙකුත් දීමනා සපයා දෙමින් ශ්‍රී ලාංකීය පරිපාලනය විසින් දිගින් දිගටම සුබසාධන රාජ්‍යයක් පවත්වාගෙන ගිය බව සත්‍යය. නමුත් ගැටලුව නම් පවත්නා අර්බුදය හමුවේ ශ්‍රී ලාංකීය පරිපාලනයට තවදුරටත් සුබසාධන රාජ්‍යයක් නඩත්තු කිරීමේ ශක්‍යතාවක් නොමැති වීමය. එබැවින් රජයෙන් සහන බලාපොරොත්තු වීම හෝ ආණ්ඩු පෙරළියක් ඔස්සේ පවත්නා ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම ඵල රහිත කටයුත්තකි. මන්දයත් කුමන පාර්ශ්වයක් බලයට පත්වුවද පවත්නා ආර්ථික අර්බුදය හමුවේ වැට් බදු අඩු කිරීමට කටයුතු කළහොත් ලාංකේය ආර්ථිකය පවත්නා තත්ත්වයට වඩා ඛේදජනක පත්වයකට පත්වන බැව්නි.

එබැවින් මනා මූල්‍ය කළමනාකරණයකින් යුතුව මෙම අර්බුදකාරී කාලවකවානුවට මුහුණ දීම විනා ආණ්ඩු මාරු කිරීමෙන් කිසිදු පල ප්‍රයෝජනයක් නොවන බව ජනතාව වටහාගත යුතුය. කෙතරම් අසීරුවද කෙතරම් පීඩාකාරී වුවද තමන්ගේ අය පසට සරිලන ආකාරයෙහි වැය පසක් පවත්වාගෙන යමින් මුදල් වියදම් කිරීමේ සුපුරුදු රිද්මය යම්තාක් දුරකට වෙනස් කර ගැනීමට තරම් ජනතාව නම්‍යශීලී විය යුතුය. එම කාරණාවේදී මනා මූල්‍ය අරපිරිමැස්ම සහ මූල්‍ය විනය සාමාන්‍ය ජනතාව තුළ ගොඩනංවා ගැනීම ඉතාමත් වැදගත් වේ. එසේම සියල්ලන්ටම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි වුවද ඇති හැකි අයුරින් එදිනෙදා පරිභෝජනයට අවැසි දෑ වගා කොට ගනිමින් ස්වයංපෝෂිතභාවයක් ගොඩනංවා ගැනීමට තනි පුද්ගලයන් වශයෙන් අප කටයුතු කළ යුතුය. මේ ආකාරයට යැපීම් මානසිකත්වය බැහැර කරමින්, දේශපාලන අස්ථාවරත්වයකින් තොරව වර්තමාන වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වා ගනිමින් ඉදිරියට ගමන් කළහොත් 2029 පමණ වනවිට මෙම අර්බුදයෙන් රට බේරා ගැනීමට හැකියාව පතින බවට සුබ බලාපොරොත්තුවක් තවමත් ලාංකියයන් හට තිබෙන්නා වූ බව අප සිහි තබා ගනිමින් නව වසරෙහි වැඩ රාජකාරි සඳහා අත්පොත් තැබිය යුතු ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා සමඟ පැවත් වූ සාකච්ජාවක් ආශ්‍රයෙන් සම්පාදිත ලිපියකි.

එච්. කේ. එස්. නවෝදා හඳරාගම
ජන සන්නිවේදන අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment