පේරාදෙණියේ තරුණියට විද්ද බෙහෙත නවතා නෑ – රෝහල් අධ්‍යක්‍ෂ කියයි

3179

උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය තරුණියට ලබාදුන් ප්‍රතිජීවක ඖෂධය වන cefriaxone සෙසු රෝගීන්ට ලබා දීම නතර කරන ලෙස අමාත්‍යාංශය මගින් දැනුම් දී නැතැයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පැවසීය.

මෙම ප්‍රතිජීවික ඖෂධය රෝහලේ නිතර භාවිතයට ගන්නා ඖෂධයක් බවත් මේ වන විට එම එන්නත් කුප්පි 2700 ක් රෝගීන්ට ලබා දී තිබෙන බවත් අධ්‍යක්ෂවරයා කීය.

ප්‍රතිකාර අතරතුර දැඩි ආසාත්මිකතාවට පත්වූ තරුණියට කිසිදු ප්‍රමාදයකින් තොරව අවශ්‍ය ප්‍රතිකාර නිසියාකාරව ලබා දී තිබෙන බව ද ඒ සම්බන්ධයෙන් තමා පූර්ණ විමර්ශනයක් සිදුකළ බව ද තිලකරත්න මහතා කීය.

මෙම රෝගියාට ලබා දී තිබෙන එකම කාණ්ඩයට අයත් මෙම ඖෂධය ලංකාව පුරා රෝහල්වලින් රෝගීන්ට ලබාදෙන බවත් මෙම ඖෂධය නිසා මරණය සිදුවූ බවට සැකයක් නොමැති බවත් කී ඒ මහතා මෙය ඉතාම කලාතුරකින් සිදුවන අසාත්මිකතා කම්පනය (Anaphylactic shock) හේතුවෙන් සිදුවූ මරණයක් බවට සැක කරන බවත් ප්‍රකාශ කළේය.

රෝගියාගේ මරණය සම්බන්ධ පසුවිපරමේ දී මෙම තත්ත්වය පෙනෙන්නට තිබෙන නමුත් පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් එය තහවුරු කළ නොහැකි යැයි ද හෙතෙම සඳහන් කළේය. මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ මහතා විවෘත තීන්දුවක් ලබා දී රුධිරය, පටක හා ආහාර සාම්පල පරීක්ෂණ සඳහා යොමුකර තිබෙන බව ද අධ්‍යක්ෂවරයා පැවසුවේය.

රෝගියාට නිර්දේශ කළ එන්නත මාත්‍රාව එකවර ලබා දීමට හැකි සිරින්ජර නොතිබූ බැවින් දෙවරක දී අදාළ මාත්‍රාව ලබා දී තිබෙන බවත් එමගින් රෝගියාට කිසිදු බලපෑමක් ඇති නොවන බවත් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

පළමු මාත්‍රාව ලබා දෙන අවස්ථාවේ රෝගියා අත රිදෙන බව ප්‍රකාශ කර තිබෙන නමුත් ඇය තුළින් අසාත්මිකතා ලක්ෂණ දක්නට ලැබී නොමැති බවත් එම ලක්ෂණ දක්නට ලැබී ඇත්තේ එන්නත් මාත්‍රාව සම්පූර්ණ කිරීම සඳහා දෙවන වර එන්නත ලබා දීමේදී බවත් හෙතෙම කීය.

දැඩි අසාත්මිකතාව නිසා ඇතිවන කම්පනයක් නිසා මෙම දැරියගේ මරණය සිදුවන්නට ඇතැයි සැක කරන බව ද හෙතෙම පැවසුවේය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment