සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේ න්‍යායාචාර්ය සිහිකරමු

69

ලොකුසතු හේවා මෙත්තානන්ද මහතා මෙරට බෞද්ධ පුනරුදයේ ප්‍රමුඛයෙක් ලෙස අවිවාදයෙන් පිළිගත යුතුය. සිංහල ජාතික ව්‍යාපාරයේ මෙත්තානන්ද පරිච්ඡේදය වෙනම ලියවී ඇත. එතුමා සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේ න්‍යායාචාර්යවරයා ලෙස හැඳින්වීම වඩා සුදුසුය. බෞද්ධ විරෝධීන් මේ යුග පුරුෂයාට නිග්‍රහ කළද සැබැවින්ම මෙත්තානන්ද මහතා සිදු කළේ අසරණ බෞද්ධයා නඟා සිටුවීම වෙනුවෙන් වූ ජාතික මෙහෙවරයි.

මෙත්තානන්ද මහතාගේ මූලිකත්වය යටතේ බෞද්ධ ජාතික බලවේගය තුළින් මෙරටේ බෞද්ධයන්ගේ අයිතිවාසිකම් මොනවාද යන්න පැහැදිලිව රටට එළිදැක්වීය. 56 ජයග්‍රහණය සඳහා හේතු වූ ‘බෞද්ධ තොරතුරු කොමිෂන් සභා වාර්තාව’ පිටුපස සිටි ප්‍රබලයා වූයේ එල්. එච්. මෙත්තානන්ද මහතා ය. 1956 පෙබරවාරි 04 වැනිදා ජාතියට ඉදිරිපත් කරන ලද බෞද්ධ තොරතුරු පරීක්ෂණ සභා වාර්තාවේ බෞද්ධ අධ්‍යාපනය නමැති පරිච්ඡේදය ලියන ලද්දේ මෙත්තානන්ද මහතා විසිනි. ඇත්තෙන්ම 56 දී බමුණු කුලය බිඳවැටී පංච මහා බලවේගය ප්‍රමුඛ කරගත් ආණ්ඩුව පිහිටුවීමට හැකි වූයේ බෞද්ධ තොරතුරු පරීක්ෂණ සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් පැවැති මහජන එක්සත් පෙරමුණ ලබාදුන් ප්‍රතිඥාවයි. මේ නිසා සිංහල බෞද්ධයෝ මහජන එක්සත් පෙරමුණට සිය ඡන්දය ලබාදීමට නොපැකිළ වූහ. මෙම කොමිසම 1955 දී පත් කළේ බෞද්ධ මහා සම්මේලනය විසිනි. එම කොමිෂන් සභා වාර්තාව එළිදක්වන අවස්ථාවට සියලු පක්ෂවලට ආරාධනා කළත් එය පිළිගත්තේ මහජන එක්සත් පෙරමුණ පමණයි. ඒ අනුවම ඒ කාලයේ බෞද්ධ විරෝධී වැඩපිළිවෙළ කොතරම් ප්‍රමුඛව ක්‍රියාත්මක වූවාදැයි යන්න හොඳින් වැටහේ.

ඇත්තෙන්ම 56 පෙරළියේ මූල බීජය රෝපණය කර එය ජනතාවට ගෙනයෑම සඳහා රටපුරා සැරිසරමින්, ලිපි ලේඛන මගින් ජනතාව දැනුවත් කර ජාතික ප්‍රබෝධයක් ගොඩ නැඟීමේ මහත් වූ වගකීම ඉටු කරනු ලැබුවේ එල්.එච්. මෙත්තානන්දයන් බව බොහෝ දෙනකු නොදනිති. කිසි විටෙකත් ඔහු කිසිදු ලාභ ප්‍රයෝජනයක්, කීර්තියක්, ප්‍රසිද්ධියක් අපේක්ෂා නොකළ අයකු වූ බැවින් ඔහු කළ සේවය පිළිබඳව සාමාන්‍ය ජනතාවේ දැනුම අල්පය. විශේෂයෙන්ම ජාතියක් ලෙස දියුණු වීමට අධ්‍යාපනයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් ඔහු රචිත ලිපි ප්‍රමාණය අතිවිශාලය.

නාලන්ද විද්‍යාලයේ පළමු විදුහල්පති සේම කොළඹ ආනන්ද විද්‍යාලයේත් විදුහල්පති තනතුර හෙබවූ එල්. එච්. මෙත්තානන්ද මහතා බෞද්ධ ජාතික බලවේගයේ නියමුවා ලෙස බෞද්ධ සිසුන්ට සිදුවී ඇති අසාධාරණයට එරෙහිව සටනක් ආරම්භ කළේය. මේ බැව් එතුමන් විසින් ලියන ලද “කැතලික් ඇක්ෂන්” (Catholic Action) නම් ලියවිල්ල මගින් ද හෙළිදරවු කෙරිණි. එතුමා බෞද්ධයන්ට කරුණු කියා දීම සඳහා ‘බෞද්ධ ප්‍රචාරක සභා” නමින් සංවිධානයක් පිහිටුවා එම සංවිධානයෙන් කුඩා ප්‍රමාණයේ පුවත්පත් දෙකක් ප්‍රකාශයට පත් කිරීමට ද කටයුතු කළේය. එයින් එක පුවත්පතක් සිංහල භාෂාවෙන්, ‘බෞද්ධ පෙරමුණ” නමින් පළ කළ අතර අනෙක ඉංග්‍රීසියෙන් ‘බුඩිස් ඔපිනියන්” නමින් පළකරනු ලැබීය. මේ සියල්ල සංවිධානය කෙරුණේ බෞද්ධ ජාතික ව්‍යාපාරයේ ජයග්‍රහණ වෙනුවෙනි. මීට දශක කිහිපයකට පෙර ආරක්ෂක අංශවල මුල් පුටු සඳහා සිංහල බෞද්ධයින්ට තැනක් ලැබුණේ නැත. ඒ සඳහා බෞද්ධ පාසල්වලින් දක්ෂ සිසුන් යොමු කිරීම සඳහා මුලිකව කටයුතු කළේ මෙත්තානන්ද මහතා බව පැහැදිලිව සඳහන් කළ යුතුය. 1962 දී එවක අගමැතිනි බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව පෙරළා දැමීමට “කතෝලික කුමන්ත්‍රණය” දියත් විය. මේ සඳහා නායකත්වය දුන්නේ එවක හමුදාවේ මුල්පුටු දැරූ අබෞද්ධයින් විසිනි. කතෝලික පාසල් රජයට පවරා ගැනීම පල්ලිය උරණ විය. එසේම ඒ කාලයේ ආරක්ෂක අංශවල තත්ත්වය මනාව වැටහේ. මෙත්තානන්ද මහතා ඉතා විචක්ෂණව කටයුතු කළ නිසා කොටි පරාජයේ සටන් මෙහෙයවීමට ආනන්ද විද්‍යාලයේ ආදි සිසුන් වූ ජෙනරාල්වරුන්ට හැකි විය.

මේවා සිහිකරන අය දැන් අඩුය. සමහරුන්ට ප්‍රභාකරන් කියා පුද්ගලයෙක් හිටියාද යන්න හෝ මතක නැත.

(මෙත්තානන්ද මහතාගේ 130 වැනි ජන්ම දිනය මාර්තු 19 වැනිදාට යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment