පොලිසිය සමග උණුසුම් තත්ත්වයක් : ගුරු උද්ඝෝෂණයට කඳුළු ගෑස් – ජල ප්‍රහාර

7

ගුරුවරු 10ක් රෝහලේ – ස්ටාලින් කියයි
පොලිසිය සමග උණුසුම් තත්ත්වයක්:
ගුරුවරු අදත් ලෙඩ නිවාඩු
ඊයේ පාසල් ආ දරුවෝ හැරී යති
පිළිතුරු පත්‍ර බැලීමෙන් ඉවත් වෙයි
අත්අඩංගුවට ගැනීම් තුවාල වීම් නෑ – පොලිසිය කියයි

පොලිසිය සමග උණුසුම් තත්ත්වයක් : ගුරු උද්ඝෝෂණයට කඳුළු ගෑස් - ජල ප්‍රහාර

ගුරු විදුහල්පතිවරුන් සඳහා ලැබිය යුතු වැටුප් වර්ධක දෙක ඉල්ලා ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව අසනීප නිවාඩු වාර්තා කර කොටුව දුම්රියපළ ඉදිරිපිට ඊයේ (26 දා) ආරම්භ කළ විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවාහැරීමට පොලිසිය කටයුතු කළේය.

විරෝධතාකරුවන් කොටුව දුම්රිය පළ ඉදිරිපිටින් විරෝධතාව ආරම්භ කර චෛත්‍ය පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

පොලිසිය සමග උණුසුම් තත්ත්වයක් : ගුරු උද්ඝෝෂණයට කඳුළු ගෑස් - ජල ප්‍රහාර

අනතුරුව පොලිසිය අවස්ථා තුනකදී පමණ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළහ. තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම සහ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වමින් අද (27 දා) දිනයේ ද අසනීප නිවාඩු වාර්තා කර සේවයට වාර්තා නොකරන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය. අද (27දා) පිළිතුරු පත්‍ර පරීක්ෂක රාජකාරියෙන් ද ඉවත්වන බව ද ඔහු කීය.

ගුරු විදුහල්පති සමිති සන්ධානය විසින් සිය ඉල්ලීම් ඉල්ලා කොටුව ප්‍රදේශයේ සිදුකිරීමට කටයුතු කළ විරෝධතාවය වැළැක්වීම සඳහා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහ ඇතුළු වගඋත්තරකරුවන් 08 දෙනකුට කොටුව දුම්රිය ස්ථානයේ සිට ඕල්කොට් මාවත, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලුමුවදොර ඇතුළු ඒ අවට ප්‍රදේශයට ඇතුළුවීම වැළැක්වීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ද ලබාගෙන තිබුණි.

විරෝධතාවය සඳහා ගුරු – විදුහල්පතිවරු පිරිසෙන් ගුරුවරු සහ ගුරු උපදේශක යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් 5000කට වැඩි පිරිසක් එක්ව සිටියහ. විරෝධතාකරුවන් විසුරුවාහැරීම සඳහා කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමත් සමග ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුවේ සාමාජිකයන් මෙන්ම මාර්ගයේ ගමන් කළ සාමාන්‍ය ජනතාව ද දැඩි අපහසුතාවයට පත්ව සිටියහ.

නොසන්සුන් අවස්ථාවේ කොටුව අවට මාර්ගවල දැඩි වාහන තදබදයක් ද ඇතිවී තිබිණි. උද්ඝෝෂකයන් කිහිපදෙනෙකුම කඳුළු ගෑස් හා ජල ප්‍රහාර හේතුවෙන් දැඩි අපහසුතාවයන්ට ලක්ව සිටි අයුරු ද දක්නට ලැබිණි.

උද්ඝෝෂකයන් විසුරුවාහැරීමට කටයුතු කළත් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමක් හෝ තුවාල සිදුවීමක් වාර්තාවී නැතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අසනීප නිවාඩු වාර්තා කර ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව ආරම්භ කළ වැඩ වර්ජනය ඉතාම සාර්ථක බවත් ඒ සඳහා ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුවේ සාමාජිකයන්ගේ සහය සියයට සියයක් ලැබී තිබූ බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. තම ඉල්ලීම් ජයග්‍රහණය කර ගැනීම සඳහා හෙට (28 දා) ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව නැවත සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරන බව ද ඔහු කීය.

ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව අසනීප නිවාඩු වාර්තා කර දීපව්‍යාප්තව ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන් දරුවන් සහ දෙමාපියන් ද අපහසුතාවයට පත්ව තිබුණි. ඇතැම් පාසල් සිසුන් පාසල්වලට පැමිණ ගුරුවරුන් නොමැතිවීම නිසා නිවෙස් වෙත ගමන් කිරීමත්, ඇතැම් ප්‍රදේශවල සිසුන් නැවත නිවෙස් කරා දෙමාපියන් විසින් රැගෙන යන අයුරු ද දක්නට ලැබුණි.

ගුරු – විදුහල්පතිවරුන් සඳහා සුබෝධනී කමිටු වාර්තාව මගින් ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා කාණ්ඩ තුනක් යටතේ වැටුප් වර්ධක ලබාදීමට එකඟවී ඉන් එක් කොටසක් ලබාදීමට මීට පෙර පියවර ගෙන තිබුණි. ඉතිරි වැටුප් වර්ධක දෙක ඉල්ලා විරෝධතාව සංවිධානය කර තිබුණි.

චමින්ද සිල්වා, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment