ජනතා විමුක්ති පෙරමුණේ අප්‍රේල් විරු සමරුව යෙදී තිබුණේ පසුගිය පස්වැනිදාටය. වර්තමානයේ ජවිපෙ සම්බන්ධයෙන් රටේ මතුව තිබෙන කතාබහ සහ දේශපාලන වාතාවරණය ගැන කියැවීමට මේ ලිපියේ අන්තර්ගත කරුණු ඉවහල් වනු ඇතැයි අපි විශ්වාස කරමු.

වර්ෂ 1948 පෙබරවාරි 04 වැනිදා සුදු අදිරද පාලකයෝ ශ්‍රී ලංකාව අතහැර ගියහ. එහෙත් සුදු පාලකයන් මෙරට පුහුණු කර සිටි කළු පාලකයෝ බලය අතට ගත්තහ. ඔවුහු රටේ සමාජ, ආර්ථික, දේශපාලනික අර්බුදවලට පැලැස්තර ඇලවූහ. ඩී.ඇස්. සේනානායක ගොවිජනපද ව්‍යාපාර ආරම්භ කළ ද ඒවා පසුකාලීනව වල්බිහි වන්නට විය. සිරිමාවෝ බණ්ඩාරනායක වැවිලි ආර්ථික ප්‍රතිපත්තියක් ආරම්භ කළ ද එහි ක්ෂණික ක්‍රියාකාරිත්වය ජනතාව ප්‍රතික්ෂේප කළහ. ජේ.ආර්. ජයවර්ධන 1977 විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීමත් සමඟ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය දෙදරා පුපුරා ගියේය. ජේ.ආර්. ජනාධිපතිවරයා අමාත්‍ය ගාමිණි දිසානායක යොදවා කඩිනම් මහවැලි ව්‍යාපාරය හඳුන්වා දුන්නද එය තවත් සුදු අලියෙක් පමණක්ම විය.

රටේ ජීවනාලිය වූ කෘෂිකර්මාන්තයේ බිඳ වැටීම පිළිබඳ රෝහණ විජේවීර ඓතිහාසිකව කරුණු අධ්‍යයනය කිරීමෙන් පෙන්වාදුන් කිසිම වැදගත් දෙයක් නිදහසින් පසුව බලයට සපැමිණි මේ මුග්ධ පාලකයෝ තඹ දොයිතුවකට මායිම් නොකළහ. රෝහණ විජේවීරගේ දේශපාලන දැක්ම ගැඹුරින් නිරීක්ෂණය කළ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1983දී කිසිම හේතුවක් නොමැතිව ජනතා විමුක්ති පෙරමුණ තහනම් පක්ෂයක් බවට පත්කර ඝාතනයට මුල් අඩිතාලම තැබුවේය.

ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික අර්බුදවලට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ සාරගර්භ යෝජනා යූ.ඇන්.පී. ආණ්ඩුවේ නායකයෝ ප්‍රතික්ෂේප කළහ. අද ලංකාව මුහුණපා සිටින අර්බුද හමුවේ රෝහණ විජේවීරගේ දේශපාලන දර්ශනයේ හරස්කඩක් ගැන සාකච්ඡා කිරීම වටනේය.

  1. ආර්ථික අර්බුදය
  2. ජාතික ගැටලුව විසින් ජනිත අර්බුදය
  3. පාලක ධනේශ්වර පන්තියේ අර්බුදය
  4. නිර්ධන පන්ති ව්‍යාපාරයේ අර්බුදය

‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?‘ යන ග්‍රන්ථයේ පළමු පරිච්ඡේදයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන රෝහණ විජේවීරයෝ මෙසේ ලියති.

“පොදු අර්බුදයේ මේ උල්පත් අතරින් මූලික සහ ඉතාමත් වැදගත් වනුයේ ආර්ථික අර්බුදයයි. සෙස්සන් සඳහා මවකගේ වැඩකොටස ඉටුකරන්නේ මේ අර්බුදයයි. මේ ආර්ථික අර්බුදයේ උකුළ මත සෙසු කනිෂ්ඨ හවුල්කරුවන් තිදෙනා වැඩුණි.”

මේ ආකාරයෙන් ආර්ථික අර්බුදය වර්තමානයේදී නව ජවයකින් පිම්මේ සහ හැල්මේ ඉදිරියට ඇදෙමින් පවතින බව ලාංකේය සමාජය දෙස විමසිල්ලෙන් බලන විට පෙනී යයි.

  1. රැකියා ප්‍රශ්නය උග්‍රවීම.
  2. උද්ධමනය වේගයෙන් ඉහළ යෑම.
  3. දේශීය හා විදේශීය ණයගැතිභාවය ඉහළ යෑම.
  4. ජාතික සම්පත් කුණු කොල්ලයට විකිණීමට හා ශ්‍රම සූරාකෑමට බහුජාතික සමාගම්වලට ආරාධනා කිරීම.
  5. ගෙවිය නොහැකි ණය අහෝසි කරන ලෙස ධනවාදී රටවලින් ඉල්ලා සිටීම.
  6. ජාතික සම්පත් (ඉල්මනයිට්), ඇපටයිට්, පොස්ෆේට්, මැණික්, මිනිරන්, ක්යොලීන් මැටි කුණු කොල්ලයට විකුණා දැමීම.
  7. පොදුජන ජීවිතයේ සෑම පාර්ශ්වයකම පිරිහීම සහ බිඳවැටීම.

වර්තමානයේ රනිල්ලා . මහින්දලා එකතු වී දඩ . බදු මත රට පාලනය කරති. රටේ සමස්ත ජනතාව පීඩාවෙන් පීඩාවට වැටී සිටිති. නිෂ්පාදන ආර්ථිකයක් ගැන වගවාසගම් නොදත් ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට පාස්කු ප්‍රහාරය එල්ල කරනතුරු රනිල්.මෛත්‍රි බලා සිටියහ. ‘භේද කොට රජ කරනු’ යන බි්‍රතාන්‍යයන්ගේ න්‍යාය රනිල්ලා . මහින්දලා එක්ව ක්‍රියාත්මක කළහ.

ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව ඔවුනට රැවටුණහ.

ගෝඨාභය නමැති බියගුලු මිනිසා බලයට ගෙන ඒමට ඔවුහු කැමැත්ත ප්‍රකාශ කළහ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඉතිහාසයේ කවර කලෙකවත් නොවූ තරම් වේගයකින් රටේ සමස්ත ආර්ථිකය පුපුරා ගියේ රටේ ජනතාව මත දැවැන්ත ආර්ථික පීඩනයක් ඇති කරමිනි. අද මුළු රටම ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට නොහැකි තරමට පතුලටම ගිලීගොස් ඇත. එකල රෝහණ විජේවීර පැවසුවේ “ආර්ථික සැලසුමක් නැති මේ චෞර පාලකයන්ගේ අකාර්යක්ෂමතාව නිසා අනාගතයේ දිනෙක ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අවපාතයකට මුහුණපාන බවය.” අද රෝහණ විජේවීරගේ ඒ ප්‍රකාශ මහින්දලා . රනිල්ලා ජනතාවට සැබෑ කරදී ඇත.

රටේ අර්බුදවලට විසඳුම් සෙවූ විජේවීරගේ දේශපාලන දර්ශනය

නිදහසින් පසු වසර හැත්තෑපහක් පුරාවට මේ චෞර පාලකයන් තට්ටු මාරු ක්‍රමයට බලයට ගෙන ආ රටේ ජනතාවට අතිභයානකම ප්‍රතිඵල උදා වූයේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගොවීන්ට සංග්‍රහ කළ ආකාරයත් සමඟය. එකල ගොවීහු ගොවිබිම් අතැර පාරට බැස්සහ. මුළු රට පුරාම ගොවියෝ උද්ඝෝෂණ කළහ. පාලකයෝ මුලදී නොදැක්කා සේ සිටියහ. පසුව ගොවි ජනතාවට බැටන් පොලු ප්‍රහාර එල්ල කළහ. කඳුළු ගෑස් ගැසූහ. වෙඩි තැබූහ. බොහෝ ගොවීන්ට ජීවිත අහිමි වූහ. රට පුරා ගොවිජනතාව අරගල කළහ. මහා අරගලයකින් ජනාධිපති මන්දිරය වටලා ගෝඨාභය එළවා දැමූහ. හැටනව ලක්ෂයක ජනවරමින් පත්ව කෙටි කාලයකදී රට විනාශ කිරීම නිසා එළවා දැමූ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය ඉතිහාසගත වූයේය. මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ප්‍රමුඛ චෞර කණ්ඩායම පැනගොස් නාවුක හමුදාවේ දැඩි ආරක්ෂාව මත මුහුද මැදට වී උන්නහ. සෙසු චෞර මැති ඇමැතිවරුන්ගේ නිවාස කුඩුපට්ටම් කළහ. ගිනිබත් කළහ. රටේම ජනතාව වියරු වැටී ප්‍රාදේශීය දේශපාලකයන්ට පවා දඬුවම් දුන්නහ. රටේ හමුදාව ද, පොලිසිය ද ජන සටන මර්දනය කරන්නට අසමත් වූහ. සමාජ, ආර්ථික, දේශපාලන පීඩනය ඔවුනට තදින්ම දැනී තිබුණි. එනිසාම ඔවුහු ජන සටනට පිබිදෙන්නට දී බලා සිටියහ.

ගෝඨාභය නම් මිලිටරි පාලකයා බලයෙන් පන්නා දැමූ පසු ඊටත් වඩා ප්‍රබල මිලිටරිකාරයෙක් රාජපක්ෂලාගේම ආශීර්වාදයෙන් බලයට ආහ. ඔවුහු ගෝඨාභයටත් වඩා ප්‍රබලව ජනතාව මත දඩ ද බදු ද ගසති. පිටරටවලට ආවඩති. රට රටවල ගොස් හිඟා කති. ණය ආධාර ඉල්ලති. ලෝක සංවිධානවලින් අධික පොලියට ණය ආධාර ඉල්ලති.

අද දවස වනවිට වැව් බැඳි රාජ්‍යය පුරන්ව ඇත. දහසක් වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ සමුළුවේදී කළ ප්‍රකාශ දැන් විධිමත්ව ක්‍රියාත්මක කිරීමට රනිල් . රාජපක්ෂලාට ශක්තියක් නැත.

අභියෝග කල් තියා හඳුනාගත් විජේවීර

අනාගත රට හමුවේ ඇති ආර්ථික අභියෝග මනාව වටහාගත් ජනතා විමුක්ති පෙරමුණ නායක රෝහණ විජේවීර ලංකාවේ වාරි කර්මාන්ත ඉතිහාසය ගැඹුරින් අධ්‍යයනය කළ දේශපාලන විද්වතෙකි. ඔහු පණ්ඩුකාභය රජුගේ සිටම වාරි කර්මාන්ත පද්ධතිය පරීක්ෂා කර ඇත. ජය වාපී, අභය වාපී (බසවක්කුලම), ගාමිණී වාපී ආදී වැව් තුනක් පණ්ඩුකාභය රජුගේ කාලයේ කර ඇති බව සෙල් ලිපිවලින් ඔහු සනාථ කරගෙන ඇත. එනිසා පණ්ඩුකාභයගෙන් ආරම්භ වූයේ වැව් බැඳි රාජ්‍යයේ ස්වර්ණමය යුගය බව රෝහණ විජේවීරගේ නිරීක්ෂණය වෙයි. දුටුගැමුණු රජුගේ පාලන සමයේදී සද්ධාතිස්ස කුමාරයා දීඝවාපියත්, පදවිය වැවත් ඇතුළු වැව් 16ක් කර වූ බව සෙල් ලිපිවල සඳහන්ව ඇති බව රෝහණ විජේවීරගේ අධ්‍යයනයට හසුව ඇත. අනුරාධපුර නගරයෙන් ඈත්ව ඉදි කළ පදවිය වැව ද සොරබොර වැව ද සද්ධාතිස්ස කුමරුගේ බව රෝහණ විජේවීරගේ නිරීක්ෂණයට හසුව ඇත.

ක්‍රි.පූ. පළමු වැනි සියවසේදී රජ පැමිණි වළගම්බා රජුගේ කාලයේදී ඇති වූ ‘බැමිනිටියා සාගතය’ නිසා වසර ගණනාවක් ලාංකික ජනතාව පීඩාවට පත්වූ බව තේරුම් ගත් වසභ රජතුමා (වැව් අමුණු සහ යෝධ ඇළවල් නිම කිරීමට වසර හතළිස් හතරක් තරම් වූ ඔහුගේ රාජ්‍ය පාලන සමයේදී උත්සාහගෙන ඇත. මහා පරාක්‍රමබාහු රජු ශ්‍රේෂ්ඨත්වයට පත්වූයේ මහා පරාක්‍රම සමුද්‍රය තනා අහසින් වැටෙන එකම වැහි බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා බැසීමට ඉඩ නොතැබිය යුතු යැයි ප්‍රකාශ කරමින් රජරට කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමත් සමඟය. ඒ නිසා ලංකා ඉතිහාසය ගැඹුරින් අධ්‍යයනය කර බලනවිට රජවරුන් ගෞරවනීය තත්ත්වයෙහිලා සලකනු ලැබුවේ අහසින් වැටුණු ජලය කළමනාකරණය කොට වැව් අමුණු, ඇළවේලි බැඳීමට ඒ රජවරුන් දැක්වූ ධෛර්යය හා උනන්දුව මතය. රටේ ආර්ථික සංවර්ධනය ඔස්සේ බත බුලතින් රට සරු කිරීම එකල රටේ ජනතාව රජුගෙන් බලාපොරොත්තු වූ බව වසභ රජතුමාට ගෞරවයෙන් ලියා තැබිය යුතුමය. “ගමයි පන්සලයි . වැවයි දාගැබයි” යන උදාර පරමාර්ථ පෙරදැරි කරගෙන ගොඩනැඟූ ජලාශ්‍රිත ශිෂ්ටාචාරය මෙරට හෙළ සංස්කෘතික උරුමයේ සාමුහිකත්වය පෙන්වන්නකි. මහසෙන් රජතුමා ‘මින්නේරි වැව’ ඉදිකිරීමට පුරෝගාමීවීම නිසා ජනතාව ඔහු මින්නේරි දෙවියන් නමින් හැඳින්වූහ. වසභ රජු ආරම්භ කළ මහාවාරි ශිෂ්ටාචාරය ‘මින්නේරි වැව’ ගොඩනැංවීමෙන් මහසෙන් රජු ඉදිරියට ගෙන ගිය බව කිව යුතුය. කලා ඔය හරස් කොට ධාතුසේන රජතුමා කලා වැව ගොඩනැංවීම ද 1967දී රෝහණ විජේවීර ප්‍රසිද්ධ දේශනයකදී අගේ කර ඇත. ඒ නිසා මෙරට ජල කළමනාකරණය පිළිබඳ ඔහුට තිබූ දේශපාලනමය අවබෝධය රනිල් . රාජපක්ෂලාට නැත. ඒ බැව් ඔවුන් වැව් අමුණු කඩා බිඳ සංචාරක හෝටල් ඉදිකිරීමෙන් පෙනෙයි. කන්ඩලම වැව් තාවුල්ල මත සංචාරක හෝටලයක් ඉදි කිරීමෙන් ඒ බැව් සනාථ වෙයි. මහා පරාක්‍රමබාහු රජ සමයේ රජරට කෘෂි කර්මාන්තය ලැබූ දියුණුව නිසාම ලංකාව පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය, මුතු ඇටය යන විරුදනාම පවා ලැබුවේය. පරාක්‍රමබාහු වාරිකර්මාන්ත පද්ධතිය දියුණු කිරීමෙන් ගොඩනැංවූ කෘෂි ආර්ථිකයේ උන්නතිය උත්කර්ෂයට නැඟුණේ මෙසේය.

“දෑ උරුමය නොකෙළෙම්බා
කුඹුරෙන් ගෙන මුතු සම්බා
පිට රටටත් සහල් යැව්ව
පොළොන්නරුවේ පැරකුම්බා”

එකල රජවරු පුරන්ව ගිය කෙත් අස්වැද්දූහ. රන් අස්වනු කරලින් බර කළහ. සහල් මෙරට පරිභෝජනයට අමතරව අපනයනයට ද සූදානම් කළහ. අටුකොටු සහලින් පිරවූහ. පෙරදිග ධාන්‍යාගාරය යන විරුදනාමය ලැබුවේය. ඒ යුග මෙහෙවර නිසාමය. ඒ දියුණු කෘෂිකර්මාන්ත පද්ධතිය මේ චෞර පාලකයෝ විනාශ කළහ. ගෝඨාභය රාජපක්ෂ පොහොර නවතා දැමීමෙන් සමස්ත කෘෂිකාර්මික ආර්ථිකයම විනාශ කළ නිසා රටේ ආහාර අර්බුදයක් ඇති විය. අද මුළු රටම මුහුණ දී සිටින්නේ ඒ හිටපු පාලකයන්ගේ හදිසි ආර්ථික තීරණ ගැනීමේ දඬුවම්වලට විසඳුම් සෙවීමටය. රටේ ජනතාව පුරා වර්ෂ හැත්තෑපහක් මෙවැනිම වූ චෞර කණ්ඩායම් බලයට නොගෙනාවේ නම් මේ රටේ කෘෂි ආර්ථිකය මෙතරම් ශීඝ්‍රයෙන් පල්ලම් බහින්නේ නැත. 94 චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍ය ධූර හතරක් හා නියෝජ්‍ය අමාත්‍ය ධූර හතරක් ලබාගත් ජනතා විමුක්ති පෙරමුණ වැව් දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ යෝධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ ද එය සාර්ථක කරගැනීමට චන්ද්‍රිකා ප්‍රධාන චෞර පාලකයෝ ඉඩ නොදුන්නාහ. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය 2004 සුනාමි සහන මණ්ඩලය පිළිබඳ යෝජනා පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධූර දැරූ සමසමාජ කොමියුනිස්ට් පක්ෂ ව්‍යාජ ලෙස යෝජනාවලියට විරුද්ධ වුව ද අමාත්‍ය ධූර හැර ආණ්ඩුවෙන් ඉවත් වූයේ නැත. ජනතා විමුක්ති පෙරමුණ රට බෙදන ඒ යෝජනාවලියට ඍජුවම විරුද්ධ වූ අතර සුනාමි සහන මණ්ඩලය නීති විරෝධී බව පවසා ශ්‍රේෂ්ඨාධිකරණයට ද ගියහ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ආපසු චන්ද්‍රිකා බණ්ඩාරනායක සුනාමි සහන මණ්ඩලය පිළිබඳ යෝජනාවලිය හකුළා ගන්නටත් පෙර ජනතා විමුක්ති පෙරමුණ කණ්ඩායම අමාත්‍ය ධූර අතැර දමා පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටියේය. අදත් රනිල්ගේ ආණ්ඩුවට විරුද්ධව ජනතාව ඉදිරියේ බොරු පුරාජේරු ගැසූ විමල් වීරවංශලා, වාසුදේව නානායක්කාරලා, මහින්ද . රනිල් ආණ්ඩුවේ සිටිති.

ජාතික ප්‍රශ්නය ජන වාර්ගික අර්බුදයක් දක්වා වර්ධනය කිරීම.

ශ්‍රී ලංකාවේ උතුර . නැඟෙනහිර ජාතික ගැටලුව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දරන්නේ වෙනත් මතයකි. ඔවුනට අනුව ලංකාවේ ජනවාර්ගික අර්බුදයක් නැත. භේදකොට රාජ්‍ය පාලනය කිරීම ඇරඹෙන්නේ බි්‍රතාන්‍යයින්ගෙනි. සුදු අදිරද පාලනයට එරෙහිව එකල ලක් මාතාවගේ සුජාත සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලුම දරුවෝ එකට සටන් කළහ. එනිසා බි්‍රතාන්‍යයින්ට රාජ්‍ය පාලනය පහසු වූයේ නැත. ඔවුහු උපක්‍රමශීලීව ජාති මූල නියෝජන ක්‍රමය හඳුන්වා දෙමින් සිංහල, මුස්ලිම්, දෙමළ යන සහෝදර ජනතාව භේදභින්න කළහ. එය ජනවාර්ගික අර්බුදයක් දක්වා ප්‍රවර්ධනය කළේ නිදහසින් පසුව රට පාලනය කළ චෞර දේශපාලන කණ්ඩායම් දෙක බව මෙරට මෙන්ම බටහිර දේශපාලන විචාරකයෝ ද පිළිගනිති.

රටේ ජනාධිපතිවරයා ජාතිය ගොඩනැංවීමේ කාර්යය මනාව ඉටුකළ යුතුය. ශ්‍රී ලංකාවට ප්‍රෞඪ ඉතිහාසයක් ඇත. ජාතිවාදී උන්මත්තකයන් විසින් අන්ඩ දැමූ ඉතිහාසයක් ද ඇත. රටේ නායකයා සැබෑ ඉතිහාසය දත යුතුය. නිදහසින් පසු බලයට පැමිණි බොහෝ නායකයෝ ඉතිහාසය විකෘති කළහ. ජාතික සමඟිය ගොඩනැංවීමට නොහැකි තරම් අඥානයෝ වූහ. එනිසාම ඔවුහු මෙරටේ ජනවාර්ගික අර්බුදයක් ඇතැයි කීහ.

ඒ ප්‍රකාශ සැබැවින්ම මෙරට ඉතිහාසය විකෘති කිරීමකි. ලංකා ඉතිහාසය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ මෙරටේ ජනවාර්ගික අර්බුදයක් නැති බවය.

රටේ අර්බුදවලට විසඳුම් සෙවූ විජේවීරගේ දේශපාලන දර්ශනය

ජනවාර්ගික අර්බුදයක් යනු කිසියම් රටක් තුළ කිසියම් ජනවර්ග දෙකක් හෝ කිහිපයක් තම තමන්ගේ ජාතික අනන්‍යතාව ආරක්ෂා කරගෙන අවුරුදු දහස් ගණනක් එක් එක් ප්‍රදේශවල වෙන් වෙන්ව ජීවත්වීම තුළින් පැනනැඟෙන ප්‍රශ්නයකි. ඉන්දියාව, සෝවියට් සංගමය, අප්‍රිකාව… ආදී රටවල තම තමන්ගේ අනන්‍යතාව රැකගෙන වෙන් වෙන්ව ජීවත් වූ ජන කොටස් දැකගත හැකිය. අද ඉන්දියාව කුඩා රාජ්‍යවලට බෙදී යෑමට පවා බලපෑවේ මෙසේ ජනවර්ග වෙන් වෙන්ව ජීවත්වීම බව බොහෝ බටහිර දේශපාලනික විචාරකයෝ පෙන්වා දෙති.

සෝවියට් රුසියාව විශාල රාජ්‍යයකි. එරටේ ජාතින් 146ක් පමණ ජීවත්වන අතර භාෂා 246ක් පමණ ව්‍යවහාරයෙහි පවතී. එනිසා ඒ ඒ ජාතින් වෙන් වෙන්ව ජීවත් වෙමින් තම තමන්ගේ භෞමික අනන්‍යතාව රැකගෙන ස්වයංපාලන අවස්ථා දිනාගැනීමට සමත්ව ඇත. ඒත් කොමියුනිස්ට් දහම නමැති එකම හූයකින් ඒකාබද්ධ කොට තිබීමත් ආර්ථික දේශපාලන හා සංස්කෘතික වර්ධනයත් නිසා කුඩා රාජ්‍ය වශයෙන් වෙන්ව පාලනය කිරීමේ අවශ්‍යතාවක් සෝවියට් රුසියාවට නැත. ලංකාවේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගනී. එනිසා ලංකාවේ දක්නට ලැබෙන්නේ ජනවාර්ගික අර්බුදයක් නොවේ. ඊනියා රජය හා බෙදුම්වාදී කණ්ඩායමත් අතර ගැටුමකි. එසේ නොමැතිව උතුර .නැඟෙනහිර යුද්ධය පැවතුණේ ලංකාවේ එක් ජනවර්ගයක් සිංහල වීමත් අනෙක් ජනවර්ගය දෙමළවීමත් නිසා නොවේ. L.T.T.E. කණ්ඩායම නියැළී සිටියේ ජනවාර්ගික යුද්ධයක නම් ඔවුන් සහෝදර දෙමළ ජනතාව ඝාතනය කළේ කවර හේතුවක් නිසාද? තමන්ගේම ජාතිය මරා දැමීම දෙමළ විමුක්තිය වන්නේ කෙසේද? එය ජනවාර්ගික අර්බුදයක් නොවේ. ඊළාම් බල ප්‍රදේශවල සිටිය දෙමළ ජනතාව ඒ අර්බුදවලින්, කප්පම් ගැනීම්වලින්, මරණ බියෙන් බේරීමට සිංහල ජනපදවලට ඇදී ආහ. සිංහල ජනතාව ඔවුන් හැමදෙනාම සාදරයෙන් පිළිගෙන ආරක්ෂා කළහ. එවැනි තත්ත්වයක් සැලකිල්ලට ගත් බටහිර දේශපාලන විචාරකයෝ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයක් නැති බව පිළිගත්තහ. එහෙත් නිදහසින් පසුව මෙරට පාලනය කළ චෞර දේශපාලකයෝ ඔවුන්ගේ රාජ්‍ය පාලන වාසී තකා විවිධ විමධ්‍යගත කරන වැඩපිළිවෙළවල් ඉදිරිපත් කළහ. J.R. ජයවර්ධන 1987දී පළාත් සභා ක්‍රමය හඳුන්වාදුන් අතර එය තවත් සුදු අලියකු පමණක් වූයේය. ඔවුන් L.T.T.E.සංවිධානය සමග පැවැත්වූ කිසිම සාකච්ඡාවක් රටට හිතකර වූයේ නැත. දෙමළ ඊළාම්වාදයට එකල න්‍යායාත්මකව පක්ෂව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් ඇති බව පිළිගත්තා පමණක් නොව, දෙමළ ජනතාවට “ඓතිහාසික අසාධාරණයක්” සිදු වී ඇති බවද පැවැසුවාය. ඇය අනුකරණය කළ සෙසු නායකයෝ ජාතික ගැටලුව වාස්තවිකව නිරීක්ෂණය කරනු වෙනුවට නායිකාවගේ මතයම සාධාරණීකරණය කළහ. රනිල් වික්‍රමසිංහ එකල වාර්ගික අරගලය අලෙවි කරමින් ජාත්‍යන්තර රටවලින් ණය ආධාර ගත්තහ. මහින්ද රාජපක්ෂ ප්‍රධාන චෞර කණ්ඩායම යුද ජයග්‍රහණ සියල්ලම තම කඳවුරේ දේශපාලන ජයග්‍රහණ සඳහා පාවිච්චි කළහ. මුළු රටම ජාතිවාදී උන්මත්තකයන්ගේ ගිනි ගොඩක් බවට පරිවර්තනය කරමින් රටේ සංහිඳියාව නැති කළහ. ජාතික ගැටලුවට එදා මෙන්ම අදත් මේ අන්තවාදී චෞර කණ්ඩායම් දෙකට ස්ථීරසාර විසඳුම් මාර්ග නැත.

ජනවාර්ගික ගැටලුවට විශ්ලේෂණාත්මක වැඩසටහනක්

ලංකාවේ ජනවාර්ගික ගැටලුව පිළිබඳව විශ්ලේෂණාත්මක වැඩසටහනක් 1985 මාර්තු මස අගදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට රෝහණ විජේවීර විසින්ම ඉදිරිපත් කළ අතර පසුකාලීනව එම ප්‍රකාශය “දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකාශන අංශය ග්‍රන්ථයක් ලෙස එළිදක්වා ඇත. එහිදී සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන ජාතිකයින්ට ඓතිහාසික භෞතිකවාදයට ගැළපෙන සේ කරුණු පැහැදිලි කිරීමට පරිච්ඡේද දහයක් වෙන් කර ඇත.

  1. වර්තමාන අර්බුදයේ චතුර්විධ උල්පත්
  2. මානව ප්‍රජාවේ ඓතිහාසික ආකාරයන්ගේ විකාශනය
  3. ජාතික ගැටලුව හා මාක්ස්වාදය
  4. ස්වයං තීරණ සඳහා ජාතින් සතු අයිතිය අගය කිරීම
  5. ජාතික ගැටලුවට සාපේක්ෂව සමාජවාදී විප්ලවයේ භාවිතාව
  6. ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවේ ඓතිහාසික විකාශනය
  7. අධිරාජ්‍යවාදී උපාය මාර්ගය තුළ ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව
  8. ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවේ වර්තමාන යථාර්ථය
  9. ධනේශ්වර පන්තියට ලාංකීය ජාතික ගැටලුව විසඳිය හැකිද?
  10. ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට නිර්ධන පන්තියේ විසඳුම

රෝහණ විජේවීර සහෝදරයා ඉතාම සුපැහැදිලිව “ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව පිළිබඳව නිරවiව, ඓතිහාසිකව අනාගතයේ ජීවත්වන ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රයෝජනවත් වන පරිදි ‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?” යන ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇති බැව් ඒ ග්‍රන්ථය විමර්ශනාත්මකව අධ්‍යයනය කිරීමෙන් වටහාගැනීම දුෂ්කර නැත.

“එකම රටක් එකම ජාතියක්” ලෙස මතු අනාගතයේදී ශ්‍රී ලාංකීය ජනතාව සංහිඳියාවෙන් බැඳ තබන්නට අවශ්‍ය ප්‍රායෝගික වැඩපිළිවෙළ රෝහණ විජේවීර සහෝදරයා “දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?” ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇති බව නූතන දේශපාලන විචාරකයො පවා පිළිගනිති. එවැනි ප්‍රතිපත්තිමය වූ ප්‍රායෝගික දේශපාලන වැඩපිළිවෙළක් නිදහසින් පසුව මෙරට පාලනය කළ කිසිම දේශපාලකයකුට තිබුණේ නැත. ඔවුහු බලය ලබාගැනීමටත්, බලයේ රැඳී සිටීමටත් ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳ සංවාද ඇති කළහ. ජනතාව ඔවුනට රැවැටි තට්ටු මාරු ක්‍රමයට හැත්තෑ පස් වසරක්ම බලය හුවමාරු කළහ. රටක් විදියට අප ලැබුවේ සුවිශාල පරාජයකි. 1975දී රෝහණ විජේවීර “අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව” ඉදිරියේ සාක්ෂි දෙමින් ජනවාර්ගික ප්‍රශ්නයට ඇති විiාත්මක විසඳුම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ඉදිරිපත් කරනු අසා සිටි ටි්‍රබීයූන් ඉංග්‍රීසී සඟරාවේ කර්තෘ අමරසිංහම් මහතා ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා නිවැරදි විසඳුම් ඉදිරිපත් කළ දේශපාලන පක්ෂ නායකයා රෝහණ විජේවීර යැයි ඔහු නිර්භීතව එම සඟරාවේ පළ කළේය. දෙමළ ජාතිකයකු වූ අමරසිංහම් මහතා වටහාගත් දේශපාලන සථ්‍යය, එකල මෙරට පාලනය කළ ශ්‍රී ලංකා සම සමාජ කොමියුනිස්ට් පක්ෂ හෝ ඊට පසුව බලයට පැමිණ මෙරට ජනවාර්ගික ප්‍රශ්නය විශාල අර්බුදයක් ලෙසින් ජාත්‍යන්තර තලයට රැගෙන ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ලංකා කම්කරු හා කොංග්‍රස් හවුල් ආණ්ඩුව අවබෝධ කරගත්තේ නම් තිස්පස් වසරක සිදුවූ මහා දේපළ විනාශය හා මිනිස් සංහාරය නවත්වා ගැනීමට බොහෝ ඉඩකඩ තිබුණි.

රටක නායකයා ද නායිකාව ද මානසිකව ද නිරෝගී වූ උගත් . බුද්ධිමත් කෙනකු විය යුතුය. ඒ අර්ථයෙන් පරිපූර්ණ වූ රාජ්‍ය නායකයකු නිදහසින් පසු ආණ්ඩු කළ අය අතර සිටියේද යන්න ප්‍රශ්නයකි. රෝහණ විජේවීර ශ්‍රී ලාංකික මහ පොළොවෙ පහළ වූ පරිපූර්ණ නායකයෙකි. ඔහු ක්ෂණිකව මරා දැමුවේ අනාගතයේදී මෙරට පාලන බලය අල්ලා ගනී යන භීතිය පාලකයන්ට තදින්ම දැනුණ බැවිනි. රෝහණ විජේවීර අකාරුණික ලෙස මරා දැමුව ද ඔහු නැඟූ හඬ මරා දමන්නට නොහැකි බව මේ මුග්ධ පාලකයින්ට වැටහුණේ නැත. මේ රට පාලනය කළ කිසිම දේශපාලකයකු අනාගතයේදී රට මුහුණ දෙන සමාජ ආර්ථික දේශපාලන අර්බුද දුටුවේ නැත. රෝහණ විජේවීර 1979දි කළ දේශනයකදී ප්‍රකාශ කළේ “අනාගතයේදී මෙරට විශාල ආර්ථික අර්බුදයකට මුහුණදෙන බවය. ඔහු අද අප අතර නැති වුවද රනිල් . මහින්දලා එතැනට රට තල්ලු කර විසඳුම් නැතිව තවදුරටත් බලය රැක ගන්නට උත්සාහ කරන සේයකි.

රෝහණ විජේවීර ප්‍රසිද්ධ දේශන කිහිපයකදී කියා සිටියේ “නිදහසින් පසුව මෙරට පාලනය කළ මේ බලකඳවුරු දෙක රට අනාගතයේදී බංකොලොත් කිරීමෙන් පිරිහීමට පත්ව, මතු දිනෙක ජනතා විමුක්ති පෙරමුණ බලයට පත් වන සේයා දැක එකම කඳවුරකට එකතු වන බවය. ඒ අනාගත දැක්ම අද නිවැරදිව දෘශ්‍යමානව දක්නට ඇත. 2019ට පෙර බලයේ සිටි රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුව ද 2019න් පසුව බලයට පැමිණි මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ද අද දවසේ එකම ආණ්ඩුවකි. ජනතාව රැවටීමට මෙම පක්ෂ දෙක “මහ බැංකු මංකොල්ලය ද, පාස්කු ප්‍රහාරය ද, M.C.C. ගිවිසුම ද ජාතිවාදය ද ආගම්වාදය ද කරළියට ගෙන ආහ. 69 ලක්ෂයක් ජනතාව රැවටුණහ. දැන් ජනතාව රැවටූ ඒ චෞර කණ්ඩායම් දෙකම පාර්ලිමේන්තුවේ එකට සිටගෙන ඊළඟ මැතිවරණයෙන් බලයට පැමිණීමට මාන බලති.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර “රට හදන්න අපේ ප්‍රතිපත්ති” මැයෙන් රටපුරා පවත්වන ලද ප්‍රසිද්ධ දේශනයක් පසු කලෙක ජනතා විමුක්ති පෙරමුණ විසින් ග්‍රන්ථගත කරන ලදී. ඒ දේශනයේදී රෝහණ විජේවීර රට හදන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිමාලාව සවිස්තරාත්මකව පැහැදිලි කර ඇත. එහිදී ලංකාව චීනයක්වත්, රුසියාවක්වත්, කියුබාවක්වත්, නොකරන බවත්, ලංකාව සමාජවාදී රටක් පමණක් කරන බවත් ඔහු නිර්භීතවම පවසා ඇත. සමාජවාදී රටක ආර්ථික සැලසුම, කෘෂිකාර්මික වර්ධනය, එහිදී අනුගමනය කරන ප්‍රතිපත්තිමය කාරණා දිර්ඝව සාකච්ඡා කර ඇත. රටේ අධ්‍යාපනික සැලසුම් හා ප්‍රතිපත්ති, රැකියා ප්‍රශ්නය හා ඒ සඳහා විසඳුම් මාර්ග, ශ්‍රම සූරාකෑම හා සම්පත් සූරා කෑම නතර කරන්නේ කෙසේද? ශීඝ්‍රයෙන් ඉහළ යන භාණ්ඩ මිල පාලනය කරන්නේ කෙසේද? අපේ විදේශ ප්‍රතිපත්තිය කුමක් විය යුතුද? දේශීය හා විදේශීය වෙළෙඳාම, වතු කම්කරු ප්‍රශ්නය, මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ දූෂණය හා රාජ්‍ය දේපළ අයතා පරිහරණය නතර කිරීමේ වැඩපිළිවෙළ, විදේශ ණයගැතිභාවයෙන් මිදෙන මඟ, හමුදාව . පොලිසිය හා රටේ ආරක්ෂාව තහවුරු කිරීම, රටේ පොදු නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය මෙහිලා විධිමත්ව සාකච්ඡා කර ඇත. අද රට මුහුණදෙන අර්බුදවලට විසඳුම් රෝහණ විජේවීර ඉදිරිපත් කළේ මිට වසර පනහකට පමණ පෙරය.

කාල් මාක්ස් . වී. අයි. ලෙනින්වාදී දේශපාලනය පිළිබඳ අන්තවාදී අදහස් ප්‍රතික්ෂේප කරන රෝහණ විජේවීරගේ මධ්‍යස්ථ මතය නම් චීනයේ වුවද රුසියාවේ වුවද කියුබාවේ වුවද අපේ රටට ගැළපෙන ජනතාවට හිතකර හොඳම දේ පමණක් ගත යුතු බවය. නරක දේවල් දැඩි සේ ප්‍රතික්ෂේප කළ යුතු බවය. මතු අනාගතේ දිනෙක රෝහණ විජේවීරගේ රට හදන ප්‍රතිපත්ති බලගැන්වෙන ජනතා විමුක්ති පෙරමුණ රජයක් බිහි කරන්නට කැපවෙන සගයන්ගේ දේශපාලනය හරියට දළඹුවකු වැනිය. ඒ දළඹුවා සමනලයකු වී පියාඹන කල කෙතරම් සුන්දර ද?

ආචාර්ය
මහේෂ් ක්‍රිශාන්ත

advertistmentadvertistment
advertistmentadvertistment