පොදුජන යුගය උදා කළ බණ්ඩාරනායක

241

අදට (26දා) යෙදෙන යෙදෙන 64 වන බණ්ඩාරනායක ගුණ සමරුව නිමිත්තෙනි.

එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතුන් පිළිබඳව කථා කරන්නට, ලියන්නට මේ රටේ ජීවත්වන සෑම පුරවැසියෙකුටම ඇත්තේ පරම වූ අයිතියකි. එහෙත් මේ ලිපිය ලියන මා හට ඒ සඳහා සුවිශේෂී අයිතියක් ඇතැයි මම දැඩිසේ විශ්වාස කරමි. ඒ මක් නිසාද යත් ඡන්ද බලය ද නොතිබුණු ශිෂ්‍ය ජීවිතයේදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්වී අද දක්වාම අඛණ්ඩව පක්ෂය තුළ රැඳී සිටිමින් දේශපාලන වැඩ කටයුතුවලට සක්‍රීය දායකත්වයක් දක්වන කෙනෙකු නිසාවෙනි.

අප අතරින් වෙන්වී වසර හැට හතරක් වැනි දීර්ඝ කාලයක් ගතවුවද, එතුමා පිළිබඳව ජනතා සිත් සතන් තුළ අදත් මතකය රඳා පවතිනුයේ ජීවත් වූ වකවානුව තුළ උපන් මාතෘ භූමිය වෙනුවෙන් ඉටු කළ ජනතාවාදී සේවාවන් නිසාමය.

පොදුජන යුගය උදා කළ බණ්ඩාරනායක

සියලු සැප සම්පතින් අනූන රදළ පවුලක ඉපිද, දෙස් විදෙස් අධ්‍යාපනය ලබා, මවුරටට පැමිණීමෙන් පසු සිය දයාබර පියාණන් අපේක්ෂා කළ ගමන් මඟට වඩා හාත්පසින්ම වෙනස් වූ ගමන් මඟක් තෝරා ගත් බණ්ඩාරනායක තරුණයා මුළු හදින්ම අපේක්ෂා කළේ ශතවර්ෂ ගණනාවක් විදේශ ජාතීන් තුනකට යටත්වී පරාධීනත්වයේ පතුලටම ගිලෙමින් තිබූ තම මව්බිමට නිදහස ලබා ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ ජයග්‍රහණයයි.

සිංහල මහ සභාවෙන් ආරම්භ කළ ඒ ක්‍රියාදාමය ලංකා ජාතික සංගමය හරහා එක්සත් ජාතික පක්ෂය තුළින් ක්‍රියාත්මක කරලීම එතුමාගේ පළමු උත්සාහය විය. 1947 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප්‍රතිඵල මත තේරී පත්වූ මහජන නියෝජිතයන් අති බහුතරයක් අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ලෙස කරන ලද ඉල්ලීම ද ප්‍රතික්ෂේප කරමින් ඩී. එස්. සේනානායක මහතාගේ රජයේ දෙවැනියා ලෙස කටයුතු කරන්නට එතුමා තීන්දු කළේ සිය පෞද්ගලිකත්වයට වඩා රටේ නිදහස් සටනට සියලු දෙනාම එක්සත්ව කටයුතු කිරීමේ ඇති වැදගත්කම මැනවින් අවබෝධ කරගත් බැවිනි. එසේ නොවන්නට ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වීමේ අවස්ථාව උදා වන්නේ බණ්ඩාරනායක මැතිතුමාටයි.

වසර තුනකටත් අධික කාලයක් රජය තුළ සිටිමින් දැඩි අරගලයක් සිදු කළද අපේක්ෂා කළ අරමුණු හා පරමාර්ථ ඉටු කර ගත නොහැකි තත්ත්වයක් උද්ගත වූයෙන් මාතෘභූමිය හා ජනතාව වෙනුවෙන් සුවිශේෂී වූ දේශපාලන තීන්දුවක් ගන්නට එතුමාට සිදු විය. තමන් දැරූ සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය ධුරයෙන් ද සභා නායක ධුරයෙන් ද ඉල්ලා අස්වී විරුද්ධ පක්ෂයට එකතුවීම ඒ වන විට අග්නිදිග ආසියාවේ මහජන නියෝජිතයෙකු කළ ලොකුම පදවි පූජාව ඉටු කරලන්නට පසුබට නොවීම ශ්‍රී ලංකාවේ දේශපාලන වංශ කථාවේ ප්‍රධානතම හැරවුම් ලක්ෂ්‍යයක් විය.

එතෙක් පැවති දක්ෂිණාංශික හා වාමාංශික දේශපාලන පක්ෂවලට අයත් නොවූ මැද පිළිවෙත අනුගමනය කරන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කරමින් 1951 සැප්තැම්බර් 02 වැනිදා එම උත්තුංග කාර්යභාරය ඉටුකරලීමට ගත් පියවර නිසාම 1952 මහ මැතිවරණයේදී ආසන නවයක් ජයග්‍රහණය කළ ද 1956 දී රටේ පාලන බලය ලබා ගන්නට බණ්ඩාරනායකයන් සමත්විය.

1956 ජනතා ජයග්‍රහණය සැබවින්ම මේ රටේ පොදු ජනතාවගේ ඓතිහාසික ජයග්‍රහණයක් විය. කිසිදා එ.ජා.ප. රජය පරාජය කළ නොහැකි යැයි පැවති මතය වෙනස් කරමින් බිහිකළ ජනතාවාදී පාලනය මේ රටේ සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලන ක්ෂේත්‍රයේ නිහඬ විප්ලවයක් විය. හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ ශූරීන් මෙම ජනතා ජයග්‍රහණය හැඳින්වූයේ, බමුණු කුලයේ බිඳ වැටීම” යනුවෙනි.

දිගු කලක් රටේ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමක් වූ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවටත්, බුද්ධාගම රාජ්‍ය ආගම බවටත් නම්කළ අතරම අන් ජාතීන්ට හා ආගමිකයන්ට ලැබිය යුතු නිසි තැන ලබා දෙන්නට කිසිසේත් අමතක නොකළ බව ද කිව යුතුය. ලෝකයේ සියලු රටවල් සමඟ සමීප සම්බන්ධතාවන් පවත්වා ගනිමින්, පෞද්ගලික ව්‍යවසාය වෙනුවට රාජ්‍ය ව්‍යවසායට ප්‍රමුඛත්වයක් ලබාදීම, පෞද්ගලික බස් ව්‍යාපාර ජනසතු කොට ලංකා ගමනා ගමන මණ්ඩලය පිහිටුවීම, කොළඹ වරාය ජන සතු කිරීම, ඓතිහාසික කුඹුරු පනත, සේවක අර්ථ සාධක අරමුදල ස්ථාපිත කිරීම, කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් නව අණ පනත් සම්මත කිරීම, කටුනායක හා ත්‍රිකුණාමලයේ යුද හමුදා කඳවුරු ඉවත් කිරීම මෙතුමාගේ නායකත්වයෙන් සිදුවූ සුවිශේෂී කාර්ය භාරයන් අතර ප්‍රමුඛත්වයේලා සැලකිය හැක.

වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ වැඩ වර්ජන රැසකට මුහුණදෙමින් දැඩි අසීරුතා මැද පිටත සිටින සතුරන්ගෙන් මෙන්ම තමන්ගේ අමාත්‍ය මණ්ඩලය තුළ සිටිමින්ම ඇතුළතින් එල්ල වූ තර්ජනයන්ට හා අභියෝගයන්ට ද සාර්ථකව මුහුණ දී තමන් අපේක්ෂා කළ ගමන් මගේ ඉදිරියට යන්නට මෙතුමා සමත් විය.

මතවාදීව බණ්ඩාරනායකයන් පරාජය කළ නොහැකි බව අවබෝධ කරගත් එතුමාගේ විරුද්ධවාදීන් ශාරීරිකව එතුමා ඝාතනය කරන්නට ගත් සාහසික තීන්දුව මේ රටේ ප්‍රගතිශීලී ජනතාව වෙත එල්ලකල මරු පහරක් විය.

බණ්ඩාරනායක අගමැතිතුමන් පිළිබඳවත් සිදු කළ සේවාව ගැනත් මෙවැනි කෙටි ලිපියකින් කරුණු දැක්වීම කිසිසේත් සිදු කළ හැක්කක් නොවන අතර මෙම ලිපිය එය සිහිපත් කරලීමක් පමණි. දිවංගත බණ්ඩාරනායක ශ්‍රීමතුන්ගේ අතින් ගිලිහුණු නීල වර්ණ වූ ඒ විජයග්‍රාහී ධජය, වැටෙන්නට ඉඩ නොදී සිය අතට ගෙන ඊටත් වඩා ඉහළට ඔසවන්නට සිරිමාවෝ මැතිනිය ඉදිරිපත්වීම රටේත් ජනතාවගේත් වාසනාවක් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකළ බණ්ඩාරනායක අගමැතිතුමාටත් එය පෝෂණය කළ සිරිමාවෝ මැතිනියටත් මම කිසිදාක නිවන් සුව නොපතන්නෙමි. ඒ මන්ද යත් යළිත් අප මවුබිමේ ඉපිද ඉටුකළ නොහැකි වූ යුග මෙහෙවර සම්පූර්ණ කරලීම එම දෙපළගෙන් මා දැඩිසේ අපේක්ෂා කරන බැවිනි.

1951 – 2005 යුගයේදී බණ්ඩාරනායකවරුන් පක්ෂයට නායකත්වය ලබා දුන් නමුත් ඉන් අනතුරුව ශ්‍රී.ල.නි.ප. සමඟ ඔවුන්ගේ සම්බන්ධතාවයේ යම් අඩුවක් සිදුවිය.

හොරගොල්ල සමාධිය අසල සිදු කෙරෙන වාර්ෂික පුෂ්පෝපහාර දැක්වීමට අමතරව, පක්ෂයේ වෙනම වැඩසටහනක් ද ක්‍රියාත්මක විය. එනමුත් මෙවර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සියලු දෙනාම හොරගොල්ල සමාධිය ඉදිරිපිටදී එම කෘතවේදීත්වය පළකිරීමට තීන්දු කිරීම යළිත් බණ්ඩාරනායකවරුන්ගේ පූර්ණ ආශිර්වාදය සහ සක්‍රීය දේශපාලන සහයෝගය පක්ෂයට හිමිවීම සුබ නිමිත්තක් ලෙස මම දකිමි.

හැමදාමත් මේ රටේ ප්‍රගතිශීලී ජනතාවාදී ආණ්ඩු බිහිකරන්නට නායකත්වය ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරි අනාගතයේදීත් ඒ උත්තුංග කාර්යභාරය කරන්නට ධෛර්යය, ශක්තිය හා වාසනාව ලැබේවායි බණ්ඩාරනායක ශ්‍රීමතුන් සිහිපත් කරන අද වැනි දිනෙක මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

ෂාන් විජයලාල් ද සිල්වා
ශ්‍රී.ල.නි.ප.ජ්‍යෙෂ්ඨ උපසභාපති
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment