නව නිෂ්පාදන ක්‍රියාවලියකට මංපෙත් විවර කිරීම…

304

නිදහසෙන් පසු අති දුෂ්කරම කාලය අප මේ වන විට පසුකර ඇත්තෙමු. තවමත් අප ගත කරමින් සිටින්නේ ද දුෂ්කර කාලයක් බව ඇත්තය. එහෙත් අප පසුකළ පසුගිය දුෂ්කරම කාලයට සාපේක්ෂව මේ වන විට කිසියම් ආර්ථික ස්ථාවරත්වයකට රට පැමිණ ඇති බව රහසක් නොවේ. පසුගිය අර්බුද කාලයේ අතිමහත් බහුතර ජනයාට අමතරව මේ රටේ ව්‍යාපාරිකයා සහ කර්මාන්ත හිමියා ද දහසකුත් එකක් ප්‍රශ්නවලට මුහුණ දුන් බව අපි කව්රුත් දනිමු. එම කාලයේ ඉන්ධන තිබුණේ නැත. පැය ගණන් විදුලිය කැපීම සිදු විය. නොයෙකුත් විරෝධතා, උද්ඝෝෂණ සහ අරගල යනාදිය රටේ ක්‍රියාත්මක විය. මුදල් තිබුණත් රටේ පැවැති විදේශ විනිමය හිඟය නිසා පිටරටින් අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය. ඉන්ධන හිඟය නිසා නිෂ්පාදනය කරන දේ ප්‍රවාහනය කිරීමට ද කර්මාන්තකරුවන්ට ගැටලු ඇති විය. අපනයන කර්මාන්තවලට අමුද්‍රව්‍ය ප්‍රශ්න මෙන්ම ප්‍රවාහන ගැටලු නිසා කලට වෙලාවට සිය ඇණවුම් ලබා දීම ද දුෂ්කර තත්ත්වයට පත් විය. මේ නිසා කම්හල්වලට උපරිම ධාරිතාවයෙන් වැඩ කිරීමට අපහසු තත්ත්වයක් ද උද්ගත විය. මෙය එම ආයතනවල සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවයට ද අහිතකර ලෙස බලපාන ලද කරුණක් විය. මේ පසුබිම හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යාපාර බොහොමයක් වැසී ගොස් ලක්ෂ ගණනකට රැකියා අවස්ථා ද අහිමි වී ගියේය. මේ අතර තවත් කර්මාන්ත සහ ව්‍යාපාර බොහොමයක් එම දුෂ්කර කාලයේ එම ප්‍රශ්නවලට අමාරුවෙන් නමුත් මුහුණ දෙමින් එම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගිය බව සහ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාව ඇති කළ බව ද අප මතක් කළ යුතුමය. තවමත් එම ආයතන රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පවත්වාගෙන යන්නේ අමාරුවෙන් විය හැකිය. මේ නිසා රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය පණ ගැන්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු මොහොතකට අපි එළඹ සිටිමු.

සුබ ලකුණු සහ අභියෝග

අප මේ වන විට කිසියම් ආර්ථික ස්ථාවර බවකට පැමිණ සිටියත් අප තවමත් සිටින්නේ ඍණ ආර්ථිකයක ය. ගිය වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය වාර්තා කළේ සියයට 7.8 ක ඍණ ආර්ථික වර්ධනයකි. එසේම මේ වසරේ (2023) පළමු කාර්තුවේ වාර්තා කර ඇත්තේ සියයට 11.5 ක ඍණ ආර්ථික වර්ධනයකි. මේ තුළ මේ වසරේ (2023) ද ලැබෙනු ඇත්තේ ආර්ථික පසුබෑමකි. බොහෝ විට ලබන වසරේ (2024) සිට සුළු වශයෙන් හෝ ධන ආර්ථික වර්ධනයකට ගමන් කිරීමට ඉඩහසර සැලසෙනු ඇත. එසේ නම් ක්‍රමයෙන් රටේ ආර්ථික කටයුතු පණ ගන්වා ගනිමින් ධන ආර්ථිකයක් කරා අප ගමන් කළ යුතුව ඇත. ඒ සඳහා උද්ධමනය සහ පොලී අනුපාත අඩු වෙමින් යහපත් පරිසරයක් ද ක්‍රමයෙන් නිර්මාණය වෙමින් තිබේ. ඇමෙරිකානු ඩොලරය සහ රුපියල අතර විනිමය අනුපාතය ද කිසියම් ස්ථාවරත්වයකට පත්ව ඇත. රුපියල මේ වසරේ මේ දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 20 ක පමණ ශක්තිමත් වීමක් ද සිදුව ඇත. මේ අතරම අභියෝගාත්මක සාධක ද නැතුවා නොවේ. ඒ තත්ත්වයන් සමනය කර ගැනීමට අවශ්‍ය සහාය රජය සහ රාජ්‍ය ආයතන විසින් ව්‍යාපාර සහ කර්මාන්තකරුවන්ට ලබාදිය යුතුව තිබේ.

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය – 2023

මේ වසරේ (2023) ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය අද (22) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ වේ. මෙම ප්‍රදර්ශනය අද දින සිට ජුනි 25 දින දක්වා පැවැත්වීමට නියමිතය. උදේ 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මෙම ප්‍රදර්ශන භුමිය විවෘතව පවතී. මෙය දෙස් විදෙස් ගැනුම්කරුවන් සහ ආයෝජකයන් මුණගැසෙන වසරේ දැවැන්තම කර්මාන්ත ප්‍රදර්ශනයයි. මේ සඳහා වෙනත් රටවල් ගණනාවකින් නියෝජිතයින් (ආයෝජකයින් සහ ගැනුම්කරුවන්) පැමිණෙන බවත්, ඔවුන්ගේ එම පැමිණීම තහවුරු කර ඇති බවත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම පවසයි.

මෙය නැරඹීමට ඔබට ද අද (22) සිට ජුනි 25 දක්වා පැමිණිය හැකිය. ඔබත් දියුණුවීමට කැමැති ව්‍යවසායකයෙක් නම් ඔබගේ කර්මාන්තයේ ඊළග පියවරට මෙම ප්‍රදර්ශනය මහඟු රුකුලක් වනු ඇති බව ද සඳහන් කළ හැකිය. මේ අනුව දේශීය සහ විදේශීය වෙළෙඳපොළ සම්බන්ධීකරණය මෙන්ම අලුත් තාක්ෂණය ගැන දැන ගැනීමට ද මෙම ප්‍රදර්ශනයට සහභාගි වීමෙන් ඔබට අවස්ථාව උදා වේ. එසේම ඔබට නව ව්‍යවසායක අදහසක් ඇත්නම් ඒ අදහස ක්‍රියාත්මක තත්ත්වයට පත්කර ගැනීම සඳහා වන උපදෙස් ලබා ගැනීමට මෙන්ම ඔබට තිබෙන ගැටලු විසඳා ගැනීමට ද මෙම ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට පැමිණ සිදුකර ගත හැකිය. ඒ අවස්ථාවේම විසදිය නොහැකි ප්‍රශ්න පසුව හෝ විසඳා දීමට අවශ්‍ය පසුවිපරම ද අදාළ අයගේ විස්තර ලබාගෙන මෙහිදී සිදුකෙරෙනු ඇත. මෙය ඇත්ත වශයෙන්ම කර්මාන්ත අමාත්‍යාංශයේ හෝ කාර්මික සංවර්ධන මණ්ඩලයේ පමණක් වැඩක් නොවේ. වෙනත් අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන රැසක් සම්බන්ධ වන ඉතා පුළුල් වැඩපිළිවෙළකි. කර්මාන්ත සහ ව්‍යාපාර අංශවලට අදාළ විද්වත් සාකච්ඡා හා සම්මන්ත්‍රණ මෙන්ම නව පර්යේෂණ ගැන දැනුම් හුවමාරු කර ගැනීමට අවශ්‍ය පහසුකම් ද මෙහි සංවිධානය කර ඇති බව අපට දැන ගැනීමට තිබේ.

ආරක්ෂක හමුදා අංශවලට ද වෙනම කලාපයක් මෙහි වෙන් කර දී ඇත. ඒ යුද ආයුධ ප්‍රදර්ශනයට නොව එම අංශවල සිදුකරමින් සිටින නව නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා බව වෛද්‍ය සාරංග පවසයි. කර්මාන්ත සහ ව්‍යාපාර ගැන දැනුම ලබා ගැනීමට මෙන්ම මෙහි සංවිධානය කර ඇති ප්‍රදර්ශන කුටි මගින් නොයෙකුත් භාණ්ඩ සහන මිලට මිලදී ගැනීමට ද ඔබට අවස්ථාව උදා වෙනු ඇත. එපමණක් නොව සවස් කාලයේ සිට මෙයට සහභාගි වෙන අයගේ රස වින්දනය සහ විනෝදාස්වාදය වෙනුවෙන් ද යම් යම් වැඩසටහන් මෙහි සංවිධානය කිරීමට සැලසුම් කර ඇත. ඒ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ තුර්යවාදක කණ්ඩායම්වල සහභාගිත්වයෙනි. මේ නිසා එක් දිනක් හෝ පැමිණ අද සිට ආරම්භ වන මෙම මහඟු ප්‍රදර්ශනයෙන් ප්‍රයෝජන ලබාගන්නා ලෙස කර්මාන්තකරුවන්ට පමණක් නොව මේ රටේ සියලුම පුරවැසියන්ට ද අපි මතක් කර සිටිමු.

ව්‍යවසායක සංවර්ධනය

පසුගියදා ලක් එෆ්එම් නාලිකාවේ ‘නැගණෝදය’ වැඩසටහන මගින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතාව සංවාදයකට කැඳවාගෙන තිබූ අතර දුරකථනය මගින් අදහසක් ලබා ගනිමින් මේ ලියුම්කරුගේ අදහස එම වැඩසටහනට ලබා ගැනීමට ද එය මෙහෙයවන මාධ්‍යවේදී අමිල රත්නායක කටයුතු කළේය. ඒ සඳහා අදහස් දක්වමින් මේ ලියුම්කරු සඳහන් කළේ ව්‍යවසායකත්ව සංවර්ධනයකට අවශ්‍ය පරිසරය උදා කරදිය යුතු බවයි. ආර්ථිකය තුළ නව රැකියා අවස්ථා උදා කර දිය හැක්කේ ව්‍යවසායකයන්ටය. මේ නිසා නව ව්‍යවසායකයන්ට අත දී ඔවුන්ට පෙරට පැමිණ කර්මාන්ත, ව්‍යාපාර යනාදිය අරඹා නව රැකියා අවස්ථා ජනිත වන පරිසරයක් ඇති කිරීමට අවශ්‍ය පහසුකම් සහ පරිසරය රජය මගින් සහ අනෙකුත් රාජ්‍ය ආයතන මගින් උදා කර දිය යුතු වේ. ඒ සඳහා මෙම ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය ද නොමද පිටිවහලක් වනු ඇත.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ

මේ අතර අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබන ජුලි මාසයේ දී ගෙවීමට රජය කටයුතු කරමින් සිටී. මෙම අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා අයදුම්පත් කැඳවා ලැබුණු ලක්ෂ 37 කට අධික අයදුම්පත් අතරින් අවසානයේ මිලියන 2.3 ක පිරිසක් (ප්‍රතිලාභී පවුල් සහ තැනැත්තන්) සුදුසුකම්ලත් ප්‍රතිලාභීන් වශයෙන් මේ වන විට තෝරාගෙන ඇත. එම සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය ප්‍රසිද්ධියට පත් පත් කිරීම පෙරේදා (20) දවල් මුදල් අමාත්‍යාංශයේ දී වැඩබලන මුදල් ඇමැති ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මෙම නාමලේඛනය ඊයේ (21) සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම සේවා වසම් මට්ටමින් ප්‍රසිද්ධියට පත් කිරීම ඇරඹිණි. මෙම නාම ලේඛනය දැන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවිය මගින්ද ඔබට දැකබලා ගත හැකිය.

අද දින සිට දින 10ක කාලයක් එනම් ජුනි 30 දක්වා විරෝධතා ඉදිරිපත් කිරීමට සහ අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇත. මේ අනුව මෙම ප්‍රතිලාභී නාමලේඛනයේ තවත් යම් යම් යාවත්කාලීනවීම් සිදු විය හැකිය. කෙසේ හෝ අවශ්‍ය කරන්නේ වඩාත්ම සුදුසු නිවැරදි පිරිසකට පමණක් මෙම සුභසාධක ප්‍රතිලාභ ලබා දීමයි. එසේ නැතහොත් වන්නේ මුදල් නාස්තියක් මෙන්ම මෙම සහන ලබා දීමේ අරමුණ ද ඉටු නොවීමකි. මේ ගැන අපට අතීත අත්දැකීම් ඕනෑ තරම් තිබේ.

බිලියන 208 ක වියදමක්

මේ ප්‍රතිලාභී ලක්ෂ 23 දෙනාට රුපියල් බිලියන 208 ක මුදලක් සුභසාධක ප්‍රතිලාභ වශයෙන් ගෙවීමට ඇස්තමේන්තු කර ඇතැයි ද එම මුදල් කෙලින්ම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීම ජුලි මාසය තුළ සිදු කෙරෙන බව ද වැඩබලන මුදල් ඇමැති ශෙහාන් සේමසිංහ මහතා මෙම ප්‍රතිලාභී නාමලේඛනය ප්‍රසිද්ධියට පත්කරන අවස්ථාවට එක්වෙමින් කීවේය. ඒ අනුව මුදල් අමාත්‍යාංශය යටතේ ඇති මෙම සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට සහන මුදල බැර කිරීම සෘජුවම සිදු කෙරේ. ආධාර දීමට අමතරව අවශ්‍ය කරන්නේ ඒ අය දිළිඳුකමින් මුදා ගෙන ඔවුන් සවිබල ගැන්වීමයි. මේ සුබසාධක ගෙවීම් ගැන විස්තර ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යාංශයේ දී පෙරේදා (20) දවල් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වැඩබලන මුදල් ඇමැති ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ මේ ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වගකීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පැවරෙන බවයි. මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අදාළ අංශවලට උපදෙස් දී ඇති බව ද ශෙහාන් සේමසිංහ ඇමැතිවරයා සඳහන් කළේය. මේ අවස්ථාවට මුදල් අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් ඒ.කේ. සෙනවිරත්න මහතා සහ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජේරත්න මහතා ඇතුළු රජයේ නිලධාරීහු විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

නිෂ්පාදන කේන්ද්‍රීය අපනයන ආර්ථිකයකට අප යා යුතුයි

නව නිෂ්පාදන ක්‍රියාවලියකට මංපෙත් විවර කිරීම…

වෛද්‍ය සාරංග අලහප්පෙරුම – ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති

නිෂ්පාදන කේන්ද්‍රීය අපනයන ආර්ථිකයකට අප යා යුතුව තිබෙනවා. එයට අප ආරම්භයක් දී තිබෙනවා. එය වසර ගණනාවක ක්‍රියාවලියක්. ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සහ පසුගිය කාලය තුළ සමාජයේ නිර්මාණය වූ කතාබහ වගේම ඉදිරියේ දී සිදුවීමට නියමිත යම් යම් ප්‍රතිසංස්කරණ යනාදී සියල්ලම එවැනි පරිසරයක අවශ්‍ය වටපිටාව නිර්මාණය කරනවා. අභියෝගාත්මකම කාලය පසු කරමින් අපි දැන් යම්කිසි ස්ථාවරත්වයකට පැමිණ සිටිනවා. ඉදිරි කාලයේ මේ තත්ත්වය තවත් වැඩිදියුණු කරගත්තොත් අපි අපේක්ෂා කරපු සංවර්ධිත දේශය නිර්මාණය කරගන්න පුළුවන් වෙයි. කාර්මික සංවර්ධන මණ්ඩලය කර්මාන්ත අමාත්‍යාංශය සමග එකතු වෙලා ඒ සඳහා විශේෂ කැපකිරීමක් දිවයිනේ සතර කොනින්ම අප ක්‍රියාත්මක කරමින් ඉන්නවා. රජය සහ රාජ්‍ය ආයතන විදියට අපේ වගකීම ව්‍යාපාර කරන එක නෙවෙයි ව්‍යාපාර කරන අයට පහසුකම් සලසා දීමයි. එනම් ව්‍යවසායකයන්ට, කර්මාන්ත හිමියන්ට, නිෂ්පාදකයනට කටයුතු කරන්න අවශ්‍ය පහසු පරිසරය නිර්මාණය කරලා දෙන එකයි. ඒ වෙනුවෙන් තමයි අපි කැප වෙලා කටයුතු කරන්නේ.

ප්‍රධාන කර්මාන්ත අංශ 20 ක නව නිර්මාණ එළිදැක්වෙනවා


වෛද්‍ය රමේෂ් පතිරණ – කර්මාන්ත හා වැවිලි කර්මාන්ත ඇමැති
නව නිෂ්පාදන ක්‍රියාවලියකට මංපෙත් විවර කිරීම…

ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයන් නව නිර්මාණකරුවන් සහ පර්යේෂකයන් ඇතුළු ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයට දායකත්වය ලබාදෙන සෑම කෙනෙකුගේම දායකත්වයෙන්, සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය – 2023 සාර්ථක කර ගැනීමට සහාය දෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මේ රටේ ප්‍රධාන කර්මාන්ත අංශ 20 ක් ආවරණය වන පරිදි තම නිර්මාණ එළිදැක්වීමට අවශ්‍ය අවස්ථාව එම කර්මාන්තකරුවන්ට සැලසෙනවා. එහිදී දේශීය සහ විදේශීය ගැනුම්කරුවන්, ප්‍රදර්ශකයන් සහ ඒ වගේම අනෙකුත් සියලු දෙනාගේම සහයෝගයෙන් ශ්‍රී ලංකාව තුළ නව නිෂ්පාදන කාර්යාවලියක් ආරම්භ කරන්නටත් මෙම ජාතික ව්‍යවසායකත්වය සහ නිෂ්පාදන ආර්ථිකය පිළිබඳ දැනුමත් පාසල් දරුවන් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඇතුළු සියලු දෙනාටත් ලබා දීමටත් කාර්මික සංවර්ධනය බලාපොරොත්තුවෙන් කටයුතු කරනවා. ඒ නිසා මෙම මාහැඟි අවස්ථාවට සම්බන්ධ වන ලෙස අපි සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන්ම ඉල්ලා සිටිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment