පුරාණයේ පැවති නාග වන්දනාව

141

මෙවැනි නාගයෝ වන්දනාවට  පාත්‍ර වූහ

 නාග වන්දනාව පුරාණ ශිෂ්ටාචාර රාශියකම තිබූ බව පැහැදිලි වේ. එම වැසියෝ කාරණා කිහිපයක් සාක්ෂාත් කර ගැනීම සඳහා නාග වන්දනාව කළ බව පෙනේ. වස්තුව වැඩිදියුණු කර ගැනීම, යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ළඟා කර ගැනීම මෙන්ම ආරක්ෂාව ලබාගැනීමේ සංකේතයක් ලෙස නාගයා අතීත ශිෂ්ටාචාරයන් තුළ වන්දනාවට හා පූජාවට පාත්‍ර වී තිබුණි.

 මුලින්ම නාග වන්දනාව ‘ක්‍රීට්’ දූපතේ සිදුවන්නට ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කරති. නමුත් ග්‍රීසියේත්, සිරියාවේත්, මෙක්සිකෝවේත්, ඊජිප්තුවේත්, බැබිලෝනියාවේත් නටබුන් අතර නාග වන්දනාව තිබූ බවට සාධක හමු වී තිබේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුළ ද නාග වන්දනාව පැවැති බවට සාධක හමුවී ඇත. එකල නාග වන්දනාව දෙආකාරයකට තිබූ බව කියති. නාගයා පමණක් දක්වා ඇති මූර්ති හමුවී තිබේ. මෙවැනි මූර්ති ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ හමුවී ඇත. එම සංඥා පුවරුවලට ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ඉතා සුවිශේෂි ස්ථානයක් හිමි වේ. අනෙක් කාරණය වන්නේ නාගයා මිනිසා ආරක්ෂා කරතියි සිතා නාග වන්දනාව කිරීමයි. ඒ අනුව ඇතැම් මුද්‍රාවල මනුෂ්‍යයා නාගයකුගේ පෙනයෙන් වසාගෙන සිටින ආකාරයේ මූර්ති දක්නට ලැබේ.

 බෞද්ධ සාහිත්‍යය තුළින් නාග වන්දනාව ඉතා ජනප්‍රිය වන්දනා ක්‍රමයක් බවට පත් වී තිබුණ බවට සාධක විශාල ප්‍රමාණයක් හමුවී තිබේ. ‘සංඛ හා පද්ම’ යනු බෞද්ධ සාහිත්‍යයයෙහි එන ජලචර නාගයන් දෙදෙනෙකි. ‘භූරිදත්ත’ ජාතකයෙහි නාගයන් පිළිබඳව තොරතුරු කියවේ. ‘විධුර’ ජාතකයෙහි එන ආකාරයට ‘විමලා’ නම් නාග බිසවට විධුර පඬිතුමාගේ හදවත කෑමට දොළක් උපන්නාය. ඒ දොළ සංසිඳවීමට හැකි ‘පූර්ණක’ යක්ෂ සේනාපතියා වසඟ කරගනු ලැබුවේ ‘එරංදතී’ නැමති නාග කන්‍යාවකි.

 බුදු රජාණන් වහන්සේ සත් සතිය ගත කිරීමේදී හය වන සතියේ උන් වහන්සේ ආරක්ෂා කරගනු ලැබුවේ නාගයෙකු විසිනි. බුදු රජාණන් වහන්සේ ‘උරුවෙල් කාශ්‍යපගේ’ අසපුවේදී නාග රාජයෙකු දමනය කළ පුවත බෞද්ධ පොතපතේ සඳහන් වේ. තවද බෞද්ධ සාහිත්‍යයේ එන ‘නන්දෝපනන්ද’ නාග රාජයා දමනය කිරීම ඉතා වැදගත් සිදුවීමකි. බුදු රජාණන් වහන්සේ බුදු වීමට පෙරුම් පුරන කාලයේ නාග රාජයෙකුව සිට සිල්ගෙන සිටිය දී තමන්ට වධහිංසා කළ වැද්දන්ට මෛත්‍රී කිරීම පිළිබඳ කතාව ජාතක පොතේ සඳහන් වේ.

 ‘විජය’ ලංකාවට පැමිණීම ගැන කියන මහාවංශය එකල ලංකාවේ නාග නමැති ජන කොටසක් සිටි බව කියයි. මෙම ජන කොටස නාගයන් පිදුව පිරිසක් බව හැඳින්විය හැකිය. ඔවුන් නාගයන් ඇදහීම නිසා එම ජන කොටස නාග යනුවෙන් හැඳින්වූ බව ඉතිහාසඥයෝ විශ්වාස කරති.

 බුදු රජාණන් වහන්සේ දෙවැනි වර හා තුන් වන වර ලංකාවට පැමිණීමේදී හමුවන නාගයන් මේ ගෝත්‍රිකයන් බව පැහැදිලි වේ. ඒ අනුව බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ දී බුදුන් වහන්සේ නාගදීපයට වැඩියේ ‘චූලෝදර මහෝදර’ යන නාග රජුන් දෙදෙනා මැණික් පුටුවක් සඳහා කළ සටනක් විසඳීම සඳහා ය. උන්වහන්සේ එම නා රජුන් දෙදෙනාගේ සටන සන්සිඳුවා අසූ කෙළක් නාගයන් සරණ ශීලයෙහි පිහිටු වූ බව සද්ධර්මාලංකාරයේ (404 පිටුව) සඳහන් වේ.

 මිහින්තලය, අනුරාධපුරය යන ස්ථානවල පැරණි ගල් පොකුණු තුළ නාග රූප දක්නට ඇත්තේ එදා ලාංකිකයන් නාගයන් ජලයට අරක් ගත් භූත විශ්වාසයක් වශයෙන් වන්දනාමාන කළ බව ඇතැම් විද්වතුත්හු විශ්වාස කරති.

 බුදු රජාණන් වහන්සේ තුන් වන වර ලංකාවට වැඩියේ ’මණි අක්ඛිත’ නැමති නා රජුගේ ආරාධනය අනුවය. ඔහු ද ලංකා ඉතිහාසයේ එන ජනප්‍රිය නාග රාජයෙකි. තවද මේ යුගයේ සිටි නා රජුන් කිහිපදෙනකු පිළිබඳව ධාතු වංශයේ සඳහන් වේ. ‘ජයසේන’ නා රජු හා ‘සමනුප්පුල’ නා රජු ඒ අතර වේ. අශෝක රජතුමා ලංකාවට එවූ අටළොස් කුලයක පිරිස අතර නාග කුලයේ මිනිසුන් සිටි බව කියවේ.

 ලංකාව පාලනය කළ රජවරුන් ගණනාකවගේ නම් අගට ‘නාග’ යන පදය යෙදී ඇත. ඒ අනුව ‘මහා නාග, ඛල්ලාට නාග, චෝර නාග, මහල්ලක නාග, අභය නාග, සිරි නාග’ යන නාමයන් වැදගත් වේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ස්ථාන නාම අගට නාග යන වචනය යෙදේ. ඒ අතර ‘නාගදීප, නයනතිව්, නයා හැඬුවගල, නා ඔටුන්න, නාගපොකුණ’ යන නම් දැකගත හැකිය.

 ලංකා ඉතිහාසයේ ‘බුද්ධදාස’ රජතුමා නාගයකුගේ ශරීරයේ තිබූ ගෙඩියක් ශල්‍ය කර්මයකින් සුවපත් කළ බව සඳහන් වේ. ‘දුටුගැමුණු’ රජතුමා නාග කන්‍යාවියක් සරණ පාවා ගත් බව සඳහන් වේ. එනිසා එයට කිපුණු නාග කන්‍යාවියගේ පියා දෙවරක් දුටුගැමුණු රජුට දෂ්ට කළේය. රාජකීය වෛiවරයා රජතුමා සුවපත් කරන ලදී. තුන්වන වර වෛiවරයා සහ රජතුමා එකවර දෂ්ට කළ නිසා රජතුමා මියගිය බව ජනප්‍රවාදයේ පවතී.

 කෝට්ටේ යුගයේ දී පවා නාගයන් පිළිබඳව ජනතාව අතර බියක් සහිත පක්ෂපාතී බවක් පැවැති බව ‘සැළලිහිණි, කෝකිල, පරවි’ ආදී සංදේශවලින් පැහැදිලි වේ.

 අද අපේ සමාජය පවා අනෙක් සර්පයන්ට වඩා සැලකිල්ලක් නාගයාට දක්වති. එනිසා නාගයෙක් විනාශ නොකරන්නේ නාගයා වටා ගෙතී ඇති මිථ්‍යා කතා, විශ්වාස හා ප්‍රවාදයන් නිසාය. ඒ තත්ත්වය ජනවිඥානයට පැමිණ ඇත්තේ දීර්ඝ කාලයක් තුළින් නාග වන්දනාවට සිංහල සමාජය ලැබූ ආභාසය නිසා බව පැහැදිලිය.

 පරකඩුවේ සෝමපාල මෙනේරිපිටිය
 ඡායාරූප – ස්ටුඩියෝ සාගා කුරුවිට

advertistmentadvertistment
advertistmentadvertistment